Enter Your Key Word

දරුවාගේ ආරක්‍ෂාව වෙනුවෙන් වැඩිහිටි ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද?

Parenting for Child Safety

රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛ වන්නේ දරුවන් ය. එබැවින් ඔවුන්ගේ ආරක්‍ෂාව අපට වඩාත් වැදගත් වේ. එම නිසාම ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය කිරීමද ඉතා වැදගත් වේ. වයස අවුරුදු 3 - 5 ත් අතර කාලය යනු දරුවා තම ලෝකය ජය ගැනීමට සූදානම් වන කාලය යි. මේ කාලයේදී සෑම දිනකම නව වික්‍රමයක් දරුවා වෙතින් බලාපොරොත්තු වීමට හැකියි.

මෙය දරුවාගේ ජීවිතයේ සිත් ඇදගන්නාසුලු විනෝදජනක අවධියක් වන බැවින් නිසැකවම අවදානම් අවස්ථා සහ අන්තරායන්වලට මුහුණ දෙන කාලයකි. දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් අප කළ යුත්තේ දරුවාගේ ක්‍රියාකාරකම්වලට බාධා කිරීම නොව, සහයෝගය දැක්වීම යි. එබැවින් දරුවාට ක්‍රියාකාරකම් වලට ඉඩදෙමින් දරුවාගේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීම වැඩිහිටි අපේ යුතුකමයි.

විෂ වීම් (Poisoning)

මෙම වයසේ දරුවන් සෑම දෙයක් ගැනම කුතුහලයෙන් පසු වේ. එබැවින් ඕනෑම දෙයක් කටට දැමීමට පෙළඹීම සාමාන්‍ය ස්වභාවයයි. එබැවින් හදිසි විෂ වීම්වලින් ඔබේ දරුවා ආරක්‍ෂා කර ගැනීම කළ යුත්තකි.

ඖෂධ වර්ග, පිරිසිදු කිරීම් සඳහා යොදාගන්නා නිෂ්පාදන හෝ වෙනත් විෂ විය හැකි නිෂ්පාදන දරුවන්ට ළඟා විය නොහැකි ලෙස අසුරා තැබීම වැඩිහිටි ඔබේ වගකීමකි.

පිළිස්සුම්

මෙම කාලයේදී දරුවන් තම කුඩා ඇඟිලිවලින් දේවල් ස්පර්ශ කිරීමට යුහුසුලු වේ. එබැවින් පිළිස්සීම්වලින් දරුවා වළක්වා ගැනීම කළ යුතු වේ.

  • ඔබ ඉවුම් පිහුම් කටයුතු වල නිරත වන විට, ඇඳුම් මදින විට දරුවා ආරක්‍ෂිත ස්ථානයක තැබීමට වගබලා ගන්න.
  • ඉවුම් පිහුම් කිරීමේදී උදුන මත ඇති බඳුන්වල හැඬලයන් ඇතුළට හරවන්න.
  • ගිනි පෙට්ටි, ලයිටර්, ඉටිපන්දම් ආදිය දරුවන්ගෙන් ඈත් කර තබන්න.
  • උණුසුම් ආහාර, උණුසුම් දියර වර්ග හැකි තරම් දරුවාට ළඟා විය නොහැකි ස්ථානවලින් තබන්න.
  • දරුවන් සහ උණුසුම් කෑම බීම එකට රැගෙන නොයන්න.
  • හදිසි ගින්නක් ඇති වුවහොත් එම ස්ථානයෙන් ඉවත් වන ආකාරය පිළිබඳව දැනුවත් කර තබන්න.

ඇද වැටීම්

දරුවන්ට මුහුණ දීමට සිදුවන අනතුරු අතරින් බහුලවම සිදුවන තත්ත්වය මෙයයි. මේසය මතින්, තරප්පු පෙළ මතින් මෙන්ම තවත් බොහොමයක් ස්ථානවලින් මේ දඟකාර දරු පැටවුන් ඇද වැටිය හැකියි. මව්පියන් ලෙස මෙවැනි අනාරක්ෂිත තත්ත්ව වලදී සුපරික්ෂාකාරී වීම ඉතාම වැදගත් වේ.

  • පහළම මාලය හෝ අට්ටාල වැනි අන්තරාදායක ප්‍රදේශ කරා යන දොරවල් අගුළු දා තබන්න.
  • පඩි පෙළෙහි ඉහළ සහ පහළ ආරක්‍ෂිත දොරටු තබා ගන්න.
  • සියලුම කවුළු වැසෙන සේ සකස් කර ආරක්‍ෂිත කරන්න.
  • දරුවා ක්‍රීඩා කරන විට විමසිල්ලෙන් සිටින්න.

හුස්ම හිරවීම

වයස අවුරුදු 3 - 5 දරුවන් යම් යම් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම තත්ත්වයට ගොදුරු වේ.

  • දරුවාට කෑම දීමේදී සැලකිලිමත් වන්න.
  • කාසි, බොත්තම්, කුඩා බැටරි (සෙල්ලම් බඩුවල ඇති) වැනි දේ දරුවාට ළඟා විය නොහැකි ලෙස තබන්න.

දරුවන් දෑස මෙන් රැකබලා ගැනීම ඉතා වැදගත් වන අතර බොහෝ දරුවන් අනතුරට පත් වන්නේ දෙමාපියන්ගේ අවධානය ගිලිහී යන සුළු මොහොතටය. දරුවන්ට ක්‍රියාකාරකම් වලට ඉඩහසර ලබාදෙන අතරතුරම ඔවුන් පිළිබඳව සුපරික්‍ෂාකාරී වෙමින් ආරක්‍ෂාව ලබාදීම දෙමාපියන් විසින් කළ යුතු ම ය.

Your Name

Email

Comment

0 Comments