Enter Your Key Word

පවුලේ බැඳීම දරුවාට බලපාන්නේ කොහොමද?

family relationships influence kids

පවුලක් කියන්නේ මුතු ඇට මාලයක් වගෙයි. එක වහලක් යට ජීවත්වෙන, එක හැලියක ඉදෙන බත් කන උදවිය. අපේ පැටියා සමගත් පවුල සෙනෙහසින්ම සම්බන්ධයි. ඔවුන් හැම දෙනෙක්ම දරුවා වෙත බැඳෙන්නේ සෙනෙහසේ සුමුදු මුදු පහසින් බව ඇත්ත. එසේ නම් පවුලක සම්බන්ධතාවයන් පවත්වා ගත යුත්තේ කොහොමද?

අද දවසේ පුංචි පැටව් විදියට හිටියත් හෙට දවසේ ලෝකය ජය ගන්නේ අපේ පුංචි දුව හෝ පුතා විය හැකියි. ඒ ලෝකය ජයගන්නා දවසට දෙමව්පියන් විසින් අද දවසේ අඩිතාලම දමා තිබීම ඉතාම වැදගත්. පවුලක හොඳ සම්බන්ධතාවයක් තිබුණොත් දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය තෝතැන්න ඉබේටම නිර්මාණය වෙනවා.  එසේ නොමැතිව කිසිම පවුල් සම්බන්ධතාවයක් නැති පවුලක් තුළ දරුවා අද දවසේ අසරණ වෙනවා විතරක් නොවෙයි, ඔවුන්ට හෙට දවසට ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය ශක්තීන් බොහොමයක් වර්ධනය වන්නේ නැහැ.

දරුවා වැදගත් චරිතයක්

දරුවා ඔබට පොඩිහිටියෙක් බව ඇත්ත. ඒ වුණත් පුංචි දරුවාටත් යම් වැදගත් තැනක් පවුල තුළ අවශ්‍ය වෙනවා. එය හුදෙක් අදහසක් පමණක් නොව දරුවාගේ හදවතට දැනෙන දෙයක් විය යුතුයි. පුංචිම පුංචි සන්ධියේ දී පවා දරුවාට පවුලේ වටිනාකමක් තිබෙනවාය යන්න ඔවුන්ට ඒත්තු යා යුතුයි.

දැනෙන්න ආදරය කරන්න

මව්පියන්ගේ ආදරය පුදුමාකාරයි. අසීමිතයි. මේ ආදරය සමග සෙනෙහස පිරී ඉතිරී යනවා. ඒ වුණත් මේ ආදරය දරුවාටත් දැනිය යුතුයි. දෙමව්පියන්ගේ ආදරයේ කොන්දේසි නැහැ.

ඒත් සමහර දෙමව්පියන් දරුවන්ට දැනෙන්න, ආදරය කරන්න අකමැත්තක් දක්වනවා. ඔවුන් කියන්නේ දරුවන්ට දැනෙන්න ආදරය කළොත් ඔවුන් සහ දෙමව්පියන් අතර පවතින බැඳීම නැති වෙන බවයි. නමුත් දරුවන් ආදරයට බෙහෙවින් ආදරය කරනවා. ඔවුන් මතු දවසක පවුලට ආදරය කරන්නේ අද දවසේ තමාට ලැබුන ආදරයට ප්‍රතිචාර විදිහටයි.

ඒ නිසා අනාගතයේදී පවුල සමග දරුවාගේ සම්බන්ධතාවය යහපත් පරිදි ගොඩ නගා ගැනීමට නම් ඔවුන්ට අද දවසේ දැනෙන්න ආදරය කරන්න.

මව පියා අතර බැඳීම

දරුවාගේ උපත සමග අම්මා කාර්යබහුලයි. ඒ නිසා ඇගේ ලෝකය දරුවා පමණයි. තාත්තා වියදම් පිරිමහන චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වුනත් පවුලක සාර්ථක බැඳීමක් ඇති වීමට නම් අම්මා සහ තාත්තා අතර පවතින සම්බන්ධතාවය ඉතාම වැදගත්. ඔබ නොදැන හිටියත් දරුවා මේ හැම දෙයක්ම හොඳින් දැක බලා ගෙන එයින් යම් යම් අත්දැකීම් ලබා ගන්නවා.

අනාගත දිනකදී දරුවා කටයුතු කරන්නේ ඔහු ලබා ගත් අත්දැකීම් අනුවයි. ඒ නිසා පවුලක් වුණොත් අම්මා සහ තාත්තා අතර පවතින බැඳීම් දරුවාටත් මානසික ශක්තියක් ලබා දෙනවා.

පවුලේ සමගිය

පුංචි පුංචි දේවල්වලට නම් පුංචි පුංචි මතවාද සහ අදහස් හුවමාරු වෙන බව ඇත්ත. පුංචි වුණත් මේ මත ගැටුම් බත් හැලිය ඉදෙන තෙක්වත් තබා නොගන්නවා නම් වඩාත් හොඳයි. පවුලක නිතරම ගැටුම් ඇති වෙනවා නම් ඒ නිවස එතරම් ප්‍රසන්න නැහැ. තවත් පැත්තකින් දරුවා නැති තැනක මේ මතවාද බේරා ගන්නත් පුළුවනි. කොහොම වුනත් පවුලක් අතර බැඳීම තර වීමට නම් සමගිය ඉතාම වැදගත්.

යහපත් සන්නිවේදනය

පවුලක හොඳින් තොරතුරු සන්නිවේදනය වීම ඉතාම වැදගත්. තාත්තා කරන දෙය අම්මා විතරක් නොව දැනගත යුතු මට්ටමේ තොරතුරක් නම් ඒ බව දරුවාත් දැන ගෙන සිටීම ඉතාමත් වැදගත්. ඒ අන්දමින් තොරතුරු සන්නිවේදන ජාලය යහපත්ව ක්‍රියාත්මක වීම යනු පවුලක සාර්ථකත්වයේ සංකේතයයි.

විනෝදය

එදිනෙදා ජීවිතයේ විවිධ ප්‍රශ්න, ගැටුම් සහ වගකීම් තිබෙන බව ඇත්ත. ඒ සියල්ල පසෙක තබා දරුවන් සමග විනෝදයෙන් කාලය ගත කිරීමටත් පුංචි හෝ ඉඩක් ලබා ගැනීමත් ඉතාම වැදගත්. පුංචි හිතට සතුට දැනෙන දේවල් කිරීමට ලොකුවට කාලයක්, වියදමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පවුල තුළින් දරුවාට ලැබෙන සතුට වචනයෙන් විස්තර කිරීමට බැහැ.

ආගමික පරිසරය

මෙය සම්බන්ධතාවයන් ඉතා සාර්ථකව පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. සෑම ආගමක් වෙතින්ම ලබා දෙන්නේ යහපත් චර්යා රටාවන්ය. එය නිවස මුල් කර ගෙන පහසුවෙන්ම ආරම්භ කළ හැකියි. මන්ද නිවසේ සිටින්නේ දරුවාගේ ආදරණීයන් වීම නිසයි. එබැවින් කුමන ආගමක් ඇදහුවත් නිවස මුල් කර ගෙන යම් අන්දමකින් හෝ ආගමික පරිසරයක් පවත්වා ගත් විට දරුවාගේ සිතුවිලි වගේම පවුල තුළ ආදරයෙන් ගනුදෙනු කරන හැසිරීම් රටාවක් ගොඩ නගා ගැනීම පහසු වේවි.

Your Name

Email

Comment

0 Comments