Enter Your Key Word

ඩිම්බ මෝචනය හඳුනා ගැනීමේ ක්‍රම සහ ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද?

Pregnancy Signs and Symptoms

දරුවෙකු වෙනුවෙන් පෙරුම් පුරන ඔබ පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට වඩාත් සුදුසු කාල සීමාව ගැන යම් අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්. මේ ලිපිය තුළින් ඩිම්බ මෝචනය සිදුවන කාලය හඳුනා ගත හැකි ක්‍රම සහ ඒ කාලය තුළ පෙන්නුම් කරන ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකියි.

ඩිම්බ මෝචනය හඳුනා ගැනීමේ ක්‍රම

  • ශරීර උෂ්ණත්ව ක්‍රමය

ඩිම්බ මෝචනය ඇතිවන අවස්ථාවේ පීත දේහය මගින් ශ්‍රාවය වන ප්‍රොජෙස්ටරෝන් වල බලපෑම නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යයි. ඩිම්බ මෝචනයෙන් පසු ශරීර උෂ්ණත්වය 0.20C සිට 0.40C හෝ 0.40f සිට 0.80f දක්වා වැඩි වේ.

මෙහිදී ඩිම්බ මෝචනය හඳුනා ගැනීම සඳහා ඇති විශේෂ උෂ්ණත්වමානයක් හෝ සාමාන්‍ය සායනික උෂ්ණත්වමානයක් යොදා ගනිමින් උෂ්ණත්වය නිරීක්ෂණය කළ හැකිය. මෙය පරීක්ෂා කළ යුත්තේ උදැසන අවදි වී ඇඳෙන් බැසීමට පෙරයි. ඔබ රාත්‍රී සේවා වල යෙදෙන අයෙක් නම් පැය පහක පමණ විවේකයකින් පසුව උෂ්ණත්වය මැනීම සුදුසුය. මේ සදහා මුඛයෙන් උෂ්ණත්වය මැනීම ප්‍රමාණවත් වේ.

එක් ආර්තව චක්‍රයකදී එකම උෂ්ණත්වමානයක් භාවිත කර එකම ස්ථානයක උෂ්ණත්වය මනින්න. උෂ්ණත්වය මැනීමෙන් පසු එය සටහන් කරගන්න. මේ සඳහා විශේෂිත සටහනක් උපයෝගී කරගත යුතුයි. 

එය,

  • ඉහළින් දිනය ද
  • පහල තිරස් අංශයේ ආර්තව චක්‍රයේ දින ද (ආර්තව චක්‍රයේ පළමු දිනය යනු ඔසප් වූ පළමු දිනයයි).
  • සිරස් අක්‍ෂයෙහි උෂ්ණත්වය ද ලකුණු කෙරේ.
  • උෂ්ණත්වය මැනීමේදී රසදිය මට්ටම ලකුණ දෙකක් අතර රැඳුනහොත් ඉන් අඩුම උෂ්ණත්වය සටහන් කරගන්න. උදාහණයක් ලෙස 36.70C සහ 36.60C අතර නම් 36.60C ලෙස ලකුණු කරන්න.
  • උෂ්ණත්වය තිතක් තබා ලකුණු කර පසුව යා කරන්න.

උෂ්ණත්ව සටහනෙහි,

  • ආර්තව චක්‍රය ද්වි කලාපීය උෂ්ණත්ව සටහනකින් නිරූපනය වේ. ඩිම්බ මෝචනයට පෙර උෂ්ණත්වය පහත මට්ටමක පවතින අතර ඩිම්බ මෝචනයෙන් පසු පැරන්හයිට් 0.2 කින් පමණ ඉහළ නැග ඊලඟ ආර්තවය වන තෙක් ඉහළ මට්ටමක පවතී.
  • එකවර උෂ්ණත්වය ඉහළ යන දිනයෙහි ඩිම්බ මෝචනය සිදු වේ. ගැබ් ගැනීමක් සඳහා ලිංගිකව එක්වීමට සුදුසු දිනය එයයි. ඉදිරි දින දෙකද සාර්ථක වේ. මෙමගින්,

ගැබ්ගෙල ශ්ලේෂ්මල ක්‍රමය

මෙහිදී ඊස්ට්‍රජන්  හෝමෝන මට්ටමේ ඇතිවන වෙනස්කම් අනුව ගැබ්ගෙල ශ්ලේෂ්මලයේ ඇති වන වෙනස්වන අනුලක්‍ෂණ හඳුනා ගැනීම සිදු වේ.

ඩිම්බ මෝචනයට ආසන්නයේදී හා ඩිම්බ මෝචනය සිදුවන විට,

ඊස්ට්‍රජන් මට්ටම වැඩිවෙමින්ම ශ්ලේෂ්මලය යෝනිය තුළ මතු වේ. මුලින් සුළු ප්‍රමාණයක් යෝනි විවරය ප්‍රදේශයේ තෙත් ගතියක් හා ඇලෙන සුලු ගතියක් දැනේ. ඩිම්බ මෝචනය වනවිට ඊස්ට්‍රජන් මට්ටම තවදුරටත් වැඩි වී ශ්ලේෂ්මලය වැඩි වශයෙන් ශ්‍රාවය වන අතර එය ලිහිසි ස්වභාවයක් ගනී. ප්‍රදේශයේ තෙත් ගතියක් දැනේ. ශ්ලේෂ්මලය තුනී ය. විනිවිද පෙනෙන සුලු ය. මහපටඟිල්ල හා දබරඟිල්ල අතරේ ඇලෙන සුලු ඇදෙන ගතියක් පෙන්වයි. බිත්තර සුදු මදයට සමාන වේ. මෙම අවස්ථාව සරු අවධිය එනම් දරුවෙකු ලැබිය හැකි අවධිය වේ.

යෝනි ශ්ලේෂ්මලය ඇති දැයි ඇඟිල්ලෙන් හෝ සිනිඳු ටිෂූ කඩදාසියකින් පිස දමා පරීක්‍ෂා කළ හැක. මෙය පරීක්‍ෂා කරන විට උදේ සහ සවස ලෙස දිනකට දෙවරක්වත් කළ යුතු අතරම දින කිහිපයක සිට ලකුණු කරන්න.

කැලැන්ඩර් හෙවත් රිද්ම ක්‍රමය

මෙහිදී පෙර ආර්තව චක්‍ර පදනම් කර ගනිමින් ගණිත ක්‍රමයක් උපයෝගී කර සරු අවධිය නිගමනය කරයි.

අඩු වශයෙන් පෙර ආර්තව චක්‍ර 6 ක සටහන් තිබිය යුතුය. එසේ කිරීමේදී ඔසප් වූ පළමුවන දින ආර්තව චක්‍රයේ පළමු දින ලෙස සැලකිය යුතුය. ඔසප් රුධිරය පිටවන පළමු දිනයේ සිට අලුත් ඩිම්බයක් මේරීම ඇරඹෙන අතරම කාන්තාවන් වැඩි පිරිසකට ඔසප් වීම ආරම්භ වී දින 14 කින් ඩිම්බ මෝචනය සිදු වේ. දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා උපරිම සරුකාලය ලෙස 9 වන දිනයේ සිට 21 වන දිනය දක්වා කාලය ලෙස දැක්විය හැකි අතරම සංසර්ගයේ යෙදීමෙන් දරුවෙකු බලාපොරොත්තු විය හැක.

ඩිම්බ මෝචනයේදී පෙන්නුම් කරන ලක්ෂණ

  • පියයුරු ස්පර්ෂයේදී වේදනාවක් ඇති වීම, තන පුඩුවල පුපුරු ගසන ස්වභාවය ඩිම්බ මෝචනයත් සමග සිදුවන වෙනස්කම් හේතුවෙන් පියයුරුවල සංවේදීතාවය වැඩි වීම මෙයට හේතුව යි.
  • ශ්‍රෝණි හෝ පහළ උදරයේ ඇති වන වේදනාව.
  • මිනිත්තු කිහිපයක සිට පැය කිහිපයක් දක්වා පවතින මේ තත්ත්වය එක් පැත්තක හෝ දෙපැත්තේම වුව ද ඇති විය හැක. මෙම වේදනාව ඇති විට සුළු යෝනි රුධිර වහනයක් හෝ ශ්‍රාවයක්, ඔක්කාර ගතියක් ඇති වේ. මෙම වේදනාව ඩිම්බ මෝචනයේදී ද සමානව ලෙස පවතී. අධික ලෙස වේදනාව ඇති නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. මන්ද ගර්භාෂයේ ඇතුළත ස්ථරයේ ආසාදන තත්ත්වයක් (Endometriosis) හෝ ඩිම්බ කෝෂයේ අර්බුදයක්/ගෙඩියක් (Ovarian tumor) විය හැකි බැවිනි.
  • ලිංගික කාර්යය සඳහා කැමැත්තක් උනන්දුවක් ඇති වීම.
  • මෙය ස්වභාවිකවම ඇති වන තත්ත්වයකි. කාන්තාවකගේ සිරුර පිළිසිඳ ගැනීමකට සූදානම් වන නිසා මේ තත්ත්වය ඇති වේ.
  • බිංදු කිහිපයක සුළු රුධිර වහනය හෝ ශ්‍රාවයක් වෑස්සීම.
  • දුඹුරු පැහැති ශ්‍රාවයක් හෝ රුධිර බිංදු කිහිපයක් පැවැතීම ඩිම්බ මෝචනයේදී සාමාන්‍ය වේ. ඩිම්බය මේරීමෙන් පසු පිපිරීමේදී මෙම රුධිර වහනය ඇති වේ. මෙම තත්ත්වය දිගටම පවතී නම් එය ආසාදනයක හෝ ගර්භාෂයෙන් පිටත දරුවෙකු පිළිසිඳ ගැනීම (Ectopic pregnancy) විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

Your Name

Email

Comment

0 Comments