Enter Your Key Word

දරුවාගේ විනය රැකීමේ වගකීම ඔබේ නේද?

Teach discipline your child

යහපත් දරුවෙක් සමාජයට තිළිණ කර දීමට නම් ඒ දරුවාගේ ජීවිතය යහපත් හැසිරීම් සහ පුරුදු වලින් ගොඩ නැගීම ඉතාම වැදගත්. හැසිරීම සහ පුරුදු එකම කාසියක දෙපැත්තක් කිව්වොත් එය වඩාත් සාධාරණයි.

හැසිරීම් හොඳ වෙන්න නම් පුරුදු ගොඩ නැගීම අනිවාර්යයි

යහපත් පුරුදු නොමැතිව හැසිරීම් ගැනත්, යහපත් හැසිරීම් නොමැති තැන යහපත් පුරුදු ගැනත් කතා කිරීමට නොහැකියි. උදාහරණයක් විදියට උදේ නැගිට දත් මැද මුහුණ සේදීම පුරුද්දක් විදිහිට පවත්වා ගෙන යන දරු පැටියාට මුහුණ සෝදන්න, දත් මදින්න කියමින් දෙමව්පියන් කරදර වීම අවශ්‍ය නැහැ. එහෙම නම් යහපත් පුරුදු ඔබේ පැටියාට පුහුණු කිරීමත් සමග දරුවාගේ ජීවිතය යහපත් හැසිරීමෙන් ගොඩ නැගීම එතරම් අපහසු දෙයක් නොවෙයි.

යහපත් හැසිරීම් සහ පුරුදු පසු කාලයක ගොඩ නගන්න හිතනවා ද?

ඔබ එහෙම හිතනවා නම් වැරදියි. ඇතැම් දෙමව්පියන් ‘අනේ පුංචි දරුවෝනේ... ඒවා කාලය සමග ඇරිලා යාවි’ කියමින් වැරදි හැසිරීම් සාධාරණය කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවන් තිබෙනවා. ඒත් ඔබ මේ ගැන සරලව හිතන්න එපා. වැරදි පුරුදු පසුකාලයක වැරදි හැසිරීම් බවට පත්වීම හරිම පහසුයි.

හැසිරීම ගොඩ නැගෙන්නේ පුරුදු සමගයි

පුංචි පැටව් උපත ලබන්නේ සුදු පුවරුවක් වගෙයි. බොහොම පිරිසිදුයි. කාලය සමග සුදු පුවරුවට බාහිරින් බොහෝ දේ එකතු වෙනවා. එහිදී හොඳ වගේම නරක දේ එකතු වීම නිසා දරුවාගේ ගති පැවතුම් වෙනස් කරන්න හරිම පහසුයි. ඒ හින්දා දෙමව්පියන් පුංචි කාලයේ පටන්ම යහපත් පුරුදු දරුවා තුළ වර්ධනය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි.

පරිසරයෙන් බොහෝ දේ වෙනස් කරන්න පුළුවනි

අපි බොහෝ දෙනෙක් ‘ආරේ ගුණ නෑරේ’ කිව්වත් පරිසරයෙන් බොහෝ දේ වෙනස් කරන්න පුළුවනි. උදාහරණයක් විදිහට කිව්වොත් පරම්පරාවේ පියා, සීයා මත්පැන් බිව් පමණින් දරුවා මත්පැන් වෙත යොමු වීමේ ප්‍රවණතාවයක් නැහැ. ඊට හේතුව කුඩා කාලයේ පටන්ම ඒවායේ ආදීනව දරුවාට කියා දෙන්න පුළුවන් වීම. එවිට වැරදි පුරුදු වෙත දරුවා යොමු වෙන්නේ නැහැ. දෙමව්පියන් වැරදි පුරුදුවලට ඇබ්බැහිව සිටියත් දරුවන් එයින් මුදවා යහපත් හැසිරීම් ගොඩ නගා ගැනීමට නම් දෙමව්පියන්ගේ අවධානය දැඩි ලෙස යොමු කිරීම ඉතාම වැදගත්.

පුරුදු වෙනස් කිරීම පහසු නැහැ

කාලය සමග පුරුදු දරුවාගේ ජීවිතයට බද්ධ වෙනවා. ඒ වැරදි පුරුදු වගේම හොඳ පුරුදු කියලා වෙනසක් නැහැ. හැබැයි පුරුදු වෙනස් කිරීම පහසු නැහැ. දරුවාගේ හැසිරීම ගොඩ නැගෙන්නේ මේ පුරුදු මත. ඒ හොඳ හෝ නරක පසුකාලීනව ජීවිතයේ පුරුදු බවට පත් වීම වලක්වන්න බැහැ. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාගේ ජීවිතය යහපත් පුරුදුවලින් ගොඩ නැගීම ඉතාම වැදගත්.

අවවාදයට වඩා ආදර්ශයෙන් පෙන්වන්න

වචනයටත් කියනවා වගේ මහ කකුළුවා හරහට යමින් පොඩි පැටවුන්ට කෙලින් යන්නට කීම නිශ්ඵලයි. උදාහරණයක් විදිහට ඔබ පාරේ තැන තැන කුණු කසල දමනවා දකින දරුවා ද එහි වරදක් දකින්නේ නැහැ.

එය සාමාන්‍ය දෙයක් විදිහට දරුවා හිතන නිසා දරුවාත් ඔබ අනුකරණය කරමින් කුණු කසල පරිසරයට මුදා හරින දිනයක් නොදැනීම උදා වේවි. ඒත් ඔබ දරුවා ඉදිරියේ තැන තැන කුණු කසල නොදාන චරිතයක් විදිහට දරුවා දකින්නේ නම් ඒ පුරුදු දරුවාගේ ජීවිතයටත් ආදේශ වීම ඉතාම සාමාන්‍ය සිදුවීමක් බවට පත් වේවි.

හොඳ පුරුදු ගොඩ නැගුවොත් හැසිරීම ඉතාම යහපත්

පුංචි පැටියාට යහපත් පුරුදු බාල කාලයේ පටන්ම ගොඩ නැගුවොත් දරුවා තුළ ස්වයං විනයක් වගේම ශික්ෂණයක් ඇති වෙනවා. හොඳ පුරුදු දරුවා තුළ ගොඩ නැගීම නිසා විනය අමුතුවෙන් ගොඩ නැගීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

අද බොහෝ වැඩිමහල් දරුවන් දෙස බලන විට ඔවුන්ගේ විනය පිරිහී ගිය බව අප කතා කරන්නේ ඉතාම කණගාටුවෙන්. ඒත් මේ තත්ත්වයේදී ඇඟිල්ල දිගු විය යුත්තේ දෙමාපියන් වන ඔබ දෙසටයි.

Your Name

Email

Comment

0 Comments