Enter Your Key Word

 

අලුත උපන් පුංචි පැටියා

 

පුංචි පැටියා උපන් විගස අම්මාගේ පපුව මත තබා අම්මාගේ උණුසුම හා හද ගැස්ම දැනෙන්නට සැලැස්වීම දෙදෙනා අතර මනා බැඳීමක් ඇති කරවීමට සමත් වේ. එසේම එය පුංචි පැටියාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ද වැඩි කරයි. මෙලොවට බිහිවුණු පුංචි පැටියාට මුල් පැය 1/2 - පැය 1 ඇතුළත මව්කිරි ලබාදෙයි. එතැන් පටන් පුංචි පැටියාගේ අවශ්‍යතාවය මත මව්කිරි ලබාදීම සිදු වේ. උපතින් දින දෙකක් පමණ ගතවන තුරු පුංචි පැටියාගේ සිරුරේ ගබඩා කරගත් යම් ශක්තියක් හා පෝෂණයක් ද පවතී.

අලුත උපන් දරුවෙකුගේේ

  • සම රෝස පැහැති වේ
  • හියේ වටප‍්‍රමාණය 33-35cm අතරය
  • සාමාන්‍යයෙන් දිග 50cm පමණ ද, බර 3kgකට ද ආසන්න වේ
  • ශ්වසන වේගය විනාඩියට වාර 30-40 වේ. (ආරම්භයේ දී නොගැඹුරු, කෙටි හුස්ම ගනී)
  • උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.4 - 37 ක්‍ අතර වේ
  • උදරය පිම්බුණු හැඩයක් ගනී
  • අත් පා හොඳින් රවුම් වී ඇති අතර උණුසුම් ය
  • ඇස් වියළිව පවති. මුල් කාලයේදී කඳුලූ ගැලීමක් සිදු නොවේ. සුදු ඉංගිරියාව ප‍්‍රදේශය මදක් නිල් පැහැයට හුරුය.
  • හෘද ස්පන්දනය විනාඩියට වාර 120-140 වේ
  • පෙකණිවැලේ ඉතිරි කොටස වියළිව පවතී. ඉපදී දින 3-4 පමණ හැකිලී යන අතර දින 7-9 කින් හැලී යයි
  • තෙත් ඉටි වැනි ද්‍රව්‍යයන් දරුවාගේ සම මත පවතී. (Yernin caseosa) මේවා උල්බ තරලය මගින් දරුවාගේ සමට හානි නොවීමටත් විෂබීජ නාශකයක් ලෙසත් කටයුතු කරයි

 

එන්නත් ලබාදීම

රෝහලෙන් පිටවීමට පෙර උපතෙන් 24ක් ඇතුළත BCG එන්නත වම් අතේ ඉහළ කොටසට ලබාදේ. මෙම එන්නත මගින් ක්‍ෂය රෝගය පාලනය කරයි. කැළල මතු නොවුණහොත් මාස 6 කට පසු එන්නත නැවත ලබාදේ.

 

මුල්ම රුධිර පරීක්‍ෂාව

රෝහලේදී පැය 24 - 48 කාලය තුළදී දරුවාගේ තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ක‍්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සඳහා (TSH පරීක්‍ෂාව) රුධිරය ලබාගනී. ළදරුවන් 3000 කට එක් අයෙකු මෙම රෝග තත්ත්වයට ගොදුරු විය හැකි නිසාත් සම්පූර්ණයෙන්ම වාගේ ප‍්‍රතිකාර මගින් සුව කළ හැකි නිසාත් මෙම පරීක්‍ෂණය ඉතා වැදගත් වේ.

 

දරුවා රෝහලෙන් නිවසට ගිය පසු

  • දිනකට 6 - 8 වතාවක් වත් මුත‍්‍රා පිටකළ යුතුය.(වැඩිපුර කිරි බොන ළදරුවෙක් නම් වැඩි වාර ගණනක් මුත්‍රා පිටකරයි.)
  • දිනකට වරක් හෝ දෙවරක් මල පහ කිරීම. (නමුත් මෙය වෙනස් විය හැක) සමහර ළදරුවන් දිනකට පස්වතාවක් ද සමහර දරුවන් දින පහකට එක් වතාවක් මලපහ පිටකරන අතරම මේ අවස්ථා දෙකම සාමාන්‍යයයි. මල තදට, ඝනකමට නැතිව මල පහකරයි නම් අම්මා කලබල විය යුතු නැත. කිරි බොන හැම වාරයකදී වුවද මල පහ විය හැක.
  • පැය දෙක තුනකට වරක් විනාඩි විස්සක් විසිපහක් පමණ දරුවා කිරි උරාබීම කළ යුතුය. මව්කිරි දීමේ කාලය දරුවාගේ වර්ධනය සමග වෙනස් වේ. සමහර දරුවන් විනාඩි පහක් දහයක් තුළ අවශ්‍ය කිරි ප‍්‍රමාණය උරා බොයි.
  • දිනකට කිරි වේල් අටක් දහයක් පමණ ප‍්‍රමාණවත් වේ.

 

දරුවා රෝහලෙන් නිවසට ගිය පසු

  • දිනකට අවම ලෙස 8 වතාවක් වත් මුත‍්‍රා පිටකළ යුතුය.
  • දිනකට වරක් හෝ දෙවරක් මළපහ කිරීම. (නමුත් මෙය වෙනස් විය හැක) සමහර ළදරුවන් මල පහ දින 7 කට එක් වතාවක් මලපහ පිටකරන අවස්ථාත් තිබේ. මේ අවස්ථා දෙකම සාමාන්‍යයයි. මල තදට, ඝනකමට නැතිව මල පහකරයි නම් අම්මා කලබල විය යුතු නැත. කිරි බොන හැම වාරයකදී වුවද මල පහ විය හැක.
  • පැය දෙක තුනකට වරක් විනාඩි විස්සක් විසිපහක් පමණ දරුවා කිරි උරාබීම කළ යුතුය. මව්කිරි දීමේ කාලය දරුවාගේ වර්ධනය සමග වෙනස් වේ. සමහර දරුවන් විනාඩි පහක් දහයක් තුළ අවශ්‍ය කිරි ප‍්‍රමාණය උරා බොයි.
  • දිනකට කිරි වේල් අටක් දහයක් පමණ ප‍්‍රමාණවත් වේ.

 

පෙකණිවැල ආරක්‍ෂාව

  • වියළිව හා පිරිසිදුව තබාගන්න.
  • ස්ප‍්‍රීතු හෝ වෙන කිසිවක් ආලේප නොකරන්න.
  • දින හතකින් පමණ පසු ගැලවී ඉවත් වේ. සමහර විට සති හතරක් වුව ද ගත විය හැක. පෙකණිවැල කොටස වැටුණු පසු රුධිර බිංදු කිහිපයක් පිටවිය හැක.
  • අධික රුධිර වහනය, සැරව ගැලීම, පෙකණිය වටා රතු වී ඉදිමීම සිදු වුවහොත් වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත්ය.

 

දරුවා පිරිසිදු කිරීම හා ආරක්‍ෂාව

  • අධික සීතලෙන් හා අධික උණුසුමින් දරුවා ආරක්‍ෂා කරගන්න.
  • දරුවාට කපු ඇඳුම් අන්දවන්න.
  • දිනපතා ළදරුවා මද උණුසුම් ජලයෙන් නහවන්න.
  • කිහිලි, ඉකිළි ආදී ස්ථාන සෝදා වියළිව තබන්න.
  • ළදරුවාට සාත්තු කරන මොහොත හැර ළදරුවා විටින් විට ඇල්ලීම සීමා කරන්න.

 

මුල් දිනවල ළදරුවාගේ ඇති වන වෙනස්කම්

මේවා රෝගී තත්ත්වයන් නොවන අතර ස්වභාවිකව දක්නට ලැබෙන වෙනස්කම් වේ. ප‍්‍රතිකාර අවශ්‍ය නැත.

  • නිතර කිවිසුම් යාම.
  • නාසයෙන් දියර ගැලීම.
  • නිතර ඇති වන ඉක්කාව.
  • නිතර ඇඹරීම හා තැටමීම.
  • හොඳින් ක‍්‍රියාකාරීව සිටින අතර වරින් වර කෙදිරිගෑම.
  • හවසට අධිකව හැඞීම.
  • මල මුත‍්‍රා පහ කිරීමට යන විට තදින් හැඬීම.
  • දිනකට පැය 16 - 18 නිදාගැනීම.
  • සමේ තැනින් තැන රතුපාට ලප ඇති වීම (මෙම පැල්ලම් ඉපදී දින 2-3 මතුවී පසුව නැති වීයයි. හඳුනාගැනීම පහසුය. රතුපාට කොටස මැද ස්පර්ශ කළ විට කුඩා ගැටිත්තක් හසු වේ. එම ස්ථානය තදින් ඇල්ලූ විට රතු පැහැය නැති වී ඇගිල්ල ඉවත් කළ පසු නැවත රතු වේ).

 

ශාරීරික වර්ධනය

ඉපදී දින 10 ක් ගත වන තුරු දරුවාගේ බර වැඩිවීම බලාපොරොත්තු විය නොහැක. මුලින් බර අඩු වී දින දහයකින් පසු බර වැඩි වීම ඇරඹේ. ඉන්පසුව දිනකට 25g - 30g පමණ බර වැඩි වේ. මාසයක් ගත වන විට බර 500g - 600g දක්වා වැඩි වේ.

  • පළමු මාසය අවසන් වන විට දරුවාගේ අවධානය වැඩිවන අතර ප‍්‍රතිචාර දැක්වීම අරඹයි.
  • මුහුණ මත යම් ද්‍රව්‍යයක් සමග සමායෝජනය ඇති කර ගනී.
  • අත කටට ගැනීම සිදු කරයි.
  • දරුවා උපතින් සතියකට පසු මවගේ මුහුණ හඳුනාගනී.
  • මුල් මාසය තුළ කළු, අළු, සුදු වර්ණ දැකීම වර්ධනය වේ.
  • ඇසීම සම්පූර්ණයෙන් වර්ධනය වී නොමැති අතර පළමු මසයේදී මවගේ කටහඬ හඳුනාගනී.
  • රස දැනීමේ ප‍්‍රතීකය වර්ධනය වී ඇත. පැණිරස හා තිත්ත රස හඳුනා ගැනේ.
  • පිරිමි දරුවෙකුගේ වෘෂණ කෝෂ ඉදිමීම, ගැහැනු දරුවෙකුගේ ලිංගික ප‍්‍රදේශෙය ඉදිමීම සාමාන්‍යය. එසේම ගැහැනු දරුවෙකු නම් යෝනියේ රුධිර මිශ‍්‍ර ශ‍්‍රාවය නිකුත් විය හැක. ඊට හේතු වන්නේ මවගේ හෝමෝන තවමත් දරුවා තුළ පැවතීමයි.
  • ආලෝකය දෙසට ඇස් යොමු කිරීම, මුහුණ දෙස හොඳින් බැලීම සිදු කරයි.

 

දරුවාගේ සංවර්ධනයට වෙනුවෙන් කළ යුතු දේ

  • ඔබගේ සහ දරුවාගේ ඇස් අතර මනා බැඳීමක් පවත්වා ගන්න.
  • දරුවා සමග සිනාසෙන්න.
  • දරුවා සමග ගීත ගයමින් කතන්දර කියමින් කාලය ගත කරන්න.
  • දරුවා සමග සෙල්ලම් කරන්න.
  • දරුවා සම්බාහනය කරන්න.
  • දරුවා කිසි විටෙක සෙලවීම/වැනීම නොකරන්න. (කලාතුරකින් දරුවන්ගේ මොළයේ රුධිර ගැලීම්වලට මෙය හේතුවිය හැකිය).

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ පළමු මාසය

 

ළදරුවා මෙම කාලය තුළ හැඬීම හා කලබල කිරීම සිදු කරයි. මෙය සංවර්ධනයේ සාමාන්‍ය කොටසකි. මෙම තත්ත්වය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකි අතර ආසන්න වශයෙන් මාස තුනක පමණ කාලයක් පැවතිය හැකි ය. මෙම කාලය ඇතුළත මව්කිරි පමණක් ලබා දෙන ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දේ.

ක්‍රියාකාරකම්

දැන් ඔබේ පුංචි පැටියා කෙලින් තබාගත් විට ඉතා සුළු වේලාවක් හිස ඔසවා ගෙන සිටීමේ හැකියාවක් පවතී. තවමත් ඔබේ සහයෝගය අත්‍යවශ්‍ය වන මේ පුංචි පැටියා මව ඇස ගැටෙන විට තමාට හැකි පමණින් සතුට ප්‍රකාශ කරයි. පුංචි පැටියාගේ සන්නිවේදන කුසලතා වර්ධනය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදිය යුතුය.

පුංචි පැටියාට දැන් 45cmක පමණ දුරක ඇති ද්‍රව්‍යයක් දැකිය හැක. චලනය වන වස්තූන් දැකිය හැක. ඇස් පැත්තෙන් පැත්තට හා ඉහළ පහළ ගෙන යා හැක. හඬට අවධානය යොමු කරන අතර ඔබ කතා කරන විට දරුවා ඔබ දෙස බලයි. ”ආ, ඕ” වැනි ස්වර ශබ්ද කරයි.

ළදරුවා චලනයට උනන්දු වේ. හිස ඔසවා පැත්තෙන් පැත්තට හරවයි. බිම සිට ඉහළට පපු ප‍්‍රදේශය ඔසවයි. ළදරුවා ඔහුට/ඇයට අත හා අල්ල ඇති බව හඳුනාගනී. අල්ල දිගහැර තබාගන්නා අතර යටත් අතින් තැබූ විට අත් දෙකෙන් එකතු කර අල්ලා ගනී. කිරි බෝතලය හෝ පියයුර දුටු විට මුඛය විවෘත කරයි. දරුවා මුනින් අතට තබා ඇති විට හිස එසවිය හැක.

දරුවාගේ මෙම කාලය තුළ ඛේට ග‍්‍රන්ථිවලින් ඛේටය වැඩිපුර ශ‍්‍රාවය වේ. ගිලීමේ ප‍්‍රතීකය හොඳින් වැඩි නොමැති නිසා ඛේටය ගලයි. මෙම තත්ත්වය අවුරුදු දෙකක් දක්වා වුවද පැවතිය හැකිය.

පුංචි පැටියාගේ වර්ධනය

පුංචි පැටියාගේ හැසිරීම් ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක් ඔබ සතු විය යුතුය. නමුත් කිසිදු විටෙක මේ හා සම වයසේ අනෙක් දරුවන් හා සංසන්දනය කිරීම හෝ දරුවාගේ ක්‍රියාකාරකම් ප්‍රමාද නම් කණස්සලු වීම හෝ අවශ්‍ය නොවේ. යම් අසාමාන්‍ය තත්ත්වයක් ඔබට හැඟේ නම් වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්නවා මිස වටපිටාවෙන් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීමෙන් වළකින්න.

දරුවාගේ සංවර්ධන අවස්ථාවලට උපකාරී වීමට ඔබට කළ හැකි දේ

  • මව්කිරි ලබාදෙන සෑම විටම දරුවාගේ ඇස් ඔබේ ඇස්වලට හසු කර ගන්න.
  • මව්කිරි ලබාදෙන අතුරතුර දරුවාට ලයාන්විතව කතා කරන්න. දරු නැලවිලි ගී ගයන්න.
  • දරුවා ආදරයෙන් සියුම්ව පිරිමදින්න.
  • දරුවා නොසන්සුන් වූ විට හේතුව සොයා ආදරයෙන් තුරුලු කරගන්න.
  • දරුවාගේ හිස කෙලින් කිරීම ඉක්මන් කිරීමට දරුවා මුණින් අතට තබන්න.
  • දරුවා සිනාසීමට උනන්දු කරවීමට ඔහු/ඇය සමග සිනාසී දරුවාගේ සිනාවට ප‍්‍රතිචාර දක්වන්න.
  • නොයෙකුත් ශබ්ද නඟන දීප්තීමත් පාටවලින් යුතු චලනය වන සෙල්ලම් බඩු දරුවාට ඉහළින් එල්ලා තබා ඒවා චලනය වන ආකාරය නැරඹීමට සලස්වන්න.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ දෙවන මාසය

 

තවමත් එකම ආහාරය මව්කිරි පමණක් වන මේ ළදරුවා තම ශරීරය හොඳින් පාලනය කර ගැනීමට උත්සාහ කරයි. මින් අදහස් වන්නේ දරුවා මුණින් වැතිරී සිටින විට හිස කෙලින් තබාගැනීමේ හැකියාව යි. උරාබීමේ ප‍්‍රතීකය හොඳින් ශක්තිමත් වී ඇත. දරුවා තනිව සෙල්ලම් කර විනෝදයක් ලබයි. එමගින් බොහෝ සංවර්ධන වාසි අත් වේ. ඔබේ (මවගේ) කටහඬ හොඳින් හඳුනාගෙන ඔබ සමග ඇති බැඳීම තවත් ශක්තිමත් කරගනී. මවගේ ඇස් අනුගමනය කරයි. මව සමග සිනා සී විනෝද වේ. සෙල්ලම් බඩුවක් වැනි වස්තුවක් ඉතා ළඟින් නිරීක්‍ෂණයට කරයි. එය වැනෙන ආකාරයට හිස එහා මෙහා ගෙන යයි. හැඬීම හා කලබල කිරීම තවත් වැඩි වේ. මව සමග විවිධ ආකාරයෙන් සන්නිවේදනය පවත්වා ගනී.

උදා: බඩගින්න ඇති වූ විට හැඬීම

 

ක්‍රියාකාරකම්

  • මුහුණෙන් හැඟීම් (කලකිරීම, උනන්දුව, මානසික අව පීඩනයක්) ප‍්‍රකාශ කරයි.
  • ශරීර චලන මගින් මවට යමක් පැවසීමට උත්සහ කරයි.
  • coo යන හඬ නඟයි.
  • අත් දෙක එකට එකතු කරයි. බොහෝ විට අත දිග හැරීම හා නැවීමට උත්සහ කරයි. පාද හොඳින් දිගු කරයි.
  • දරුවා මුණින් අතට සිටින විට හිස හා පපුව ඉහළට ඔසවයි.
  • ඇඟිලි එකිනෙක පටලවා ගනිමින් අත් සමග සෙල්ලම් කරයි.
  • යම් ද්‍රව්‍යයක් දෙසට අත දිගු කර මුළු අත්ලෙන්ම අල්ලා ගනී.
  • ශබ්දයක් ඇසුණ විට හිස හරවයි.

 

දරුවාගේ සංවර්ධන අවස්ථාවලට උපකාරී වීමට ඔබට කළ හැකි දේ

  • ළදරුවා සමග සිනාසෙන්න. දරුවා ඔබට සිනාසෙන විට ශරීරයේ ස්වභාවික රසායනික ද්‍රව්‍යයක් ශ‍්‍රාවය වේ. එමගින් සිරුරට සුවය, ආරක්‍ෂාව ඇති වේ. දරුවාට මෙම තත්ත්වය වර්ධනයට උදව් වේ.
  • ළදරුවා තුරුලු කරගන්න. සිපගන්න. ඔහුට/ඇයට ඇසෙන සේ මෘදු හඬින් ගයන්න. මෙසේ දිගටම සිදු කරන විට දරුවා හඬට හා වචනවලට හුරු වේ. මෙය භාෂාව හා සන්නිවේදන දක්‍ෂතා වර්ධනයට උදව් වේ.
  • ළදරුවා සමග සෙල්ලම් කරන්න. එය මොළයේ වර්ධනයට උපකාරී වන අතර ලෝකය පිළිබඳ බොහෝ දෑ ඉගෙන ගනී. මව-දරු සබඳතා ශක්තිමත් වේ.
  • සෑම දිනකම විනාඩි 1 - 5 දක්වා කාලයක් දරුවාගේ උදරය සමග සෙල්ලම් කරන්න. මෙම ක‍්‍රියාකාරකම් මගින් හිස, බෙල්ල හා ශරීරය ඉහළ කොටස් ශක්තිමත් වේ. මෙවිට එය දරුවාට දණ ගෑමට හා තනිව නැගී සිටීමට උපකාරී වේ.
  • ළදරුවා සම්බාහනය කිරීම. එය දරුවා සමග ඇති සබඳතාවය වැඩිදියුණු කරයි.
  • ළදරුවා මුහුණෙන් ප‍්‍රකාශ කරන හැඟීම මව හඳුනා ගත යුතු ය. දරුවා හැඬීමේ අරමුණ මව අවබෝධ කර ගනිමින් සුව පහසුව සැලසිය යුතු ය. දරුවා බොහෝ ලෙස හැඬීමට තැබීමෙන් කලකිරීමක් දරුවා තුළ ඇති වේ.
  • දීප්තිමත් පාට බෝල දරුවාට පෙනෙන සේ එහා මෙහා සෙලවීමට සලස්වන්න. ඒවා බැලීමේදී හිස එහා මෙහා චලනය කරයි. ගෙලෙහි පේශී ශක්තිමත් වේ.

ප්‍රතිශක්තිකරණය

පෙන්ටා සංයුජ එන්නත හා පෝලියෝ මුඛ එනන්ත හා අජීවී එන්නත එමගින් ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් B, හිමෝෆිලස්, ඉන්ෆ්ලුවෙන්සාව නිසා ඇති වන රෝගත් පෝලියෝ රෝගයත් වළක්වයි.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ තුන්වන මාසය

 

එකම හා ප්‍රධාන ආහාරය මව්කිරිය. වෛද්‍ය නිර්දේශයට අනුව එකම සහ ප්‍රධාන ආහාරය මව්කිරි පමණි. යම් යම් ගැටලුකාරී තත්ත්ව උද්ගත වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශය මත ළදරු කිරිපිටි වර්ග, සෝයා කිරි වැනි දේ ලබාදෙන දරුවන්ද සිටිය හැකිය.

මවගේ කටහඬ හොඳින් හඳුනාගෙන මව සමග ඇති බැඳීම තවත් ශක්තිමත් කරගනී. මවගේ ඇස් අනුගමනය කරයි. මව සමග සිනාසෙයි. මව සමග විවිධ ආකාරයෙන් සන්නිවේදනය පවත්වා ගනී. හැඬීම එකම සන්නිවේදන ක්‍රමයයි. උසෙහි ලොකු වෙනසක් ඇති නොවේ. උපදින විට දිග 50cm පමණ වත අතර අවුරුදු 01 වන විට එය 75cm වේ. බර 500g/600g කින් පමණ වැඩි වේ.

 

ක්‍රියාකාරකම්

  • හිස දීප්තිමත් වර්ණ හා ආලෝකය දෙසට හරවයි.
  • හඬ නැගෙන දෙසට දෙඇස් හරවයි.
  • අත් දෙක මිට මෙලවීමට සමත් වේ.
  • දෑත් දෙපා එහා මෙහා කරමින් දඟලයි. පයින් ගසයි.
  • අත් හා ඇස සම්බන්ධීකරණයෙන් යුතුව යොදා ගැනීම අරඹයි.
    • මිට මෙලවූ අත සිය මව සමීපයට ගෙන එයි. අත් පා තල්ලු කරයි. දෑත් විවෘත කරයි.
    • වැලමිට තද කරමින් හිස හා පපුව ඉහළට එසවීමට උත්සහ කරයි.
  • සමාජශීලී සිනහවක් උරුමකරගනී. කෙනෙකුගේ බැල්ම දීර්ඝ කාලයක් රඳවා ගැනීමට සමත් වේ.
  • අපහසුතා හෝ වෙහෙස හැඟවීමට හඬයි. සතුටට හා අමන්දානන්දයට පත් වූ විට සිනහ වෙයි/ ගුරු ගුරු හඬ නඟයි.

 

දෙමාපියන් කළ යුතු දෑ

  • ළදරුවා මුහුණ දැකීමට ප‍්‍රිය කරයි. ඔබේ මුහුණ ළදරුවාගේ මුහුණ සමීපයට ගෙන ඒමෙන් සහ ඔබේ බැල්ම ළදරුවාට හසු කිරීමෙන් ළදරුවා උත්තේජනය ‍කෙරයි. තොටිල්ලට කැඩපතක් සවි කර ළදරුවාට දැක ගැනීමට සලස්වන්න.

 

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ හතරවන මාසය

 

මේ වන විටත් වෛද්‍ය නිර්දේශයට අනුව පුංචි පැටියාගේ එකම සහ ප්‍රධාන ආහාරය මව්කිරි පමණි. යම් යම් ගැටළුකාරී තත්ත්ව උද්ගත වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශය මත ළදරු කිරිපිටි වර්ග, සෝයා කිරි වැනි දේ ලබාදෙන දරුවන්ට සිටිය හැකිය.

මේ මාසය වන විට පුංචි පැටියෙක් සාමාන්‍යයෙන් දිනකට කෙටි නින්දවල් 2 ක් පමණ ලබයි. එය පැය 7-8 රාත‍්‍රියට දිගු නින්දක් ඇතුළුව දිවා කාලයේ කෙටි නින්ද ලෙස දිනකට නිදන සම්පූර්ණ පැය 14 - 16 පමණ වේ. මේ මාසය වන විට ගැහැණු දරුවෙකු නම් බර රාත්තල් 10-19 වන අතර දිග/උස අඟල් 22 - 26.5 පමණ වේ. පිරිමි දරුවෙකුගේ නම් බර රාත්තල් 11-20 ක් පමණ වන අතර දිග/උස අඟල් 23-27 කි.

 

ළදරුවාගේ ක්‍රියාකාරකම්

  • හිස ඉහළට ඔසවයි.
  • දරුවා උඩු අතට සිටින විට පාදය අතින් අල්වා ගනී.
  • අතට හසුවන සියල්ල කටට දමා ගනී.
  • දරුවා උකුල, තට්ටම් පහළ කොටස උපයෝගී කරගෙන උදව් ඇතිව වාඩි වෙයි.
  • පුද්ගලයන් සමග ඉබේ සිනාසෙයි.
  • පවුලේ අය හඳුනාගනී.
  • කැඩපතකින් තමාව දුටු විට සිනාසෙයි.
  • සෙල්ලම් කිරීමට කැමතියි. එය නැවැත්වූ විට හඬයි.
  • යමක් වැටුණ විට එය දෙස හිස හරවා බලයි.
  • දරුවාගේ මුහුණෙන් හා චලනයන්ගෙන් අදහස් ප‍්‍රකාශ කරයි.
  • දරුවා තමාගේ පණිවුඩය oob, aab, coo වැනි ස්වර ශබ්ද හරහා දෙමාපින්ට දීමට තැත් කරයි.
  • යමක් බිම දමා එය ඇහිඳ දුන් විට යළි එය බිම දමා නැවත නැවත එය කිරීමට කැමති ය.
  • කාමරය හරහා දැකිය හැක.
  • රතු පැහැය හඳුනාගනී.

 

ප‍්‍රතිශක්තීකරණය

  • පෙන්ටා සංයුජ එන්නත, පෝලියෝ මුඛ එනන්ත හා අජීවී එන්නත

    එමගින් ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් B, හිමෝෆිලස්, ඉන්ෆ්ලුවෙන්සාව නිසා ඇති වන රෝගත් පෝලියෝ රෝගයත් වළක්වයි.

 

දෙමාපියන්ට කළ හැකි ද

  • අලුත් දේවල් ගවේෂණය සඳහා ආරම්භ කරන අතර ඒ සඳහා සෙල්ලම් බඩු ලබාදෙන්න.
  • දිනපතා විනාඩි කිහිපයක් කියවීම, සින්දු කීම සඳහා වැය කරන්න.
  • ඇස් දෙකම හා දරුවාගේ ශරීරය උපයෝගී කරගෙන සෙල්ලම් කිරීමට උනන්දු කරන්න.
  • දරුවා සමග කැඩපත ඉදිරියේ සෙල්ලම් කරන්න.

 

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ පස්වන මාසය

 

දවසින් දවස වැඩෙන පුංචි පැටියාට තවමත් ප්‍රධාන ආහාරය ලෙස ලබා දෙන්නේ මව්කිරි පමණි. සාමාන්‍යයෙන් වෛද්‍ය උපදෙස්වලට අනුව පළමු මාස හය, එනම් උපතින් දින 180 සම්පූර්ණ වන තෙක් ප්‍රධාන හා එකම ආහාරය මව්කිරි පමණක් බව පැවසුවත් මව රැකියා‍වක නියුතු වීම හෝ වෙනත් හේතු මත මව්කිරි ලබාදීමට නොහැකි වූ ළදරුවන්ට වෛද්‍ය උපදෙස් මත අමතර ආහාර මේ කාලය තුළ ආරම්භ කළ හැකි ය. නමුත් ඔබ නිවසේ සිටින, මව්කිරි ප්‍රමාණවත් පරිදි නිපදවෙන මවක් නම් පළමු මාස 6 සම්පූර්ණ වන තුරු ම මව්කිරි ලබාදිය හැකියි. අමතර ආහාර ආරම්භ කිරීම සම්බන්ධ උපදෙස් අවශ්‍ය නම් එනම් ඔබ මාස පහ සම්පූර්ණ වූ විගස අමතර ආහාර හඳුන්වා දීමට සිටින මවක් නම් පුංචි පැටියාගේ හය වන මස ලිපියෙන් ඔබට ඒ තොරතුරු ලබාගත හැකියි.

මේ පුංචි පැටියා රාත‍්‍රියට පැය 10 - 12 නිදයි. දහවල් කාලයේත් කෙටි නින්දවල් 3 - 4 ක් ද ලබාගනියි.

මේ මාසය වන විට සාමාන්‍යයෙන් පුංචි පැටියාගේ බර උපත් බර මෙන් දෙගුණයක් වේ.

 

ක්‍රියාකාරකම්

  • හිස තනිව චලනය කරයි. යමක් ගැනීම සඳහා ශරීරය චලනය කරයි.

    උදා: පෙරළීම

  • ඇස, අත භාවිත කරන අතර මාර්ගෝපදේශය ලබා දේ.
  • දුර ඇති ද්‍රව්‍යයකට අත යවා එය ග‍්‍රහණය කළ හැක. එය කටට ගැනීම, අතින් අතට මාරු කිරීම සිදු කරයි.
  • පාදයෙන් පයින් ගැසීම කරන අතර පාදයේ මහපටඟිල්ල උරයි.
  • වාඩි වී සිටින විට හිස තරමක් පිටුපසට යයි. කුඩා උපකාරයක් අවශ්‍ය වේ.
  • දරුවාගේ කිහිල්ල යටින් අත යවා එසවූ විට දරුවා හිටගනී, උඩපනී.
  • යමෙකු දරුවාට කතා කළ විට කට දිහා බලාගෙන එය අනුකරණයට උත්සහ කරයි.
  • “ee, ab, oob” හඬවල් ඇති කරයි.
  • අමුත්තන් දුටු විට හඬයි.
  • සුපුරුදු මුහුණු හා කටහඬට සිනාසෙයි. හඩ ඇසෙන දෙස බලයි.
  • දෙමාපියන් කතාබහක යෙදී සිටින විට යම් හඬවල් නඟමින් අවධානය ගැනීමට උත්සහ කරයි.
  • ඇල්ලීම, එසවීම, සෙලවීම, රස බැලීම ආදියට උත්සාහ කරයි.
  • සතුට, බිය, තරහ, විනෝදය පෙන්වයි. හඬන විට කත‍ා කළ පසු ඇඬීම නවත්වයි.

 

මව්පියන් විසින් කළ යුතු දෑ

  • සංගීතයට ලැදියාවක් දක්වයි නම් ගීත ගයන්න. ළදරුවා සමග සිනාසෙන්න, අත්පුඩි ගසන්න.
  • වර්ණවත් සෙල්ලම් බඩු ලබා දෙන්න.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ හය වන මාසය

 

ඔන්න දැන්නම් පුංචි පැටියට දින 180 සම්පූර්ණයි. දැන් අමතර ආහාර ආරම්භ කරන්න කාලේ හරි. ඒත් මව්කිරි නම් නොදී බැහැ. එයාට අමතර ආහාර දුන්නට අතර මැදට මව්කිරි ලබා දෙන්න ඕනේ.

 

ක්‍රියාකාරකම්

  • පෙනෙන තෙක් මානයේ නොතිබුණ ද සමහර ද්‍රව්‍ය තිබෙන තැන් සොයාගනී.
  • තමා සමීපයේ නොපවතින දෑ ගැනීමට දඟලයි. යම් යම් ද්‍රව්‍ය සෙලවීමෙන්, ගැනීමෙන් හා බිම දැමීමෙන් හේතු ඵල විමසීමට උත්සහ දරයි.
  • උදව් ඇතිව ඉඳගන්නා ඉරියව්වට පැමිණේ.
  • සෙල්ලම් බඩු අතින් අතට මාරු කරයි. කටට දමයි.
  • ශබ්ද අනුකරණය කරයි. මාස 4-5 දී පමණ බර, උපත් බර මෙන් දෙගුණයකි. උසෙහි සැලකිය යුතු වෙනසක් නැත.
  • උසෙහි සැලකිය යුතු වෙනසක් නැත.
  • කටට ඇතුළු කරන දෙයක් පිටතට නොදමයි.
  • දෙපැත්තට පෙරළෙයි. ඉඳගෙන සිටීමේ ඉරියව්වෙන් තැබූ විට නොවැටී සිටී.
  • අහල පහළ ඇති දෑ අතට හුරුකරගනී. ඒවා එක් අතකින් අනෙක් අතට මාරු කිරීමට උත්සහ කරයි.
  • උදරය යටට සිටින සේ නිදාගෙන හිස හා පපුව ඉහළට එසවීමට සමත් වේ.

 

අමතර ආහාර හඳුන්වා දීම

  • හොඳින් මත් ගාගත් කැබලි රහිත බත් තලපයට අවශ්‍ය නම් මව්කිරි මිශ්‍ර කොට ලබාදෙන්න.
  • දිනකට එක් වරක් තේ හැඳි එකක් හෝ දෙකක් ලෙස ආහාර ලබාදීම ආරම්භ කරන්න.
  • ලබා දෙන ආහාර ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරමින් දින දෙක තුනක් ඒ ආහාරයට දරුවා හුරු කරන්න.
  • දින කිහිපයකට පසුව බත් තලපයට පරිප්පුද තවත් දින කිහිපයකට පසුව කැරට්, වට්ටක්කා, අල, බෝංචි, අලු කෙසෙල් වැනි එළවළු වර්ග එකතු කරන්න.
  • ගොටු කොළ, මුකුණුවැන්න, සාරණ වැනි පලා වර්ග ද එකින් එක ටිකෙන් ටික එක් කරන්න.
  • පැපොල්, කෙසෙල්, අඹ, අලිපේර වැනි හොඳින් ඉදුණු පලතුරක් සූරා ‍තේ හැඳි එකක්/දෙකක් දිනකට වේල් දෙකක්/තුනක් ලබාදෙන්න.
  • අතරමැදට මව්කිරි ලබාදෙන්න.

ප‍්‍රතිශක්තිකරණය

  • පෙන්ටා සංයුජ එන්නත, පෝලියෝ මුඛ එනන්ත හා අජීවී එන්නත
  • එමගින් ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් B, හිමෝෆිලස්, ඉන්ෆ්ලුවෙන්සාව නිසා ඇති වන රෝගත් පෝලියෝ රෝගයත් වළක්වයි.

 

 

ප‍්‍රතිශක්තිකරණය

  • උපතේදී BCG එන්නත ලබාදෙන අතර එමගින් ක්‍ෂය රෝගය පාලනය කරයි.
  • මාස 2,4,6 දී පෙන්ටා සංයුජ එන්නත හා පෝලියෝ මුඛ එන්නත ලබාදේ. එමගින්, ගලපටලය, කක්කල් කැස්ස, හෙපටයිටීස් 13 රෝගය, ඩිප්කීරියාව, හිමෝපීලියා, ඉන්ෆ්ලූවෙන්සාව නිසා ඇති වන රෝග මෙන්ම පෝලියෝ රෝගය ද වළක්වයි.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ හත්වන මාසය

 

දවසින් දවස ලොකු වෙන පුංචි පැටියා අලුත් අලුත් ආහාරවලට හුරුවෙන්න පටන් අරගෙන. දවසින් දවස එයාට අලුත් අලුත් එළවළු වර්ග, පළතුරු වර්ග හඳුන්වලා දෙනවා. දැන් නම් ඔන්න පුංචි පැටියා බාධාවක් නැතිව රෑ පුරා පැය 11 ක් විතර සනීපෙට නිදාගන්නවා. දවල් කාලෙත් පැය 3 - 5 ක පමණ කාලයක් දෙතුන් වරක් කෙටි නින්දවල් ලබාගන්නවා.

 

ක්‍රියාකාරකම්

  • ඇඟිලි භාවිතා කරමින් යමක් ඇහිඳීම, ඇල්ලීම හා තමා දෙසට ඇද ගැනීම සිදු කරයි.
  • දණගෑම, පෙරලීම වැනි ක‍්‍රම මගින් චලනය වේ.
  • තනිව වාඩිවිය හැකි අතර යමක් තමා දෙසට ඇද ගැනීම කළ හැක.
  • බහතේරීම ආරම්භ කරයි. කතා කරන ආකාරයට මෙන් හඬ ඉහළ පහළ යන ආකාරයට ශබ්ද නිකුත් කරයි.
  • සන්නිවේදනය සඳහා ශරීර භාෂාවන් භාවිතා කරයි. උදා: අවධානය ලබාගැනීමට විවිධ හඬවල් නිකුත් කරයි.
  • දරුවා කලින්ම කතා කරන්නෙකු වුවහොත් සරල වචන 1 - 2 භාවිතා කිරීම කළ හැක. නමුත් අර්ථය දරුවා නොදනී.
  • දරුවාගේ හැඟීම් වර්ධනය වෙමින් පවතී. දරුවාට සතුට හෝ දුක ඇති වූ විට එය දෙමාපියන්ට දන්වයි.
  • පවුලේ ළඟම සාමාජිකයන් හෝ තමා රැක බලාගන්නා පුද්ගලයා සමග ශක්තිමත් බැඳීමක් ඇති කර ගනී.
  • තවම අලුත් මුහුණුවලට බියක් දක්වයි. වෙන්වීම හා අමුත්තන් නිසා ඇතිවන කාංසාව දරුවා පෙන්නුම් කරයි.
  • ආධාර ඇතිව හිටගනී. යමක් සැපීමට උත්සාහ දරයි.

අමතර ආහාර හඳුන්වා දීම

  • හොඳින් තලාගත් කැබලි රහිත බත් තලපයට අවශ්‍ය නම් මව්කිරි මිශ්‍ර කොට ලබාදෙන්න.
  • දිනකට එක් වරක් තේ හැඳි එකක් හෝ දෙකක් ලෙස ආහාර ලබාදීම ආරම්භ කරන්න.
  • ලබා දෙන ආහාර ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරමින් දින දෙක තුනක් ඒ ආහාරයට දරුවා හුරු කරන්න.
  • දින කිහිපයකට පසුව බත් තලපයට පරිප්පුද තවත් දින කිහිපයකට පසුව කැරට්, වට්ටක්කා, අල, බෝංචි, අලු කෙසෙල් වැනි එළවළු වර්ග එකතු කරන්න.
  • ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ වැනි පලා වර්ග ද එකින් එක ටිකෙන් ටික එක් කරන්න.
  • පැපොල්, කෙසෙල්, අඹ, අලිපේර වැනි හොඳින් ඉදුණු පලතුරක් සූරා ‍තේ හැඳි එකක්/දෙකක් දිනකට වේල් දෙකක්/තුනක් ලබාදෙන්න.
  • අතරමැදට මව්කිරි ලබාදෙන්න.

 

ආහාර ලබාදීම

ආහාර විකා කෑමට හුරුකරවීමට සියුම් කැබලි සහිතව ආහාර ලබාදීම ඉතා වැදගත් වේ.

  • බත් හා පරිප්පු මිශ්‍රණයට එළවළුවක් පලා වර්ගයක් හා සත්ත්වමය ආහාර (මස්/මාළු/කුඩු කරගත් හාල්මැස්සන්) ඇතුළත් ආහාර වේල වරකට අඬු කෝප්ප 3/4ක් පමණ වන සේ දිනකට වාර දෙක/තුනක් ලබාදෙන්න.
  • ආහාර සැකසීමේදී පොල් කිරි/පොල්‍ තෙල්/බටර් වැනි යමක් භාවිත කරන්න.
  • අතර මැදට මව්කිරි ලබාදෙන්න.

 

දෙමාපියන් විසින් කළ යුතු දේ

  • නව හැඩ තල හා වර්ණ හඳුන්වා දෙන්න.
  • අනාරක්ෂිත ක්‍රියාකාරකම් අත්හදා බැලීමට උත්සාහ කරන විට සහයෝගය මෙන්ම ආරක්ෂාව සලසන්න.
  • නිදහසේ චලනය වීමටත්, ද්‍රව්‍ය වෙත ළඟා වීමටත් ආරක්ෂිත වටපිටාවක් සකසන්න.
  • වටපිටාව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදෙන්න.
  • දරුවා සමග කතා කරන්න. කතා කියන්න. ගීත ගයන්න.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ අටවන මාසය

 

බහතෝරන්න වෙහෙසෙන‍ අපේ පුංචි පැටියා දැන් නම් බොහෝම කාර්ය බහුලයි. දවස පුරා බොහොම ක්‍රියාශීලීව කාලය ගත කරනවා. මේ වෙද්දී ගැහැණු දරුවෙකු නම් බර කිලෝ 8කට ආසන්නයි. උස අඟල් 27.1 විතර. පිරිමි දරුවෙකු නම් කිලෝ 8.5ක් විතර බරැතියි. ඒ වගේම උස අඟල් 27.8 පමණ වෙනවා. මේ වයස් සීමාවේදී පුංචි පැටව් නිදාගන්න නම් ඒ තරම් ලොකු කැමැත්තක් නැති වුණත්, සාමාන්‍යයෙන් බොහෝ දරුවන් උදෑසන හෝ සවස කෙටි නින්දේදී පැය 1 - 2 නිදාගන්නවා. ඒත් සමහර දරුවෝ විනාඩි 20 ක් විතර. කොහොම වුණත් දවසකට පැය 13 - 14 දක්වා කාලයක් නින්දට වැය කරනවා.

ක්‍රියාකාරකම්

  • බහ තේරීම, දණගෑම, අත්පුඩි ගැසීම, නැඟිටීමට උත්සහ දැරීම කරයි.
  • මෙම අවධියේදී මොළය හොඳින් වර්ධනය වේ.
  • පවුලේ ළඟම සාමාජිකයෙකුට හෝ වෙනත් දරුවා බලාගන්නා විශේෂ පුද්ගලයන්ට වැඩි කැමැත්තක් දක්වයි.
  • ඔවුන්ට තමාගේ පෞරුෂත්වය පෙන්වීම ආරම්භ කරයි.
  • වචන එකිනෙක සම්බන්ධ කරමින් අදහස් ප‍්‍රකාශ කිරීම ආරම්භ කරයි.
  • එසේම දෙමාපියන්ගේ ශරීර චලන හඳුනාගනී. උදා: යමක් දෙස ඇඟිල්ල දිගු කළ විට ඒ දෙස බලයි.
  • අර්ථය දැන නොසිටිය ද සරල වචන භාවිත කරයි.
  • ශබ්ද/හඬවල් අනුකරණය කරයි. අවධානය සඳහා ශබ්ද නිකුත් කරයි.
  • තමා වටා ඇති හැමදෙයක්ම ගවේෂණය කරයි. උදා: යමක් සඟවා සෙවීම.
  • දරුවා යමක් කරමින් සිටින විට ඔබ “එපා” කීවහොත් එය නවත්වයි.
  • ආහාර හැපීම, උරාබීම පුරුදු වේ.
  • තමා අතින්ම ආහාර ගැනීම ආරම්භ කරයි.
  • නමට ප‍්‍රතිචාර දක්වයි.
  • “ම” සහ “බ” යන ව්‍යංජන අකුරු උච්චාරණය කරයි.
  • අන් අයගේ සතුට හා දුකට ප‍්‍රතිචාර දක්වයි.
  • රස බැලීම හා ඇල්ලීම/අතගෑම මගින් බොහෝ දේ ඉගෙන ගනී.
  • පුටුව, මේසය අල්වාගෙන සිටගනී.
  • දත් ඒම ද ආරම්භ වේ.

 

ආහාර

  • ප්‍රධාන ආහාර වේල ලබාදෙන අතරේම අතින් අල්ලාගෙන කෑමට යමක් දරුවා වෙත ලබා දෙන්න.
  • දිනකට ප්‍රධාන ආහාර වේල් 3ට අමතර කෙටි ආහාර වේලක් ද ලබා දෙන්න.
  • කුඩා කැබලි සහිත ආහාර දෙන්න.
  • හොඳින් තම්බන ලද බිත්තර කහමදය හැඳි ½ කින් පමණ අරඹා ක‍්‍රමයෙන් වැඩි කරන්න.
  • අතර මැදට මව්කිරි ලබාදෙන්න.

 

මව්පියන් කළ යුතු දේ

  • අනුකරණයට පහසු ආදරණීය සෞම්‍ය හඬකින් දරුවා අමතන්න.
  • වෙනස් ආකාරයන්ගේ හඬවල් නිකුත් වන සෙල්ලම් බඩු ලබාදෙන්න.
  • අවට පරිසරය හා ගැටෙන්නට අවස්ථාව ලබාදෙන්න.
  • දරුවා සමග කතා කරන්න, කතා කියන්න, ගී ගයන්න.
  • දරුවා සමග හැංගිමුත්තන් වැනි සෙල්ලම්වල යෙදෙන්න.

 

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියාගේ නවවන මාසය

 

පුංචි පැටියා ටික ටික ලොකු වෙනවා. දැන් නම් මේ පුංචි පැටව් දවසකට සාමාන්‍යයෙන් පැය 14 ක් විතර නින්ද වෙනුවෙන් වෙන් කරනවා. ඒ පැය 14 න් පැයක් දෙකක් දවල් වරුවේ නිදාගන්නවා.

 

ක්‍රියාකාරකම්

  • කුඩා සරල ඔබ දෙන උපදෙසක් ඔබට අවශ්‍ය ලෙස කර පෙන්වයි.

    උදා: අත වැනීම (bye, bye)

  • ඇඟිලි භාවිත කරමින් ඇහිඳියි.
  • මහපටඟිල්ල හා දබරඟිල්ල භාවිතයෙන් යමක් ඇහිඳියි.
  • මව, පියා ඉතා සරලව තීරණය කරයි.
  • යමක් අල්වා සිටගනී.
  • තමාගේ සෙල්ලම් බඩු, පුරුදු මුහුණු හඳුනාගනී.
  • වචන කතා කිරීමට උත්සාහ කරයි.
  • ලැජ්ජාවක් ඇති වූ විට මුහුණ වසාගනී.

 

ආහාර

  • දිනකට ප්‍රධාන කෑම වේල් 3 ක් ලබාදෙන්න.
  • අමතර කෙටි ආහාර වේල් 2 ක් ලබාදෙන්න.
  • කුඩා කැබලි සහිත ආහාර දෙන්න.
  • බිත්තර කහමදය ලබාදෙන්න.
  • දරුවාගේ ඇඟිලිවලින් අල්ලා ගෙන කෑමට ඉඩදෙන්න.
  • විවිධ වර්ගයේ ආහාර ලබා දෙන්න.

 

ප‍්‍රතිශක්තීකරණය

  • මාස 9 දී සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා යන රෝග වැළැක්වීමට එන්නත් (MMR) ලබාදේ.

 

දෙමාපියන් හට කළ හැකි දැ

  • නිවසෙහි දරුවාට අනතුරු රහිත පරිසරයක් සෑදිය යුතු ය.
  • විදුලි පේනූ ආරක්‍ෂාකාරීව ආවරණය කළ යුතුය.
  • පොළවෙහි ඉඩ කඩ සකසා දීම මගින් කුතුහලය හා නිදහස් චලන ප‍්‍රවර්ධනය වේ.
  • කරත්තය වැනි උපකරණයක දරුවා තබාගෙන ඇවිදීම ප‍්‍රයෝජනවත් වේ.

 

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

පුංචි පැටියාගේ දසවන මාසය

 

දැන් නම් අපේ පුංචි පැටියාට ටිකක් තේරෙනවා වගේම. දවල් කාලේ වැඩි වේලාවක් නිදාගන්න නම් ආසාවක් නැහැ වගේ. ඒත් රෑට නම් සුව නින්දක් ලබාගන්නවා.

ලොකු වෙන්න ලොකු වෙන්න නිදාගන්න වෙලාව අඩු වෙනවා වගෙයි නේද?

ක්‍රියාකාරකම්

  • සාකච්ඡාවන් සඳහා උනන්දුවක් දක්වයි.
  • මේ කාලයේදී දරුවාගේ පළමු වචනය ශ‍්‍රවණය කළ හැක.
  • මව, පියා යන වචනවල අර්ථය දැනගනී.
  • තවම බහතෝරන වියේ සිටිය ද වචන 1 - 2 කීමට පටන් ගනී.
  • අතින් අල්ලා ඇවිද්ද විය හැක. උදව් නොමැතිව අඩි කිහිපයක් ගමන් කරයි.
  • උදව් නොමැතිව සිට ගනී.
  • තමාට අවශ්‍ය දෙය හෝ යාමට අවශ්‍ය තැන ඇඟිල්ල දිගුකර පෙන්වයි.
  • අතින් අල්ලා ඇවිද්ද විය හැක. අල්ලා නොමැතිව අඩි කිහිපයක් ගමන් කරයි.
  • උදව් නොමැතිව සිට ගනී.
  • පියවර කිහිපයක් ඇවිදියි.
  • තමාට අවශ්‍ය දෙය හෝ යාමට අවශ්‍ය නැත ඇඟිල්ල දිගුකර පෙන්වයි.
  • ආහාර ඇඟිලිවලින් අල්ලා අනුභව කරයි.
  • වචන අනුකරණය කරයි.
  • “bye” යනුවෙන් අත වනයි.
  • පාටවල් හොඳින් හඳුනයි.
  • කුතුහලය හා ගවේෂණය වර්ධනය වේ.
  • වෙන්වීම නිසා ඇති වන තනිකම ප‍්‍රකාශ කරයි.
  • ඉල්ලීම් තනි වාක්‍ය ඛණ්ඩ අවබෝධ කරගනී.
  • සංගීතයට හා නැටුමට කැමති වේ.

 

දෙමාපියන්ට කළ හැකි ද

  • දරුවා දක්වන ඉඟි හා සංඥාවලට තේරුම් එක් කිරීමට අර්ථ කථන දැක්වීම ආරම්භ කරන්න.

    උදා නැත යන්නට - හිස වැනීම/සමු දීමට - අතවැනීම

  • කැඩපතෙන් දරුවා ඔහුව දකින විට සිනාසී සිපගනියි.
  • දරුවා සමග හැංගිමුත්තන් වැනි ක‍්‍රීඩා කරන්න. එමගින් නව ආරයේ අවබෝධයක් ඇති වේ.
  • දරුවාගේ දෑසට ගැඹුරින් එබී බලන්න. ඇසට ඇස ගැටීමෙන් සමීපතාවයක් ඇති කරගත් විට දෙමාපියන්ට දරුවාගේ විනය පිළිබඳව ගැටලු ඇති නොවේ.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි පැටියට අවුරුද්ද වෙන්න ළඟයි

 

දැන් ඔබේ පුංචි පැටියා ගත කරන්නේ එයාගේ පළමු අවුරුද්දේ අවසාන මාසය. ඒ කියන්නේ මාස 11 - 12 අතර කාලය. මසක් ගානේ දරුවාගේ ශාරීරික මානසික සංවර්ධන අවධි ඔබ හඳුනා ගන්න ඇති. ඒ වගේම ඔබ, පුංචි පැටියා වෙනුවෙන් කළ කී දේ මගින් එයා කොයි තරම් නම් දේ ඉගෙන ගත්තාද යන්න දැන් ඔබට වැටහෙනවා ඇති. දැන් නම් මේ පුංචි පැටියාගේ බර උපත් බර වගේ තුන් ගුණයක් පමණ වෙනවා. ඒ වගේම උස සෙන්ටිමීටර් 75ක් පමණ විය හැකියි.

 

ක්‍රියාකාරකම්

  • ආධාරකයකින් තොරව වාඩි වෙයි.
  • අත්, පා, දණහිස යොදා නැඟිටීමට උත්සහ දරයි.
  • ආධාරකයෙන් අල්ලාගෙන පා තැබීමට තැත් කරයි.
  • වචන, ශබ්ද අනුකරණයට උත්සහ කරයි. සරල ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දක්වයි.
  • සෙල්ලම් කිරීමෙන් හා අත් පොළවේ ගැසීමෙන් විනෝද වේ.
  • අවධානය ලබාගැනීමට ශබ්ද හා නැවත දක්වයි.
  • මහපටඟිල්ල හා එක් ඇඟිල්ලක් යොදාගෙන යම් යම් දේ අහුලා ගනී.
  • හැන්ද, කෝප්පය අල්ලාගෙන සිටීමට හා තනිව කෑම ගැනීමට උත්සහ දරයි.
  • දරුවා දක්වන ඉඟි හා සංඥා වලට තේරුම් එක්ක කිරීමට අර්ථ කථන දැක්වීම ආරම්භ කරන්න.

    උදා: හිස වැනීම “නැත” යන්නට ද, අත වැනීම සමු දීමට.

  • තම දබරඟිල්ල දිගු කරමින් තමන්ට අවශ්‍ය දේ කවරේදැයි ඔබට පැවසීමට දරුවා උත්සහ කළ හැක.
  • කැඩපතෙන් දකින විට ඡායාවට සිනාසෙයි. තට්ටු කරයි. සමහර විට සිප ගනියි.
  • තොටිල්ල හෝ කොටුවක් තුළ සිරකර තැබීම ප‍්‍රතික්ෂේප කරයි.
  • අමුත්තන් මුණ ගැසුන විට දෙවුර මත හිස සඟවා ගනී.

ආහාර ලබාදීම

  • කෑම ලබාදීමට පැය 2-3 පෙර අනෙක් ආහාර ලබානොදෙන්න. දරුවාට හොඳින් බඩගිනි වීමට මෙම කාලය අත්‍යවශ්‍යයි.
  • ප‍්‍රධාන ආහාර වේල් තුනක් ලබාදෙන්න. (ප‍්‍රධාන ආහාරය සඳහා සම්පූර්ණයෙන් පුරවන ලද අඬු කෝප්පයක් සෑහේ).
  • ඒ අතර කෙටි ආහාර වේල් 2 ක් ලබාදෙන්න.
  • පොඩි කරගත් මුං ඇට, කව්පි, කඩල හා අල, පොල් සමග මිශ‍්‍ර කර ලබාදෙන්න.
  • පලතුරු හෝ යෝගට් ලබාදෙන්න.
  • සුදු ආප්ප වාටියක්, රෝස් පාන් කැබැල්ලක්, ළදරු බිස්කට් වැනි යමක් දරුවාගේ අතට ගෙන කෑමට උනන්දු කරවන්න.
  • ආහාර වේලකට පසු අවශ්‍ය නම් මව්කිරි ලබාදෙන්න.

ප‍්‍රතිශක්තීකරණය

  • මාස 12 දී (අවු.01 දී) - ජැපනීස් එන්සෙපලයිටීස් (ඔබේ පුංචි පැටියාට උණ වලිප්පුව ඇති වී ඇත්නම් එයින් වසරක් ගත වන තුරු මෙම එන්නත ලබාදීම නුසුදුසු නිසා එවැනි තත්ත්වයක් ඇති වූවා නම් වෛද්‍යවරයාට ඒ පිළිබඳව දැනුම් දිය යුතුයි)

 

දෙමාපියන් කළ යුත් ද

  • නිවස දරුවාට අනතුරු රහිත පරිසරයක් සෑදිය යුතු ය.
  • පොළව අස්පස් කර තැබීම මගින් කුතුහලය හා නිදහස් චලන ප‍්‍රවර්ධනය කරයි.
  • තල්ලු කරගෙන යන යමක් (කරත්තයක් වැනි) ලබා දීම දරුවාට ප‍්‍රයෝජනවත් වේ.
  • නිදාගැනීමට සූදානම් වන විට කතා පොත් කියවීම පුරුද්දක් කරගන්න. එක්ව කියවීම මගින් භාෂාව මෙන්ම සමීපතාව ඉහළ යයි.
  • දරුවා සමග හැංගිමුත්තන් කිරීම වැනි සෙල්ලම් කිරීමට උනන්දු වන්න. එමගින් නව ආරයේ අවබෝධයක් ඇති කරගනී.

දරුවාගේ දෑස් තුළට ගැඹුරින් එබී බලන්න. ඇසට ඇස ගැටීම තුළින් සමීපතාවයක් ඇති කරගත් දෙමාපියන් හට දරුවාගේ විනය පිළිබඳ ගැටළු ඇති වන්නේ ඉතා අඩුවෙනි.

ලංකා හොස්පිට්ල්හි ළමා රෝග හා නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

අලුත ඉපදුනු පැටියාට අවශ්‍ය හොඳම පෝෂණය ලබාදිය හැක්කේ මව්කිරි වලිනි.

මව්කිරි දීම සම්බන්දව ඇති කරුණු කාරණා පිළිබඳව දැනගන්න ඔබත් මෙතනින් පිවිසෙන්න.

අපගේ අලුත් ලිපි

අලුත උපන් පුංචි පැටියාගේ ශාරීරික සහ මානසික සංවර්ධනය සඳහා වැදගත් වන තවත් දැනුම මෙතනින් ලබාගන්න.

'දරු පැටියාගේ ලෝකය' (pdf) මෙතනින් බාගත කරගන්න

Daru Patyage lokaya
බාගත කර ගන්න