Enter Your Key Word

පෙර පාසැල් වියේ ඔබේ දරුවාගේ පෝෂණය ගැන සුවිශේෂී කරුණු

Healthy child Nutrition tips

ළමුන් තම ජීවිතයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන කාලවලදී ඔවුන්ගේ ආහාරයේ පෝෂණීය අගය පිළිබඳව මනා වැටහීමකින් සහ දැනුමකින් යුක්තව කටයුතු කිරීම ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම බලපාන කරුණකි. මෙම අවධියේ දරුවාගේ වර්ධනයට සහ විකසනයට අවශ්‍ය සියලු පෝෂක ඉහළ මට්ටමින් ලබාදීම ඔවුන්ගේ ජීවිත කාලයේම නිරෝගී යහ පැවැත්මට මනා පිටිවහලක් වේ.

මේ නිසා සෞඛ්‍ය සම්පන්න වූ නිවැරදි ආහාර රටාවක් දරුවාට උරුම කර දීම දරුවාගේත්, පවුලේත්, සමාජයේත් යහ පැවැත්ම වෙනුවෙන් හේතු වේ.

උපන් මොහොතේ මව්කිරෙන් ඇරඹී පෝෂණය දින 180 සම්පූර්ණ වීමත් සමගම අර්ධ ඝන ලෙසටත් එතැනින් ක්‍රමයෙන් ඝන ආහාරයටත් හුරු කරවූ දරුවා පළමු වසරට පියමං කරද්දී පවුලේ ආහාරයට හුරු කරවීම කළ යුතුමයි. ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගන්නා මේ කාල සීමාව තුළදී උස යාම සේම ඊට අනුපාත වන සේ බර වැඩිවීමත් අපට දක්නට ලැබේ.

මොළයේ වර්ධනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් වසර 3 වන විට ළඟා කරගෙන ඇති දරුවන්ගේ මුල් ළමාවිය ලෙස සැලකෙන්නේ මුල් අවුරුදු 5ක කාලයයි. පූර්ව පෙර පාසල් විය සහ පෙර පාසල් වියේ සිටින වසර 3 සම්පූර්ණ දරුවන් විශ්ලේෂණාත්මක බුද්ධියකින් හෙබි අතර නිරතුරු කුතුහලය පිරී ඇත්තේ දරුවාගේ වටපිටාව සහ සබැඳි ජීවිතයට එක් කරන අත්දැකීම් සමග ය.

මේ කාලය තුළ නිර්මාණශීලි ලෙස යම් යම් දේ අත්හදා බලමින් නිරතුරුවම ක්‍රියාශීලිව පසුවන දරුවාගේ ආහාරය පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමුවිය යුතුය. තම රුචි අරුචිකම් අනුව කටයුතු කිරීමට ඔවුන් පෙළඹෙන නිසා ඊට සරිලන සේ නිර්මාණශීලි ලෙස ආහාර වේල සකස් කිරීමට හා පිළිගැන්වීමට කටයුතු කළ යුතුයි.

මේ වන විට විවිධ රසයන් හඳුනන දරුවන් පාට, හැඩය සහ ස්වභාවය පිළිබඳව අවධානයෙන් පසුවන නිසා ඊට අනුකූල ලෙසින් ආහාර වේල සැකසිය යුතු සේම එහි ඔහුට අත්‍යවශ්‍ය පෝෂක කොටස් අන්තර්ගත කිරීමටත් අපට හැකි විය යුතුයි. එමෙන්ම දරුවන්ගේ ආමාශය කුඩා හෙයින් දරුවාට ලබාදෙන වේල් ගණන පිළිබඳව අප සැලකිලිමත් විය යුතුයි.

අපට මෙන් ප්‍රධාන ආහාර වේල් 3ක් සහ අමතරව කෙටි ආහාර වේල් 2ක් වත් දරුවා වෙනුවෙන් ලබාදිය යුතු අතර මේ ප්‍රධාන වේල් සඳහා මෙන්ම කෙටි ආහාර වේල් සඳහා ද ආහාර කාණ්ඩ සියල්ල ඇතුළත් වන සේ ආහාර පිළියෙල කළ යුතු ය. සෑම ආහාර වේලකම ඉහළ පෝෂණ අගය රඳා පැවතිය යුතු ය.

පෙර පාසැල් වියේ දරුවන්ගේ විශේෂ පෝෂක අවශ්‍යතා

  • ශක්තිය හා ප්‍රෝටීන

    වයසත් සමග උස, බර වැඩි වීම ආදිය සමගම ක්‍රියාශීලි දිවියක් දරුවන් තුළ ඇති වෙන හෙයින් ඊට අදාළ වන සේ ධාන්‍ය හෝ පිටි සහිත ආහාර සමග මාළු, මස්, බිත්තර සහ පියලි ඇට වර්ග ඇතුලත් වූ ප්‍රධාන වේල් 3ක් හෝ 4ක් සමග කෙටි වේල් 2ක් දරුවාට අවශ්‍යයි.

    මස්, මාළු, බිත්තර මගින් ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා සේම ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල වන ඔමේගා 3 මේද අම්ලය මාළු තෙල්වල බහුල ය. මොළයේ වර්ධනය සඳහා මේද අම්ල විශාල කාර්යභාරයක් ඉටු කරන හෙයින් මාළු මගින් ලබාදිය හැකි ප්‍රෝටීන් අවශ්‍යතාවද ඉහළ නංවයි.

    බිත්තර තුළ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලට අමතරව විටමින් වර්ග සියල්ලම (විටමින් C හැරුණුකොට) අඩංගු හෙයින් ප්‍රෝටීන අවශ්‍යතා සපුරාලීමට බිත්තර දිනපතා ලබාදීම ද නැණවත් ක්‍රියාවකි.

    යකඩ, සින්ක් හා කොපර් ඇතුළු ඛනිජ ලවණ බොහෝමයක් මස්වල අඩංගු නිසා මස් ද ප්‍රෝටීන අවශ්‍යතාවලට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවින් දරුවන්ගේ ආහාර වේලට එකතු කිරීම යෝග්‍ය වේ.

    මීට අමතරව පියලි ඇට වර්ගවල ප්‍රෝටීන බහුලව පැවතිය ද ඒවා ශරීරයට උරා ගැනීමේ ක්‍රියාවලියේදී සත්ත්ව ආහාරවලට වඩා පිටුපසින් සිටී. ඒ නිසා සත්ත්ව ආහාර සමගින් හෝ පියලි ඇට වර්ග කීපයක් එක් කර ලබාදීම වඩාත් සුදුසු ය.

    පියලි ඇට වර්ග ජලයේ පොගවා පැළවීමට සලස්වා ආහාරයට එක් කිරීමෙන් ආහාරයේ රසවත් බව මෙන්ම උරාගැනීමේ හැකියාව වැඩි දියුණු වීමත් එමෙන්ම බීජ ප්‍රරෝහණයේදී විටමින් B සහ D ශරීරයට උරාගැනීම ද වැඩි කරයි.

  • කැල්සියම්

    අස්ථි හා පේශී වර්ධනය වැඩිපුර සිදුවන කාලයක් නිසා කැල්සියම් අවශ්‍යතාවද ඉහළ අගයක් ගනී. මේ නිසා කිරි/කිරි ආහාර, කුඩා මාළු ගැඹුරු තෙලේ බැද කටුත් සමග ආහාරයට දීම මගින් අස්ථි ශක්තිමත් වීම මෙන්ම දත්වල ශක්තිමත් භාවයටද එය ඉවහල් වේ. එසේම රසවත් ලෙස පිළියෙල කරදීමෙන් ආහාර රුචියද වැඩි වේ.

  • කැල්සියම් බහුල ආහාර

    මාළු, බිත්තර, මස්, පියලි ඇට කැල්සියම් බහුල ආහාර ලෙස දැක්විය හැකිය.

    • මාළු - සාලයා, හාල්මැස්සා, කුම්බලාවා, කාරල්ලා, ඉස්සා, කකුළුවා.
    • කිරි/කිරි ආහාර - කිරි, චීස්, මුදවපු කිරි හා යෝගට්.
    • කොළ පැහැති එළවළු - කතුරුමුරුංගා, කටු තම්පලා, කරපිංචා කොළ, මුකුණුවැන්න, මුරුංගා කොළ, නෙළුම් අල.
    • පලතුරු - දිවුල්
    • ඇට වර්ග - තල
  • යකඩ

    යකඩ ඌනතාවයකට ලක්වීම නීරක්තිය ඇති වීමට හේතු විය හැකි අතරම එමගින් දරුවන්ගේ ක්‍රියාශීලිත්වය අඩු වීමට එනම් කායික හා බුද්ධි වර්ධනය අඩුවීම ඇති වීමට එය හේතු විය හැකිය.

    යකඩ අඩංගු ආහාර ලෙස මස්, සත්ත්ව අක්මා, මාළු, බිත්තර, තද කොළ පාට එළවළු, පලාවර්ග, පියලි ඇට යන වර්ග දැක්විය හැකිය.

    ශාක ආහාරවල යකඩ උරාගැනීම වැඩි කිරීම සඳහා විටමින් C ආහාරයට එක් කිරීම කළ හැකියි. සෑම ආහාර වේලකටම පසුව දරුවන්ට ඇඹුල් රසැති පලතුරු ලබාදීම මීට හොඳ ප්‍රතිකර්මයකි. 

  • විටමින්

    ආහාර කාණ්ඩ වලට අයත් සියලුම ආහාර තුළින් විටමින් අවශ්‍යතාවය සම්පූර්ණ කළ හැකි නිසා දරුවන්ගේ ආහාරයට දිනපතා පලතුරු, මස්/මාළු/බිත්තර, පියලි ඇට, එළවළු, කිරි ආහාර හා තල් හෝ තෙල් අඩංගු බීජ වර්ග එකතු කිරීම කළ යුතුයි.

ආහාර සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • පොල්තෙල් එකතු කිරීම මගින් රසයට වැඩි කරනවා සේම දරුවාගේ ප්‍රෝටීන් ශක්ති අවශ්‍යතාවය ද සම්පූර්ණ වෙයි.
  • තෙල් අවශ්‍යතාවලදී කජු, රටකජු, කොට්ටන් ඇට, වට්ටක්කා, තල ආදිය එක් කිරීම කළ හැකිය.
  • විවිධ වර්ණයෙන් යුතු එළවළු, පලතුරු එකතු වීම තුළින් විටමින් C වලට අමතරව විටමින් සහ ඛනිජ ප්‍රතිඔක්සිකාරක ක්‍රියා කිරීම නිසා රෝගාබාධ වළක්වා ආහාර රුචිය වැඩි කරයි.
  • දරුවන්ගේ වර්ධන වේගය හඳුනා ඊට සරිලන සේ ආහාර ලබාදිය යුතුය.
  • දරුවන් ප්‍රිය කරන ආහාර විවිධත්වයක් ඇතිව, විවිධ රසයෙන්, සුවඳින් යුතුව සකස් කළ යුතුය.
  • දරුවාට ආහාර පිළිගැන්වීමේදී ආහාර රුචිය ඇති වන සේ පිළිගැන්විය යුතුය.

Your Name

Email

Comment

0 Comments