Enter Your Key Word

දරුවාගේ මානසික සුවතාව වෙනුවෙන් නුවණින් මග පෙන්වන්න

Smart Parenting Tips

දරුවන්ගේ පුංචි හිත් තේරුම් ගැනීම ඇතැම් විට අම්මා තාත්තාට වුණත් ටිකක් අපහසුයි. මොකද සමහර දරුවන් තමන්ගේ හැඟීම් කෙලින්ම පෙන්නුම් කරත් සමහර දරුවන් හැඟීම් සෘජුවම පෙන්වන්නේ නැහැ. නමුත් දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ සිතුවිලි තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත වීම ඉතාම වැදගත්.

පුංචි හිත්වල ඇති වෙන පුංචි පුංචි හැඟීම් වටහා ගැනීමට මව්පියන්ට හැකි නොවන්නේ මොන වගේ හේතු නිසා ද කියලා අපි සාකච්ඡා කරමු.

දෙමව්පිය සම්බන්ධතාවය

දරුවාගේ අනාගතය සඳහා දෙමව්පියන්ගේ සමීපතාවය ඉතා ප්‍රයෝජනවත්. යම් හේතුවක් මත දෙමව්පියන් දරුවාගෙන් දුරස් වුණත් කවුරුන් හෝ වැඩිහිටියෙක්වත් දරුවා සමග සමීපව සම්බන්ධව සිටීම වඩාත් වැදගත්. නමුත් අද බොහෝ දෙමව්පියන්ට දරුවා සමග රැඳෙන්න වේලාවක් නැහැ.

මව රැකියාවක නිරත වීම, පියා විදේශගත වීම, එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවීම වැනි කරුණු නිසා නොදැනීම දරුවා මග හැරෙන්න පුළුවනි.

විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල සමග සම්බන්ධතාවය

අද වන විට අම්මා තාත්තා විද්‍යුත් මාධ්‍ය සමග බෙහොම සම්බන්ධයි. ඉස්සර තාත්තා නිවසට එන්නේ කෝ මගේ පුතා... දුව... මගේ පැටියා බත් කෑවද? කිරි බිව්වද? වැනි ප්‍රශ්න අසමින් සෙනෙහසින් දරුවා වැලඳ ගැනීමට වුණත් දැන් දෙමව්පියන්ට එහෙම සම්බන්ධතාවයක් නැහැ.

තාත්තා ජංගම දුරකථනය සමගත් අම්මා සමාජ ජාල සමග එහෙම නැත්නම් රූපවාහිනියේ මාලා නාටක සමගත් සම්බන්ධ නිසා දරුවා සමග සම්බන්ධතාවය දුරස් වෙනවා.

දෙමව්පියකරණයක් නැහැ

අද සමාජයේ දෙමව්පියකරණය ගැන දැනුවත් කිරීම් බොහොමත් අඩුයි. දරුවන් හදන වඩන අන්දම, ඔවුන්ගේ ශාරීරික පෝෂණය ගැන දැනුවත් කිරීම් ලබා දුන්නත් දරුවන්ගේ මානසික තත්ත්වයන් ගැන අම්මාට තාත්තාට ලබා දෙන අවබෝධය බොහොම අඩුයි.

ඒ නිසාම දරුවන්ගේ මානසික ගැටලු ගැන අම්මා තාත්තා වුණත් ඒ තරම් අවධානයක් නොදක්වන තැනට පත් වෙලා. සමහර විට 'අනේ දරුවන්ට මොන මානසික ප්‍රශ්න ද?' කියලා හිතන්නත් පුළුවන්.

දරුවාගේ ප්‍රතිචාර වලට අනුව හැඟීම් වටහාගන්නේ කොහොමද?

දරුවන්ගේ හැඟීම් අපට පෙනෙන්නේ වෙනත් මුහුණුවරකින්. හේතුවක් නැතුව ඇඬීම, ආහාර ප්‍රතික්ෂේප කිරීම, මලපහ කිරීමේ රටාව වෙනස් වීම, අම්මා, තාත්තා හැර වෙනත් අය වෙත නොයෑම, මව පියා නැති විට හඬා වැටීම වගේ තත්ත්වයන්වල දී දරුවෙක් මානසිකව යම් ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇති බව ඔබට වටහා ගත හැකියි. දරුවාගේ මේ අන්දමේ ප්‍රතිචාර ඇති වීමට හේතු කීපයක් තිබෙනවා. ඒ හැසිරීම්වලින් දරුවා පෙන්වන්නේ මේ වගේ හැඟීම් බව අම්මා තේරුම් ගන්න ඕන.

  • තනිය

    අම්මා තාත්තා නිවසින් පිටත්ව ගිය තැන පටන් තමා රැක බලා ගන්නා තැනැත්තාගෙන් නිසි ආදරය, ආරක්ෂාව ගැන දරුවාට කැමැත්තක් නැති වුණාම අම්මා, තාත්තා පිටත්ව යන විට අඬන්න පටන් ගන්නවා.

  • වේදනාව

    සමහර විට දරුවාට ආහාර ජීරණයේ අපහසුතාවයක් ඇති වුනොත්, එහෙම නැත්නම් හිසරදයක්, දත් එන විට විදුරු මස පුපුරන විට ඇති වේදනාව නිසා හෝ දරුවා අඬන්න පුළුවනි. හැබැයි අම්මාට පැහැදිලිව පෙනෙන හේතුවක් නැහැ.

  • ඉරිසියාව

    පුංචි හිත්වල පුංචි ඉරිසියාවන් වුණත් ඇති නොවනවාම නෙවෙයි. සමහර විට අසල්වැසි, ඥාති දරුවෙක් නිවසට පැමිණියොත් අම්මා තාත්තා ඒ පැටියාට වැඩි අවධානයක් දැක්වුවොත් ඔබේ දරුවාගේ හැසිරීම වෙනස් වෙන්න පුළුවනි. වෙනදා නැති මුරණ්ඩු ගති පැවැතුම් පෙන්නුම් කරන්න පුළුවනි. තමන්ගේ බඩු මුට්ටු පොළවේ ගහන්න පටන් ගන්නත් පුළුවනි.

  • බොරු ලෙඩ

    ඔන්න අපේ පැටියා මගේ බණ්ඩිය රිදෙනවා... එහෙම නැත්නම් කකුල රිදෙනවා... ඔලුව රිදෙනවා... මේ වගේ රෝග ගොඩක් ගැන කියන්න පුළුවන්. හැබැයි බේත් ගන්න තරම් ගැටලුවක් පේන්නෙත් නැහැ. ඉතින් අම්මටත් හරි ප්‍රශ්නයක්. හැබැයි පොඩ්ඩා දන්නවා හේතුව.

    හිතේ තියෙන දුක එහෙම නැත්නම් ආතතිය පැටියාට කියන්න බැරි හින්දා බොරු ලෙඩ ගන්නවා. ඒ වගේම තමන්ට තිබුන අවධානය නැති වීමත් එක්තරා විදිහකින් හේතුවක් වෙන්නත් පුළුවන්.

  • මලපහ වෙනස් වීම

    දරුවාගේ හිතේ කියා ගන්න බැරි අන්දමේ බියක් ඇති වුනාම මල බුරුල් විදිහට පිට වෙන්න පුළුවනි. සමහර විට දරුවා බලා ගන්නා අය අනවශ්‍ය විදිහට දරුවා යම් යම් දේ වෙනුවෙන් බියට පත් කිරීම වැනි සිදුවීම් නිසා මල බුරුල් වීම වගේම මල බද්ධය වැනි තත්වයන් වුනත් ඇති විය හැකියි.

ඇත්තටම පැටියාගේ මේ වෙනස්වීම් අම්මාට-තාත්තාට ගැටලුවක්. ඒ වගේම හිතට වද දෙන මානසික පසුබෑමක් තරම් තත්ත්වය බරපතල වෙන්නත් බැරි නැහැ. මේවාටත් බෙහෙත් තියෙනවා.

අම්මා තාත්තා දරුවා සමග කාලය ගත කරන්න. ඒ තරම් ආරක්ෂාවේ සහතිකයක් තවත් නැහැ. අවධානය දෙන්න. දරුවා බොහොම ලොකුවට තමා වෙනුවෙන් අවධානය බලාපොරොත්තු වෙනවා. අම්මා තාත්තාගේ අවධානය ගැන දරුවාගේ සහතිකයක් තිබෙනවා නම් එතැනින් එපිටට කිසිම ගැටලුවක් ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා අවධානය අඩු වීමෙන් පුංචි වුණත් පැටියාගේ හිතට වදයක් වෙන මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

මේ හැම ප්‍රශ්නයක්ම සෙනහසේ අඩුවක් නිසා ඇති විය හැකි මානසික ප්‍රශ්න විය හැකියි. ඒ හින්දා දරුවාගේ පෝෂණයයි, ශාරීරික සංවර්ධනයයි වගේම පුංචි පැටියාගේ මානසික සුවතාවය ගැනත් අම්මාගේ තාත්තාගේ අවධානය වැඩියෙන් යොමු විය යුතුයි. ඒ නිසා දෙමව්පියන් කියන්නේ දරුවන්ගේ හැඟීම් හරි විදිහට තේරුම් ගන්නා නුවණින් පොහොසත් පිරිසක් වුණොත් ඔබේ පුංචි පැටියා හරිම වාසනාවන්තයි. එහෙම දෙමව්පියන්ගෙන් මග දකින දරුවා මානසික සුවතාවයෙන් යුක්ත ශක්තිමත් චරිතයක් වේවි.

Your Name

Email

Comment

0 Comments