Enter Your Key Word

පෙර පාසැල් දරුවාගේ මානසික සංවර්ධනය වෙනුවෙන් අපේ වටපිටාවෙන්ම ක්‍රියාකාරකම්

නිරෝගී දරුවෙකු යනු ශාරීරික සහ මානසික යන දෙකොටසින්ම සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බව මීට පෙර ලිපිවලදීත් සඳහන් කළ බව ඔබට මතක ඇති. ආහාර, විටමින් වර්ග ලබා දෙමින් දරුවාගේ ශාරීරික සෞඛ්‍ය සම්පන්න බව වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් මව්වරුන් දරුවාගේ මානසික සෞඛ්‍ය කෙරේ විශේෂිත අවධානයක් යොමු නොකිරීම ඉහත කරුණ වරින් වර ඔබට මතක් කිරීමට හේතු වූ මූලික කරුණයි.

වයස අවුරුදු 3 - 5 ත් අතර කාලය දරුවෙකුගේ සංවර්ධන අවධිය ලෙස හැඳින්වීමේ ද වරදක් නැත. මේ වයස් සීමාවේ දරුවන් ඉතා ඉක්මනින් තම වටපිටාව සමග සබඳතා ගොඩනගා ගන්නවා සේම වටපිටාවෙන් බොහෝ දේ ඉගෙනීමටත් පෙළඹෙනවා. ඒ නිසාම මේ වයස් සීමාවේ දරුවෙකුට යමක් අවධාරණය කිසිම එතරම් අපහසු කාරණයක් නොවේ.

දරුවන් වැඩදායක හා ප්‍රීතිමත් වැඩිහිටියන් වීමට නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න හා සතුටින් පසුවන අය විය යුතුය. ප්‍රීතිමත් ළමාවියක් දරුවන්ට ලබාදීමට නම් ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනාගත යුතු වේ.

දරුවාගේ මනෝ සමාජීය වර්ධනය සඳහා උපකාරී වන ප්‍රධාන අවශ්‍යතා 4 කි.

ආදරය, සැලකිල්ල හා උනන්දුව

  • දරුවාට දැනෙන ලෙස ආදරය දැක්වීම.
  • දරුවා සමග කතා කිරීම, කතන්දර කීම, උනන්දුව හා ආදරය පෙන්වීම.
  • දරුවන් සමග දෙමව්පියන් සෙල්ලම් කිරීම.
  • දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම, ඔහු/ඇය උනන්දුව දක්වන දේ පිළිබඳව වැඩිහිටියන් එකතුව සාකච්ඡා කිරීම.

යහපත් සෞඛ්‍ය තත්ත්වය

  • දරුවා පිරිසිදුව ජීවත් වීම.
  • පෝෂණය හා ආරක්‍ෂිත පානීය ජලය.
  • ප්‍රතිශක්තීකරණය.
  • ලෙඩ රෝග වලදී නිවැරදි ප්‍රතිකාර.
  • යහපත් සනීපාරක්‍ෂක ක්‍රම භාවිතය.
  • අනතුරුවලින් දරුවා ආරක්‍ෂා කරගැනීම.

ජීවිතේ ලබන විවිධ අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට දරුවාට ඉඩදීම.

  • දරුවාගේ වැඩ කටයුතු හැකි තරම් දුරට ඔවුන් ලවාම කරගැනීමට ඉඩ හැරීම.
  • තමා අවට ලෝකය ගැන අවබෝධයක් ලබාගැනීමට උදව් කිරීම.
  • විවිධ දේවල් සිදුවන අන්දම පිළිබඳව දැනුම ලබාදීම.
  • පවුලේ වෙනත් අය/මිතුරන් සමග ඇති සබඳතා පැවැත්වීමට ඉඩ දීම මගින් හැසිරීම පිළිබඳව ඉගෙනීම.
  • දරුවන්ගේ සිතුවිලි, හැඟීම් හෝ අදහස් අන් අයට ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම (ලිවීම, චිත්‍ර ඇදීම, කතා කිරීම මගින්).
  • යම් යම් සංකල්ප පිළිබඳව සිතීම, එවැනි දේ ඉගෙනීම.

    උදා: ඉලක්කම්, සංඛ්‍යා

  • සාමාන්‍ය ජීවිතයේ දරුවාට ඇතිවන අපහසුතාවලට මුහුණදෙන අන්දම ඉගෙන ගැනීමට උපකාර කිරීම.
  • ජීවිතේ මුහුණදෙන ගැටලුවලට විසඳුම් සොයාගැනීමට ඉගැන්වීම.

ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා ආත්මාභිමානය ගොඩනගා ගැනීමට උදව් කිරීම.

  • දරුවා වැදගත් යැයි සිතන පුද්ගලයන්ගෙන් ප්‍රශංසා ලැබීමට ඉඩ සැලසීම.
  • දරුවාගේ හැකියාවන් අගය කිරීමට පියවර ගැනීම.
  • කලින් සිදුකරන ලද වැරැද්දක් නිසා දරුවාගේ හොඳ ක්‍රියාවට ප්‍රශංසා කිරීම අතපසු නොකිරීම.

සාර්ථක පාසැල් අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය පදනම දරුවාගේ කුඩා කාලයේදීම ඇති කිරීමට දෙමාපියන්ට හැකි වේ. උපන්දා සිටම ආදරය, සුරක්‍ෂිතභාවය, අනුමැතිය තමාට හැඟෙන ලැබෙන බව දන්නා දරුවන් තුළ ඉක්මණින් ඉගෙනීම සඳහා ආශාව, විශ්වාසය පැවතීමට වැඩි ඉඩක් පවතී.

දරුවාගේ මනා පෞරුෂය හා ආත්ම විශ්වාසය ගොඩ නැගීමට ඔබ කළ යුතු දේ

  • මෙම තත්ත්වය වර්ධනය කිරීමට නම් දරුවාට නායකත්වය ලබාදිය යුතුය. වයස අනුව සුළු කාර්යයන් බාරදී ඒවා ඇගයීමට ලක් කරන්න. අඩු තරමින් නිවසේදීවත් ළමා වීරත්වයට ඉඩදෙන්න. සුළු සුළු ක්‍රියාවන් පවා කරන්නට ඉඩ නොදී දරුවන් අනවශ්‍ය ලෙස ප්‍රවේශම් කිරීමෙන් වළකින්න.
  • දරුවන් ඉදිරියේ සැම විටම සමාජයේ පවතින වැරදි පමණක් ප්‍රකාශ කිරීමෙන් වළකින්න. ඉඳහිටවත් සමාජයේ සුළු හෝ හොඳ පවතින බව හැඟවීමට උත්සාහ කරන්න.
  • දරුවන් ඉල්ලන දේවල් ලබාදිය නොහැකි බව හෝ අඩුම තරමින් ඉල්ලා සිටින මොහොතේදී එය ලබාදීමට නොහැකි බව අවබෝධ කරවන්න.
  • එසේම ජීවිතයේ සමහර කටයුතු අපහසු බව වටහා ගැනීමට ඉඩදෙන්න.
  • දෛනික කටයුතුවලට දරුවා යොදා ගැනීම තුළ පවතින දුෂ්කරතා මැදින් ජීවිතය ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබෙන බව ඒත්තු ගන්වන්න
  • ආවේග සුදුසු පරිදි ප්‍රකාශ කිරීම එනම් කේන්තිය, දුක, සතුට, කාංසාව වැනි සාමාන්‍ය මානසික ආවේග සිතින් බැහැර කරගන්නා ආකාරය දරුවාට පෙන්වා දෙන්න.
  • සෘණ සිතුවිලි බැහැර කිරීම, එනම් නැහැ, බැහැ, මොකටද, කාටද හරි ගියේ වැනි සෘණ සිතුවිලි අඩු කර ගැනීම දියුණුවට මග බව පෙන්වා දෙන්න.
  • දින චර්යාව සිතා මතා වෙනස් කර ජීවිතයේ ඒකාකාරී බව වෙනස් කළ හැකි බව එනම් ඒකාකාරී බවින් මිදිය හැකි බව දරුවාට කියාදෙන්න.
  • තමන් පිළිබඳව, තම ජීවිතය වෙනස් කරගත යුතු ආකාරය පිළිබඳව සිතා බැලිය යුතු බව වටහා දෙන්න.

Your Name

Email

Comment

0 Comments