Enter Your Key Word

වාසනාවන්ත දරුවෙකු ගොඩනගන්න පවුලේ බැඳීම කොයිතරම් වැදගත් ද?

Breastfeeding baby

දරුවන් උස්මහත් වීමත් සමග දෙමව්පියන්ගේ ඇසුරෙන් යම් තරමකට දුරස් වුණත් පවුලක් විදිහට ඔවුනොවුන් අතර බැඳීමක් තිබීම අත්‍යවශ්‍යයි. ඒත් අද බොහෝ දරුවන් අතර මේ තත්ත්වය නොමැති වීම එක්තරා ආකාරයකින් දෙමව්පියන්ගේත් හිතට වද දෙන ප්‍රශ්නයක්.

නමුත් දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් තිබෙන බැඳීම දරුවන් වෙතින් දෙමව්පියන්ටත්, සහෝදර සහෝදරියන් අතර වගේම එකම වහලක් යට ජීවත් වෙන වැඩිහිටියන් අතරත් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එහෙනම් අපි පවුලක බැඳීම ගොඩ නගන විට නොකළ යුතු දේ මොනවාද?

විශේෂ සැලකිලි දැක්වීම

දෙමව්පියන් වෙතින් සිද්ධ වෙන එක්තරා වරදක් තිබෙනවා. දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන්ට විශේෂ සැලකිලි දක්වනවා. ඒ දරුවන්ට අනාදරයෙන් නොවුණත් ඇතැම් විට 'අම්මා මට වඩා නංගිට ආදරෙයි, එහෙම නැත්නම් අයියා මොන වරද කළත් අම්මා තාත්තා කිසිම දෙයක් කියන්නේ නැහැ' වගේ සිතුවිලි දරුවා සමගම වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා.

ඒ නිසා දරුවාටත් නොදැනීම ඔවුන් තුළ පවුල සමග තිබෙන බැඳීම කාලයත් සමගම දුරස් වීමට පටන් ගන්නවා.

වැඩිහිටියන්ට වටිනාකමක් ලබා නොදීම 

බොහෝ පවුල්වල වැඩිම තැනක් ලැබෙන්නේ දරුවාට. ඒකත් ඇත්ත, දරුවා තරම් වටිනා සම්පතක් අපට නැහැනේ. ඒ වුනාට දරුවාට වැඩිහිටියන් වුණත් පවුලේ වැදගත් චරිත බව ඒත්තු ගැන්වීම ඉතාම වැදගත්. නිවසක අත්තම්මා, සීයා, නැන්දා, පුංචි අම්මා ඉන්නේ දරුවාගේ වැඩ කටයුතු වෙනුවෙන්ම පමණක් නොවන බැව් දැනෙන්න ඔබ කටයුතු කිරීම ඉතාම වැදගත්.

අද බොහෝ පවුල් සංස්ථාවන් තුළ වැඩිහිටියන් වෙනුවෙන් කිසිම තැනක් ලැබෙන්නේ නැහැ. ඔබේ පැටියා පුංචි කාලයේ පටන්ම මෙවන් පසුබිමක හැදෙන වැඩෙන නිසා කාලයත් සමග දරුවා වැඩිහිටියන් කෙරේ කිසිම හැඟීම් දැනීම් නැති චරිතයක් විදිහට කටයුතු කිරීමට පටන් ගන්නවා.

දැඩි දඬුවම් ලබා දීම

පුංචි අයට පුංචි වැරදිවලට වුණත් අම්මා තාත්තා ලබා දෙන දඬුවම් සමහර අවස්ථාවලදී ඔවුන්ට දරා ගැනීමට අපහසු තරම් දරුණුයි. පුංචි අය ඒවා හිතේ තදින්ම තබා ගන්නවා. ඒ නිසා නිතරම දඬුවමක් ලබා දුන්නත් එයින් පසුව මේ විදිහට දඬුවම් ලබා දුන්නේ තමන් හොඳින් හදා වඩා ගන්න බව දරුවාට තේරුම් ගියොත් අනාගතයේදී පවුල සමග ඉතා හොඳින් බැඳීමක් ගොඩ නගා ගැනීමට අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ.

එහෙම නොමැතිවුණොත් දරුවා, ‘අම්මා මට ගැහුවා, තාත්තා මට රිදෙන්නම ගැහුවා’ වැනි විවිධ සිතුවිලිවලින් පීඩා විඳින්න පටන් ගන්නවා. ඒ අතරම දරුවා පවුලේ බැඳීමෙන් ක්‍රමයෙන් දුරස් වෙන්න පටන් ගන්නවා.

පවුල තුළ සහජීවනයක් නැති වීම 

අද බොහෝ පවුල්වල දරුවා අවදි වෙන විට අම්මා, තාත්තා දකින්නත් නැහැ. රාත්‍රියටත් අම්මා සහ තාත්තා නිවසට එන විට දරුවා නින්දට ගිහින්. වර්තමාන ජීවන රටාව අනුව මෙය සාමාන්‍ය තත්ත්වයක් වුණත් අඩුම වශයෙන් ඔබ දරුවා අවදිව සිටින විටවත් සිඹ සනසන්න, ඔවුන් සමග කතා බහ කරන්න අවස්ථාවක් ලබා ගැනීම ඉතාම වැදගත්.

වැඩ රාජකාරි ඉදිරියට තබා ගෙන ඔබ නිතරම දරුවා හුදෙකලා කරන්න එපා. ඔවුන් පුංචි වුණත් පුංචිවට හෝ සමාජයක් අපේක්ෂා කරනවා.

කැවීම, පෙවීම හා ස්පර්ශය නැති වීම

ඔබ රැකියාවක නිරතව සිටිනවා නම් දරුවාගේ වැඩ කටයුතු වෙනුවෙන් කවුරුන් හෝ යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒත් ඔබ නිවසේ සිටින විටෙක නම් අම්මා හෝ තාත්තා විදිහට දරුවාට කවන පොවන කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ විදිහට දරුවා සමග ස්පර්ශයක් නැති වුනොත් ඔවුන්ගේ පවුල් බැදීම් ඔබට නොදැනීම දුරස් වෙනවා.

තාත්තාගේ ආදරය දැක්වීම අඩුවීම

පිය සෙනහසට කවි ගී ලියැවුනා මදි කියන්නා සේම පියාගේ ආදරය දරුවන්ට දැක්වීමේ අඩුපාඩු තියා ගැනීම එතරම් සුබවාදී නැහැ. සමහර විට තාත්තා යන චරිතයට දරුවන් අවනත කර ගැනීම මුල් කර ගෙන ඔබ ඒ අන්දමින් අභිමානයක් ගොඩ නගාගත්ත ද, එහි අතුරු විපාකයක් විදිහට දරුවා ඔබගෙන් දුරස් වීමට උත්සාහ දැරීමක් නොදැනීම සිදු වෙනවා. ඒ නිසා තාත්තා වුනත් දරුවන්ට ආදරය කරන්න, සිඹින්න, ඔවුන්ගේ වැඩ කටයුතු කරන්න, කවන්න, පොවන්න කිසිම විටෙක පසුබහින්න එපා.

පවුලේ සමගිය බිඳී යාම

අම්මා සහ තාත්තා අතර පවතින හොඳ සම්බන්ධතාවය දරුවන් පවුල සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට බෙහෙවින් හේතු වෙනවා. බොහෝ විට අඹු සැමියන් අතර ගැටුම් ඇති වෙන විට ඒ ආවේග දරුවන් වෙතින් මුදා හරින අවස්ථාවන් ද නැතුවාම නොවෙයි.

කුමන අන්දමේ ගැටුමක්, මතවාදයක් ඇති වුණත් ඒ කිසිම දෙයකින් පුංචි හිත් රිදවීම කිසිම විටෙක නොකරන්න. ඊට හේතුව ඒ හිත් රිදීම දැඩි විදියට යටි හිතේ තැන්පත්ව අවසානයේදී පවුල සමග පැවතිය යුතු සම්බන්ධතාවයන් දුරස් වීමයි.

දරුවෙක් පවුලකට එකතු වෙන්නේ වාසනාවකට. දරුවා නිවසට ආලෝකයක්. එහෙම නම් දරුවා පවුල සමග යහපත් බැඳීමකින් කටයුතු කිරීම තරම් තවත් වාසනාවක් නැහැ. නමුත් මේ තත්ත්වය අතදරු කාලයේ පටන්ම ගොඩ නගා ගත යුතු නිසා ඔබ, දරුවා හා පවුල යන ජාලගත සම්බන්ධතාවයට නිතරම මුල් තැන දෙන්න. එවිට ඔබේ දරුවා අනාගතයේදී පවුල සමග වඩා ශක්තිමත් බැඳීමකින් කටයුතු කරන වාසනාවන්ත දරුවෙක් බවට පත් වේවි.

Your Name

Email

Comment

0 Comments