Enter Your Key Word

දරුවන්ට කියවීම පුරුදු කළ යුත්තේ මේ නිසායි

Reading Habits for your Child

දරුවන් කියන්නේ දෙවියන් දුන් තිලිණයක්. මේ දරු පැටියා සෙනෙහසේ මුදු පහසින් හදා වඩා ගන්නවා විතරක් නොවෙයි, සරසවියේ ආශිර්වාදයත් දරු පැටියාට ලබා දෙන්න ඕන. ඒ වෙනුවෙන් අම්මලාගේ තේමා ගීතය විය යුත්තේ '' ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා'' යන්නයි. ඉගෙනුම් ක්‍රියාවලිය කියවීම, ලිවිම, කතා කිරීම සහ සවන් දීම යන චතුර්විධ කුසලතාවයන්ගෙන් යුක්තයි. ඒ අතර පදනම වෙන්නේ කියවීමයි.

ඉතින් මල් වගේ අපේ පැටවුන්ට එක රැයකින් කියවීම හුරු කරන්න බැහැ. ඒ වුණත් පුංචි කාලයේ පටන් දරුවන් තුළ මේ කියවීමේ හුරුව ගොඩ නගා ගැනීම වැදගත්. ඇත්තටම අපි දරුවන්ට කියවීම පුරුදු කළ යුත්තේ ඇයි?

දරුවාගේ දැනුමට

බොහෝ ඇසූ පිරූ තැන් වැඩිහිටියන්ට පමණක් නොවෙයි, දරුවන්ටත් අදාළයි. කියවීමෙන් ලබන දැනුම අනාගතයේදී විවිධ විෂය දැනුම සමග සම්බන්ධ කර ගැනීම ඉතාම පහසුයි. පොත්පත් කියවීම මගින් දරුවාගේ මතක ශක්තිය වර්ධනය කිරීමට පුළුවන් බව හස්කින්ස් විද්‍යාගාරයේ පර්යේෂක නිළධාරියෙක් වන '' කෙන් පුෂ්කින් " සඳහන් කරනවා. ඒ නිසා දරුවන්ට කියවීම පුරුදු කිරීමේ අවශ්‍යතාවය අමුතුවෙන් කිව යුතු නැහැ.

තමන්ගේ ආත්මාභිමානය ගොඩ නැගෙනවා.

කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියන්නේ ඇත්තටම නිකමට නොවේ. අර්ථවත් යමක් දරුවන්ට කියවීමට ලබා දීමෙන් ඔවුන්ගේ ආත්මාභිමානය ගොඩ නගා ගැනීමට පුළුවන්. විශේෂයෙන් ලෝකයේ පුර්වාදර්ශ චරිත තිබෙනවා. අපේ දරුවන්ගේ ලෝකයේ ජීවත් වෙන්නේ නයිට් රයිඩර්, ස්පයිඩර් මෑන් වුණත් දරුවාගේ මානසිකත්වය ලෝකය දිනූ යුග පුරුෂයින් අලලා ආදේශ කිරීමට පුළුවන්. එහෙම වුනාම පැටියාටත් හිතේවි...මමත් මේ විදිහේ දරුවෙක් බවට පත් වෙනවා කියන වග.

ඉස්සර කාලයේ පුංචි පැටියන්ට අම්මලා පුර්වාදර්ශ ගොඩ නගා ගැනීමේදී '' සිරිමත් මගේ සකි " කවි පංතිය සම්බන්ධ කර ගත්තා. හැම දරුවෙක්ම උත්සාහ ගත්තේ මේ පද්‍ය පංතියේ සිටිය '' සිරිමත් " බවට පත් වීමටයි.

භාෂා ඥානය වැඩිවෙනවා

දරුවන් පොත් පත් කියවන විට ඔවුන්ගේ වාග්කෝෂය නොදැනීම පුළුල් වෙනවා. අද හැම දෙනාම දරුවන්ට නගන චෝදනාව තමයි '' භාෂාව ගැන කිසිම දැනුමක් නැහැ...'' කියන දේ. ඒ නිසා අවුරුදු පහක් පමණ වෙන පුංචි පැටියාට දැන් පටන්ම පොත පත වෙනුවෙන් යම් බැඳීමක් ඇති කළොත් එය අනාගතයේ ඉගෙනුම් කටයුතුවලට ඉතා ඵලදායක විදිහට ආදේශ වේවි.

මනස හා හදවත අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා

පොත්පත් කියවන විට ඇත්තටම අපි ඒ චරිත සමග ජීවත් වෙනවා. ගැමුණු කුමාරයා ගැන අහන විට ඇති වෙන්නේ වීරත්වයක්. මද්දුම බණ්ඩාර ගැන ඇති වෙන්නේ එඩිතර බවක්. මේ විදිහට චරිත පමණක් නොව විවිධ ස්ථාන ගැන මනස්කාන්ත දර්ශන අපේ හිතේ මැවෙනවා. ඒ නිසා දරුවන්ගේ චරිත සංවර්ධනයටත් පොත් පත් කියවීමෙන් විශාල දායකත්වයක් ලැබෙනවා.

නිර්මාණශීලී වීම

පොත්පත් කියවන දරුවන්ට එයින් ලැබෙන ආස්වාදය පමණක් නොව තමාගේ චින්තනයද ඉතාම නිර්මාණශීලී ලෙසින් අවදි වේ. දරුවෙකුගේ නිර්මාණශීලී චින්තනය ඔවුන්ගේ අධ්‍යාපනයට පමණක් නොව එදිනෙදා ජීවිතයට පවා ඉතා වැදගත් වේ. කියවීමෙන් ලැබෙන තොරතුරු ඔහු නොදැනම ගබඩා වෙන අතර අවශ්‍ය අවශ්‍ය තැන්හිදී ඒවා ආදේශ කිරීමෙන් නිර්මාණශීලී දරුවෙක් බිහි වෙනු ඇත.

මානසික විවේකයට ගුණයි

අපි කායිකව වෙහෙසීම නිසා ඇති වෙන විඩාව වගේම මානසිකවත් අපට දැනෙන වෙහෙසකර බව ඇත්තටම දුරු කර ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් විනෝදාංශ වෙත යොමු වෙනවා. හැම කෙනෙකුටම කුමක් හෝ විනෝදංශයක් තිබීම වැදගත්. එය මේ විනෝදාංශය විය යුතු බව අපිට තීරණය කරන්න බැහැ. ඒත් බාල කාලයේ පටන්ම දරුවාට කියවන සමාජයක් නිර්මාණය කළොත් ඔහු තුළ පොත් පත් කියවීම වෙනුවෙන් ඇල්මක් ඇති වෙනවා. ඒ නිසා වෙහෙසකර මානසිකත්වයට හොඳ පිටුවහලක් නොදැනීම ලැබේවි.

ඉතින්....කියවීම දරුවාට හුරු කරන්නේ කොහොමද...?

මුලින්ම පුංචි පැටියට පොතට පතට ඇල්මක් ඇති වෙන දේවල් ලබා දෙන්න. ඒවැනි දේ ඇසුරු කරද්දී දරුවාගේ හිතේ මේ ගැන යම් සංකල්පයක් ඇති වෙනවා. පුංචි කාලයේදී දරුවන් පොත් පත් ඉරන නිසා අම්මලා ඔවුන්ට පොතක් පතක් අතට දෙන්නේවත් නැහැ. ඒ වුනාට පොතට පතට ගරු කරන අන්දම කියා දෙනවා මිසක පොත පතින් දරුවා ඈත් කිරීම විසදුමක් නොවෙයි. ඉස්සර කාලයේ දරුවන්ට දෙමව්පියන් උපදෙස් දුන්නේ පොත අතට ගැනීමට පෙරාතුව වගේම යම් විදිහකින් පොත බිමට වැටුනොත් නැවත අතට ගන්නේ පොතට වැඳලා...

දරුවන්ට නිතරම කියවන පරිසරයක් ගොඩ නගන්න. බාල කාලයේ පටන්ම දරුවා වෙනුවෙන් කුඩා පුස්තකාලයක් ඇත්නම් ඔවුන් පොත් සමග ගනුදෙනුව එතැනින් ආරම්භ කරනු ඇත.

පළාත් පාලන ආයතන පුස්තකාලයේ හෝ වෙනත් පුස්තකාලයක සාමාජිකත්වය ලබා දෙන්න. එසේ නැත්නම් ඔබ දරුවා කැටුව අවස්ථාව ලැබූ විට පුස්තකාලයට යන්න. දෙමව්පියන් විදිහට ඔබ පුස්තකාලයේ සීමාවටවත් නොයා දරුවන් පමණක් පුස්තකාල පරිශීලනය වෙනුවෙන් යොමු කිරීම එතරම් පහසු නැත.

උපන්දිනයට දරුවාට ලබා දෙන තෑගි අතරට පොතක්ද එක් කරන්න. ඉදහිට හෝ පොත්වලින් ප්‍රශ්න ලබා දී ඒ වෙනුවෙන් ත්‍යාග ලෙසින් ඔවුන් සතුටු යමක් දෙන්න.

පොත් ප්‍රදර්ශනයට අනිවාර්යෙන්ම දරුවා කැටුව යන්න. රසවත් ආහාරයක් පිසින විට විහිදෙන සුවඳට අපේ ඇති වෙන උත්තේජනය ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. පොත් ප්‍රදර්ශනයේදී පොත් වෙතින් වහනය වෙන නැවුම් සුවඳ නිසා ඔබේ දරුවාටත් පොත් සමග ජීවත් වෙන රුචිකත්වය නොදැනීම වගා වෙනු ඇත.

Your Name

Email

Comment

1 Comments

Thakshala
Mage babath poth walata asai. .mn Masa 8 idan wage huru kla.math poth kywan kenek.dn babata poth tram watina deyak na . Babata Masa 13i.bohoma watina lipiyak..thank you