Enter Your Key Word

ගැබිනි ඔබ නිවසින් පිටතට යද්දී මේ දේවල්

Items need during pregnancy

දස මසක් තමන්ගේ ගැබේ තබා ගෙන ආරක්ෂා කරන කිරිකඳුල කිසිම අතුරු ආන්තරාවක් නැතුව ලෝකයට බිහි කිරීම සෑම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාවයි. ඒ සුබ සිහිනය සැබෑ කරන්න නම් ගැබිනි මවගේ පාර්ශවයෙනුත් යම් සහයෝගයක් අවශ්‍ය වෙනවා.

ගැබිනි සමයේ අවසාන සති කීපයේදී නම් තනි පංගලමේ ගමන් බිමන් නැති වුනත් රාජකාරියේ යෙදී ඉන්න ගැබිනි කාන්තාවන් නම් දරු ප්‍රසුතියට ඔන්න මෙන්න තිබියදීත් කාර්යාල කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් අයට තමන් කැටුව යන්න කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම ගැබිනි මවක්ම සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

දරුවෙක් පිළිසිඳ ගත් නිමිත්තේ පටන් දරුවා බිහි කරන තෙක් වූ කාලයේදී විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නත් බැරි නැහැ. ඒ නිසා නිතරම සූදානම් වී සිටීම ඉතාම වැදගත්. ඔන්න ඔය නිසාම ගැබිනි මවක් නම් නිවසින් පිටවෙන හැම විටම පහත දැක්වෙන දේවල් නිතරම තමන්ගේ භාරයේ තබා ගැනීම වැදගත්.

මාතෘ සායන වාර්තා පොත

"ඒක ඉතින් යන යන හැම තැනම අරන් යන්න පුළුවනෑ..." යැයි ඔබ හිතුවත් එහෙම කියන්නේ ඇයි කියල හිතුවාද? මේ වාර්තා පොතේ ඔබ ගැන විස්තර සියල්ලම ඇතුළත්ව තිබෙනවා. ඔබ පදිංචි ප්‍රදේශයෙන් ටිකක් හෝ දුරකදී කුමන අන්දමක හෝ අපහසුතාවයක් ඇති වුනොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරයෙක් ඉදිරිපත් වෙනවා. නමුත් මේ වෛද්‍යවරයාට ඔබේ ගැබිනි බවේ ඉතිහාසය ගැන දැන ගැනීමට තිබෙන එකම විශ්වාසදායක සටහන තමයි මේ සායන සටහන් පොත. යම් අත්‍යවශ්‍ය අවස්ථාවකදී ඔබ ළඟ මේ වාර්තාවන් තිබුනොත් වෛද්‍යවරයාට කළ යුතු ප්‍රතිකාර ඉතාම ඉක්මනින් සිදු කිරීමට පුළුවනි.

මෙතෙක් ලබා ගෙන ඇති වෛද්‍ය වාර්තාවන්ගේ ඡායාපිටපත්

දරු ගැබ ගැන නිමිති පහළ වූ තැන පටන් මේ වෙන තෙක් වෛද්‍යවරයාගේ නිර්දේශය මත ලබා ගත් විවිධ වාර්තාවන් දැන් ඔබ සතුව තිබෙනවා. රුධිර පරීක්ෂණ වාර්තාවන්, ස්කෑන් වාර්තාවන්, විවිධ මුත්‍රා පරීක්ෂණ වාර්තාවන් ආදි මෙකී නොකී වෛද්‍ය පරීක්ෂණ වාර්තාවන් ඔබ සතුව ඇති. මේවා නිරතම ඔබ භාරයේ තබා ගැනීම වැදගත්. මුල් පිටපත් නිවසේ තබා ඡායා පිටපතක් ඔබ සමීපයේ නිතරම තබා ගන්න. එවිට යම් අපහසුතාවයක් ඇති වුන විටෙකදී අදාල ප්‍රතිකාර වෙනුවෙන් ඉතාම ඉක්මනින් යොමු වීමට පුළුවනි. ඔබේ හිමෝග්ලෝබින් මට්ටම, රුධිර ගණය, රුධිරගත සීනි, මුත්‍රා පරීක්ෂණ වාර්තාවන් ඇසුරින් අදාල හදිසි ප්‍රතිකාරවලදී ඔබගේ රෝග හෝ අපහසුතාවයන්ට ඉක්මනින්ම ප්‍රතිකාර ආරම්භ කිරීමට පුළුවනි.

ඖෂධ

ගැබිනි අවධියේදී පාවිච්චිය වෙනුවෙන් ලබා දෙන යකඩ අතිරේක, විටමින් සහ වෙනත් ඖෂධ වර්ග තිබෙනවා. මේවායේ මාත්‍රාව අතපසු කිරීම එතරම් සුදුසු නැහැ. ඒත් ගමන් යන විට මේ ඖෂධ පාවිච්චි කිරීමට අමතක වෙන්න පුළුවනි. ඒ නිසා නිතරම ඔබේ අත්බෑගයේ මේ ඖෂධවලින් යම් මාත්‍රාවක් තබා ගත්තොත් අමතක වීමක් වුනත් අදාල පරිදි ඒවා පාවිච්චි කිරීමට හැකි වෙනවා.

බඩගින්නට යමක්

බඩදරු අම්මාට බඩගින්නක් හැදුනොත් පිටස්තර තැන්වලින් කන බොනවාට වඩා පිරිසිදුව යමක් අරගෙන යනවා නම් ඉතාම ආරක්ෂිතයි. මේ කාලයේදී දැනෙන අප්‍රියතාවයන් වැඩි නිසා ඉතාම ඉක්මනින්ම උදරාබාධ ඇති වෙන්න පුළුවනි. අජීර්ණ, වමනය, පාචනය වැනි රෝග නිසා ඇති වෙන අපහසුතාවය අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවනි. ඒ නිසා පහසුවෙන් සහ නරක් නොවන ආහාරයක් සූදානම් කර ගෙන යනවා නම් වඩාත් හොඳයි. මෙතැනදීත් පෝෂණය ගැන පොඩ්ඩක් හිතන්න අමතක කරන්න එපා.

වතුර බෝතලයක්

පිපාසයක් ඇති වුනොත් එය ඉවසා සිටීම අපහසුයි. ඊටත් පිපාසය නිසා ක්ලාන්තය තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවනි. ඒ නිසා වතුර බෝතලයක් වගේම විජලන තත්ත්වයක් ඇති නොවන සේ පරිස්සමත් වැදගත්. පලතුරක් වුනත් රැගෙන ගියොත් පිපාසයට වගේම විජලන තත්ත්වයටත් පිළියමක්.

අපද්‍රව්‍ය බැහැර කරන්නත් මගක්

මේ කාලයේදී නිතරම දැනෙන වමනය, කටට කෙළ උනන ගතිය නිසා යම් යම් අපහසුතාවයන් ඇති වෙන්න පුළුවනි. ඒත් බැහැර කිරීමට නොහැකි තැනක හිටියොත් ගැබිනි මව මහත් අපහසුතාවයකට පත් වේවි. ඒ නිසා වමනය, කෙළ වැනි දේ බැහැර කළ හැකි ආරක්ෂිත මල්ලක්ද නිවසෙන් පිටතට යන විට රැගෙන යෑම වැදගත්.

සනීපාරක්ෂක තුවායක්

හදිසියේ වතුර බෑගයට හානියක් සිදු වුවහොත් ඔබ රෝහල්ගත වෙන තෙක් සනීපාරක්ෂක තුවායක් ඇඳ ගැනීමට සිදු වෙනවා.

අතිරේක යට ඇඳුමක්

මේ කාලයේදී නිතරම මුත්‍රා පිට වෙන නිසා ඔබේ යට ඇඳුමේත් මුත්‍රා රැඳී විවිධ ආසාදන ඇති වෙන්න පුළුවනි. ඒ නිසා අතිරේක යට කලිසමක් දෙකක් රැගෙන යන්නත් අමතක කරන්න එපා.

ලේන්සුවක්

ගැබිනි කාලයේදී දහඩිය දැමීමේ අපහසුතාවය ඉතාම තදින් ඇති වෙනවා. ඒ නිසා වඩාත්ම ගැලපෙන්නේ කපු ලේන්සුවක්. නිවසින් බැහැර යද්දී කපු ලේන්සුවක් දෙකක් හෝ සර්වියට් එකක් ඔබේ අත්බෑගයේ තබා ගන්න.

දුරකථන අංක

නිවසෙන් බැහැරව තනි පංගලමේ යන ඔබට යම් අපහසුතාවයක් ඇති වුනොත් ඒ ගැන දැනුම් දිය යුතු පුද්ගලයන්ගේ දුරකථන අංක සටහන් කර තබන්න. නිතරම පිටතට යනවා නම් මේ පුංචි සටහන් පොතත්  රැගෙන යන්න අමතක කරන්න එපා.

ගැබිනි මවක් තනි මග යද්දී බොහෝ බරක් අරගෙන යන්න අපහසු වුනත් ඉහතින් දක්වා ඇති දේවල් නම් ඇය භාරයේ තබා ගැනීම ඉතාම වැදගත්. එවිට කුසේ සිටින දරුවා වෙනුවෙන් වගේම මේ කිරිකැටියා රක්ෂා කරන ආදරණීය අම්මාගේත් ආරක්ෂාව සලසා ගැනීම ඉතාම පහසුවෙන් පුළුවන් වෙනවා.

Your Name

Email

Comment

0 Comments