Enter Your Key Word

ඔබේ දරුවාගේ කථන ප්‍රමාදයන් හඳුනා නිසි ක්‍රියාකාරකම් වෙත යොමු වෙන්න

Speaking Defects for your child

දරුවන්ගේ අදහස් ප්‍රකාශනය හා අන් අයගේ අදහස්, දරුවන්ට තේරුම් ගැන්වීමට උපකාරි වන ප්‍රධානතම මාධ්‍යය වන්නේ අප කතා කරන වචන නොහොත් භාෂාව යි. මාපිය දූදරු සබඳතාවන් ඇතිවීමේ සිට ඇහුන්කම් දීම, කියවීම, ලිවීම, විවිධ සංකල්ප තේරුම් ගැනීම, විවිධ විෂයයන් ඉගැනීම, ස්වයං පාලනය, යහළුවන්/සමාජ සබඳතා ගොඩනැගීම දක්වා අත්‍යවශ්‍යම සාධකය වන්නේ අපගේ සන්නිවේදනයයි.

ප්‍රථම ප්‍රකාශන මාධ්‍යය වන ''හැඬීම'' ඔස්සේ ඇරඹෙන සන්නිවේදනය, එක් එක් වයස් සිමාවන්වලදී වර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරයි.

උපතේ සිට මාස 3 දක්වා,

පළමු මාසය තුළ ඕනෑම ළදරුවෙකුගේ ප්‍රකාශන මාධ්‍යය වන්නේ හැඬීම යි. බඩගින්න, නිදිමත, වේදනාව යන සියල්ල හැඬීමෙන් ප්‍රකාශ කරයි. මව දෙස බලා සිනාසෙයි. මාස දෙක පමණ වන විට ආ, ඕ, වැනි තනි ශබ්ද නිකුත් කරන අතර ළදරුවන් මාස තුනක් පමණ වන විට ඇසෙන ශබ්දවලට ප්‍රතිචාරයක් ලෙස හැරී බලයි.

මාස 6 වනවිට,

සතුට, ආසාව හා උද්යෝගය පෙන්වීම උදෙසා ශබ්ද නඟයි. හඩ නගා සිනාසෙයි. ම, ප, බ වැනි පහසු ස්වර උච්චාරණය කරයි. එකම ශබ්දය නැවත නැවත කීමට උත්සහ දරයි

උදා : බාබාබා.... මාමා... අප් අප්....

අවුරුදු 1 වනවිට,

ස්වර 2, 3 ක් පමණ එකතු කරමින් විවිධ ශබ්ද එකතුවන් පිටකරයි. බොහෝ විට නමට ප්‍රතිචාර දක්වයි. අංග චලන භාවිත කිරීමට පෙලඹේ.

උදා : අත වැනීම, වඩා ගැනීම සඳහා අත් එසවීම. අත දිගු කර අවශ්‍ය දේ ලබා ගැනීමට උත්සාහ කරයි. ප්‍රථමයෙන්ම (තේරුමක් ඇති) වචන කතා කිරීම අරඹයි.

උදා : අම්මා.... තාත්තා... සරල වචන අනුකරණයට උත්සහ කරයි.

අවුරුදු 5-6 වන විට,

සාමාන්‍යයෙන් අවුරුදු 2 සම්පූර්ණ වන විට අවම වශයෙන් සරල වචන 2,3 එකතු කර කතා කිරීමේ හැකියාව දරුවෙකු සතුය. එසේම තවත් අයෙකුගේ විමසීමකට (උදා: අම්මී කෝ..... වතුර ඕනේද?) ප්‍රතිචාර දැක්වීමටද සමත් වේ. වචන භාවිතයෙන් අවශ්‍ය දේ ලබා ගැනීමට උත්සාහ කරයි. වයස අවුරුදු 3 ට ආසන්න කාලය වනවිට දරුවන්ගේ වචන මාලාවේ සීග්‍ර වර්ධනයක් දැකිය හැකි අතරම තමාට හුරුපුරුදු සෑම දෙයක්ම හැඳින්වීමට වචනයක් ඔවුන් සතු වේ. වචන එක් කර කුඩා වාක්‍ය සාදා අවශ්‍ය දේ පැවසීමට මෙන්ම පවසන දේ වටහා ගැනීමට සමත්ය. ක, ග, ට, ඩ, න, ෆ වැනි ස්වර උච්චාරණය පහසු වේ. කතා කරන බොහොමයක් වචන අසන්නන්ට පැහැදිලිය.

වයස අවුරුදු 4 වන විට සාමාන්‍ය දරුවෙකු සම්පූර්ණ වාක්‍ය ප්‍රකාශ කරන අතරම බහු වචන හා මම, ඔයා, අපි වැනි වචන අවබෝධයකින් භාවිත කරයි . ඔවුන් සංකීර්ණ වාක්‍ය 4 ක් පමණ තැනීමට සමත්ය. අන් අයගේ බොහෝ ප්‍රශ්න තේරුම් ගෙන ඊට නිවැරදි ලෙස පිළිතුරු දිය හැකිය. පවුලේ අයගෙන් ඇයි... කොහොමද? වැනි ප්‍රශ්න ඇසීමට පෙලඹේ.

වයස අවුරුදු 6 පමණ වන දරුවෙකු භාෂාව හොඳින් තේරුම් ගන්නා අතර කෙටි කතාන්දර, සිදු වූ සිද්ධියක් විස්තර කිරීමට හැකියාවක් ඇත. ල, ස ර, ච, ව, ශ, ත වැනි ස්වර හොදින් හසුරුවයි. අතීත, වර්තමාන සහ අනාගත ලෙස වෙන් කර කතා කිරීමට සමත්ය. තමන්ගේ නම/වයස කීමට සමත් මොවුන්ගේ වචන උච්චාරණය ඉතා පැහැදිලිය.

එක් එක් වයස් සිමාවන්හිදී දරුවන්ගේ කථන හැකියාවන් ඉහත පරිදි වන අතර, ඔබේ දරුවාගේ කථනය ප්‍රමාද බව හෝ කථනයේ ගැටලුවක් ඇති බව දැනුනහොත් එම අවස්ථාවේදීම ක්‍රියාත්මක විය යුතුය.

  • දරුවාගේ ශ්‍රවන හැකියාව පරික්ෂා කරන්න.

    ඒ ඒ කාල රාමුවලදී ඉහත සදහන් කළ අවධීන් සම්පූර්ණ නොකරන්නේ නම් මූලිකව දරුවාගේ ඇසීමේ ගැටලුවක් පවතීද යන්න සොයා බැලිය යුතුය.

  • කථන ප්‍රමාදයක් ඇති දරුවෙකු හඳුනා ගත් පළමු අවධියේදීම කථන චිකිත්සාව වෙත යොමු වන්න.

    එහීදී ගැටලුවේ ස්වාභාවය නිර්නය කර ඊට ප්‍රතිකාර කළ හැකි විශේෂ චිකිත්සක ක්‍රම හදුන්වා දේ.

  • දරුවා සමග නිතරම කතාබහ කරන්න.

    දරුවාව ඔබේ එදිනෙදා ගේ දොර වැඩකටයුතුවලට සම්බන්ධ කරගන්න අතරම ඔබ කරන කාර්‍යයන් ගැන පවසමින් දරුවාද ඔබ හා සම්බන්ධ කරගන්න. උදා : නෑවීම, කැවීම, ඇඳුම් ඇන්දවීම

  • දරුවාට කතා කිරීමේදී ඔබේ හා දරුවාගේ ඇස් අතර සම්බන්ධතාවය පවත්වාගන්න.

    මෙය ඉතාමත්ම අත්‍යවශ්‍ය සමාජීය කුසලතාවකි.

  • දරුවාට යමක් කියන්න අවස්ථාව ලබා දෙන්න.

    දරුවා සමග නිරන්තරයෙන් සන්නිවේදනයේ යෙදීම සේම සැමවිටම යමක් ප්‍රකාශ කරන්නට දරුවාට අවස්ථාව ලබාදීම වැදගත්ය. සරලවම පැවසුවොත් ඕනෑම දරුවෙකු යමක් පවසන්නේ ඔහුට/ඇයට ඒ සඳහා අවස්ථාවක් ලැබුනොත් පමණි.

  • දරුවා අගයන්න.

    යමකට දරුවා දරන උත්සාහය ඇගයීම තුළින් ඔවුන් විශාල පන්නරයක් ලබයි. ඒ හරහා ඔබට ප්‍රතිචාර දැක්වීමටත් කතා කිරීමටත් අදහස් ඉදිරිපත් කිරීමටත් දරුවා පෙළඹේ.

  • මුහුණේ ඉරියව්වලට දරුවා හොඳින් අවධානය යොමු කරයි.

    දරුවට කතා කිරීමේදී මුහුණේ හැඟීම් ප්‍රකාශ කිරීම මගින් එම සංවාදයන් වඩාත් රසවත්ව සිදුකළ හැක. මෙයද දරුවාගේ අවධානය ඔබ කෙරෙහි තබා ගැනීමට එක් උපක්‍රමයකි.

  • කතා කරන ස්වරය උස් පහත් කරමින් වෙනස් කරමින් කතා කරන්න.

    ඒ තුළින් දරුවාට අදාළ කරුණු හොඳින් ඒත්තු යනවා සේම දරුවා සතුටටද පත් වනු ඇත.

  • ඔබ, ඔබේ දරුවාට සතුට දනවන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙන්න. ඊළගට සිදුවන දේ පිළිබඳව කුතුහලයක් ඇතිවන ආකාරයේ නව ක්‍රියාකාරකම් තෝරාගන්න.

    උදා : ගීතයකට චලන සිදුකිරීමේදී, කැරකෙන්න/අත් ඔසවන්න, එකවර පහත හෙලන්න/එකවර බිම වාඩිවෙන්න.

  • ඔබේ දරුවාට වාරයක් ලබාදෙන්න

    උදා : සෑම ක්‍රියාකාරකමකදීම දරුවාට වාරයක් ලබා දීම ඉතා වැදගත් වේ. පළමු වාරයේදී ඔබ දරුවාට රවුමක් කැරකෙන්න කියුවා සේම දෙවැනි වාරයේදී එය දෙදෙනා අතර මාරුකරගන්න.

  • දරුවා සමග කතා කිරීමට එක භාෂාවක් තෝරාගන්න

    නිවසේ සමගිකයන් සැවොම එකම බසකින් දරුවා සමග කතා කිරීමට වග බලාගත යුතුය. අම්මා ඉංග්‍රීසි බසින්, ආච්චි සිංහල බසින් ලෙස භාෂා දෙකක් දරුවා වෙනුවෙන් යොදාගැනීම කථන ප්‍රමාදය හෝ කථනයේ ගැටලුවක් ඇති දරුවන්ට නුසුදුසුය.

  • දරුවාට කතා කිරීමේදී, ඔබ කතා කරන වේගය අඩු කර, සැමවිටම සරළ භාෂාව හා කෙටි වාක්‍ය පාවිච්චි කරන්න. වචන හොඳින් උච්චාරණය කරන්න.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ පළමු අවුරුදු තුන තුළ තම දරුවා පිළිබඳව සුපරික්ෂාකාරීව පසුවීම ඉතා වැදගත්. වේ. මන්ද භාෂා හා කථන කුසලතාවයන් සීඝ්‍ර ලෙස ගොඩ නැංවෙන්නේ මේ කාලය තුළයි.

ඔබේ සුපරික්ෂාකාරී බව තුළින් යම් ප්‍රමාදකාරී තත්වයක් වේ නම් එය හඳුනා ගැනීම පහසුය. ඒ හරහා ඔබේ දරුවා යම් ගැටලුකාරී තත්ත්වයක පසු වේ නම් ඒ පිළිබඳව කල්තියා හඳුනා ගනිමින් අවශ්‍ය පිළියම් යෙදිය හැකිය.

ඔබේ දරුවාගේ කථන අබාධ කල්තියා හඳුනා ගැනීමෙන් ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු විය හැකි අතරම ඉක්මන් ප්‍රතිකාර වෙත යොමු වීමෙන් සාර්ථක ප්‍රතිපලයක් වෙත ලඟා වීමට ඔබට හැකියි.

Your Name

Email

Comment

0 Comments