Enter Your Key Word

සෙල්ලම් කිරීම තුළින් දරුවෙකුට ලැබෙන වාසි ගැන ඔබ දන්නවාද?

Playtime for your Child

වයස අවුරුද්දක් විතර වුණාම අපේ පුංචි පැටියාට යාන්තම් කකුල්වලට හයි හක්තිය ලැබෙනවා.

ඒ වගේම ක්‍රියාශීලීත්වයෙන් එහා මෙහා යන ගමනට අපේ අත්වැල ඔවුන්ට අවශ්‍ය වෙනවා. "දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න" ගීතය ඔබට මතක ඇති. දැන්නම් දණගාන කාලයත් ගෙවිලා ගිහින්. ඒත් අපේ පැටියාට සෙනෙහසේ නවාතැනක් වුණ දෙමව්පියන්ගෙන් ඔවුන්ගේ සෙල්ලමටත් යම් අත්වැලක් අවශ්‍ය වෙනවා. ආහාරපාන, ආදරය, රැකවරණය වගේම දරුවා සමග දෙමව්පියන් කාලයක් ගත කිරීමත් ඉතාම වැදගත්. ඉතින් මේ වෙනුවෙන් දෙමව්පියන් විදිහට ඔබට කළ හැකි දේ මොනවාද?

වයස අවුරුදු එකත් පහත් අතර දරුවන්ට හිතේ සතුටක් ඇති වෙන්න ඒ තරම් ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබට දරුවාට සතුට දැනෙන්න නම් සෙල්ලම් වලට ඔහුගේ හිත යොමු කරන්න පුළුවන්. සෙල්ලම් කිරීමෙන් දරුවාට ලැබෙන වාසි ගැනත් අම්මලා තාත්තලා දැන සිටියොත් බොහොම ලොකු පිටිවහලක් වේවි.

සෙල්ලමෙන් දරුවාට වාසි ලැබෙනවාද?

වචන දෙකක් නැහැ. ඔව් කියන්න පුලුවන්. පුංචි දරුවාට සෙල්ලම තුළින් ශාරීරිකව ක්‍රියාකාරකම් ගොඩ නැගෙනවා. මේ කාලයේදී ජවන හා පිටියේ මලල ක්‍රීඩා නොවෙයි, බෝලයක් අල්ලන්න, බෝලය පසුපස දුවන්න වැනි පුංචි පුංචි සෙල්ලම් කරන්න පුලුවනි. මේ දුවන වේගය දරුවාට හැකි මට්ටමෙන් නිසා අම්මලා දරුවාගේ වේගයට වඩා බාල වුනොත් හොඳයි. එහෙම දුවන දරුවාට සිරුරේ ක්‍රියාශීලීත්වය ගොඩ නැගෙනවා. ඒ නිසා ඔහුගේ මොළයට හොදින් ඔක්සිජන් පරිවහනය වීම නිසා සිරුරටත් යම් උත්තේජනයන් ඇති වෙන්නේ, අම්මාට තාත්තාටවත් නොදැනීමයි.

බඩගිනි ඇතිවීම

මේ කාලයේ අම්මලාට තිබෙන ලොකුම ගැටලුව තමයි “අනේ අපේ දරුවා කන්නේ නැහැ...මට ඔළුවට හරිම වදයක්.” බොහෝ වේලාවට මේ වයසේ දරුවන් බලා ගන්න ලෙහෙසි පහසු විදිහට ඔවුන්ව කොටු කරනවා. එහෙම නැත්නම් කාට් එකක තියාගෙන අම්මලා තමන්ගේ වැඩ කරනවා. ඉතින් දරුවාට කවන බත් කටවල් දිරවන්නත් විදිහක් නැහැ. ඒ නිසා අම්මලා දරුවා එක්කම ටිකක් දුවලා පැනලා සෙල්ලම් කළොත් පුංචි හිතට සතුට විතරක් නොවෙයි, ශක්තිය දහනය වෙලා බඩගින්නත් ඇති වෙනවා. 

හයි හක්තිය ලැබෙනවා.

නිවසේ දරුවාට දුවන පනින වපසරිය නැත්නම් කාල වේලාව තිබෙන විදිහට ළඟ තියෙන උද්‍යානයකට දරුවා සමග ගියොත් ලොකු වාසි ලැබෙනවා. මේවායේ දරුවාට දුව පැන යන්න ලොකු ඉඩක් තිබෙනවා. තණකොළ පිට්ටනි නිසා වැටුණත් තුවාල වෙන අවස්ථාවන් නැහැ. මේ දුවන වේලාවට දරුවාගේ මස් පිඬුවලට හොඳ හයියක් ඇති වෙනවා. බෝලයක් අල්ලා ගන්න තිබෙන හැකියාව සමග දරුවා යමක් අතට ග්‍රහණය කරගන්නේ කොහොමද කියන දැනුවත් බව ලැබෙනවා. ඒ වගේම අත්වලත් මාංශපේශි චලනය වෙනවා.

ඔන්චිලි පදින්න... සී සෝ පදින්න...

ළමා උයනකදී දරුවාව ඔන්චිල්ලාවක සී සෝ ලෑල්ලක පද්දවන්න පුලුවනි. අත්, පාද, උදරය වැනි ස්ථානයන්ට ව්‍යායාම ලබා ගැනීමට මේ විදිහේ සෙල්ලම් වලින් දරුවාට අවස්ථාවක් ලැබෙනවා.

ඔය සේරම ශාරීරික ව්‍යායාම ලැබෙන සෙල්ලම්. මේ පුංචි පැටව් එක්ක මානසික සතුටක් ගොඩනැගෙන සෙල්ලම් කරන්නත් අම්මලාට, තාත්තලාට තහනමක් නැහැ.

අපේ ගැහැනු දරුවන්ට නම් මේ කාලයේ බෝනික්කන්ගෙන් තොර ලෝකයක් නැහැ. ඉතින් මේ දැරිවියෝනේ අනාගතයේ ගෙදර පාලනය අතට ගන්නේ. ඉතින් පුංචි කාලයේ පටන්ම අම්මා, තාත්තා හැසිරෙන අන්දම ගැන ප්‍රතිචාර බෝනික්කන්ට ලබා දෙන හැටි ඔබටම දැක බලා ගන්න පුලුවනි. ඒ වගේම බෝනික්කන්ට ආහාර කැවීම, ඇඳුම් ඇන්දවීම වැනි වැඩ ටික හරියට කරන්නේ දැනුම් තේරුම් තියෙන උදවිය වගෙයි. ඉතින් මේ විදිහට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, දෙමව්පියන්ගෙන් ලැබෙන ආදර්ශ අනුගමනය කරන්න හොඳම අවස්ථාවක් ලැබෙන්නේ සෙල්ලම් ගෙවල්, බෝනික්කන් සෙල්ලම් වලින් බව අපිත් තේරුම් ගන්න ඕන.

කෝම්පිට්ටු ඉදීයෝ....

වයස අවුරුදු දෙකහමාරක් පමණ වුනාම කෝම්පිට්ටුවක් උයාගන්න දරුවන්ට හැකියාව තිබෙනවා. "අපෝ...වැලි අල්ලන්න එපා" කියලා කෝම්පිට්ටු සෙල්ලමට තහංචි පනවන්න එපා. වැලි ටිකක් පිරිසිදු විදිහට ගන්න පරිසරය සකස් කරලා දෙන්න වැඩිහිටියන්ට පුළුවන් නේ. කෝම්පිට්ටු උයද්දී දරුවාගේ අමුද්‍රව්‍ය වෙන්නේ වැලි, වතුර වගේ පරිසරයෙන්ම ලැබෙන දේවල්. මේ වැලි, වතුර එකට කරද්දී ඇඟිලිවලට ලොකු ව්‍යායාමයක් ලැබෙනවා. එය හසුරු කුසලතාවයන් වර්ධනයට හේතුවක්. ඒ වගේම කෝම්පිට්ටු ඉදීයෝ කියල යාන්තමින් හෝ ගායනා කරන්න දැන් පුළුවනි. ඔන්න ගායන හැකියාව අවදි වෙනවා. පුංචි කෝටුවක් අරගෙන පොල්කටුවට තට්ටු කරද්දී යම් දෙයක් රිද්මයානුකූලව නාද කිරීමට හැකියාව දරුවා තුළ ගොඩනැගෙනවා. මේ සේරමට වඩා වැදගත් දේ මොකක්ද? ලස්සන කෝම්පිට්ටුවක් හැදුනොත් දරුවාගේ හිතේ පිබිදෙන නිර්මාණාත්මක කුසලතාවය වචනයෙන් කියන්න බැහැ.

බිල්ඩින් බ්ලොක්ස්, ජිග්සෝ ප්‍රහේළිකා...

වයස අවුරුදු එකහමාරක් පමණ වුනාම බිල්ඩින් බ්ලොක්ස් ආධාරයෙන් යමක් ගොඩනගා ගන්න දරුවාට පුළුවනි. මේ සෙල්ලම් නිසා දරුවාගේ ඔටිසම් තත්වයන්, එහෙම නැත්නම් අධි ක්‍රියාකාරී තත්වයන් ගැන දෙමව්පියන්ටත් වැටහීමක් ලැබෙනවා. ඔ‌ටිසම් රෝගය නිසා දරුවාගේ දියුණු විය යුතු සහ වර්ධනය විය යුතු බොහෝ පැතිවල නොදියුණුවක් දැකගන්නට පුළුවන්. කතා කිරීමේ අඩුවක්, සෙල්ලම් කිරීමේ අඩුවක් හෝ අනිත් අය සමග ගනුදෙනු කිරීමේ අඩුවක් ඔටිසම් දරුවන් අතර දක්නට ලැබෙන ලක්ෂණ නිසා ඔබේ දරුවාටත් ඔටිසම් රෝගය ඇතිදැයි සොයාගන්නට දෙමවුපියන්ට ප්‍රයෝජනවත් වේවි.

ජිග්සෝ ප්‍රහේළිකාවලින් දරුවාගේ බුද්ධි වර්ධනයට ව්‍යායාමයක් ලැබෙනවා. මේ සැලකිල්ල දරුවා විසින් ගොඩනගන්න පටන් ගන්නවා. එයින් ඔහු යම් දෙයක් තනියම කිරීමේ හැකියාව ලබා ගන්නවා. නොගැලපෙන කොටස් එකිනෙක අරගෙන ගලපන විට තර්කන බුද්ධිය අවදි වෙනවා. ඒ වගේම මුල් පිංතූරයේ සටහන ගැන මතකය හිතේ ඇඳී තිබෙන නිසා ධාරණය තුලිනුත් දරුවා යම් පිබිදීමක් ලබා ගෙන ඇති බව නොරහසක්. ඒ වගේම මේ කොටස් ගැලපීමේදී අපි ඔවුන්ට ලබා දෙන මග පෙන්වීම වෙනුවට ඔවුන් විසින් තමන්ට ආවේණික කෙටි මාර්ග සොයා ගන්නවා. ඒ නිසා නිතරම බුද්ධියට ලැබෙන ව්‍යායාම නිසා මේ වගේ සෙල්ලම් වලින් ලැබෙන ක්‍රියාකාරකම් දරුවන්ට ඉතාමත් ගැලපෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙම නම් සෙල්ලමෙන් දරුවාට වාසි ලැබෙන්නේ පොලියත් සමග කිව්වොත් නිවරැදියි.

Your Name

Email

Comment

1 Comments

Chathurika
Good