සෙනෙහසේ මුදු පහසින්, සමනල පැටව් වගේ බොහොම ආදරයෙන් දරුවන් හදන වඩන දෙමව්පියන් බලන්නේ තමන්ගේ පැටියාට හොඳම දේ දෙන්නයි. මොන්ටිසෝරි යන පැටියා පිටස්තර ලෝකයට ගිහින් තනියම කන්න බොන්න පුරුදු පුහුණු වෙන මේ කාලයේ අපි මොනවාද මේ හුරතලාට දෙන්නේ.
මේ කාලයේදී කන්න බොන්න වේලාව පාලනය කර ගන්න තරම් පැටියා මෝරලා නැහැ. ඒ නිසා අපි නිතරම චූටියාට පහසුවෙන් කන්න පුළුවන් විදිහට කෑම පෙට්ටිය සකස් කළොත් අපි දෙගොල්ලන්ටම හිතට හොදයි. ඇයි ඉතින් අපේ අම්මලා පැටියා ගෙදර ආ හැටියේම බලන්නේ කෑම පෙට්ටිය දිහා. පැටියා සේරම කාලා තිබුණොත් හොදයි. නැත්නම් අම්මාගේ හිත රිදෙනවා, මේවාට චෝදනා කළාම පැටියාගේ හිත රිදෙනවා.
ඉතිං ඒ නිසා පැටියාගේ කෑම පෙට්ටියට මොනවාද අපි දාන්නේ.
බත් නම් ගුණයි තමයි. ඒත් පැටියා මේ බත් කයිද? ගෙදරදී හබුං කටයි. බත් දෙකටයි කියපු පැටියාට තවම තනියම බත් අනා ගන්නත් ටිකක් අසීරුයි. ඒ වගේම බත්වලට ගැලපෙන විදිහට පෝෂණය තුලනය කරල දුන්නත් ඒවා අනාගැනීමත් පහසු නැහැ. ඒ හින්දා බත් හැන්දක විතර පොඩි ප්‍රමාණයකට කැරට්, ගොටුකොළ බොහොම ටිකක්, බිත්තරයක් එකතු කරල තෙම්පරාදු කරල හැන්දක් එක්කම කෑම පෙට්ටියට දාන්නකෝ. බලමු පැටියාගේ ප්‍රතිචාර හවසට...
කිරිබත් කැටයක් වුණත් පැටියා ආසාවෙන් ආහාරයට ගනීවි. බත්, මාළු අනන්න වගේ වැඩි වැඩ නැහැනේ.
මේ වගේම එළවළු වල ගුණ ලබා ගන්න හැකි විදිහට සකස් කර ගන්න පුළුවන් තවත් ආහාර තිබෙනවා. බත්වලට වඩා මේවාට පැටියා ආසා කරන්නත් පුළුවනි.
නූඩ්ල්ස්, පැස්ටා, මැකරෝනි වගේම ස්පැගටි...
මේවා පිටි ආහාර වුනත් කැරට්, ලීක්ස්, බෝංචි වගේ ශාක ප්‍රෝටීන සංයෝග කරලා ගුණාත්මක විදිහට සකසා ගන්න එතරම් අපහසුවක් නැහැ. පැස්ටා ගනිද්දී විවිධ හැඩතල වලින් මිළට අරගෙන පැටියාගේ කෑම පෙට්ටියට අලුත් අත්දැකීම් එකතු කරන්න.
පාන් වුණත් කමක් නැහැ...
මොන්ටිසෝරි යන පැටියාට පාන් වුණත් ඒ තරම් ගැටලුවක් නැහැ. හැබැයි ගුණයක් ඇති වෙන විදිහට කෑම සාදා ගැනීම අම්මලාගේ වගකීමක්. ජපානයේ පොඩි අයට කියලා දෙන්නේ ''ආහාර කියන්නේ දිවට නොව ඇහැට'' යන සංකල්පයයි. ඒ නිසා ඔවුන් විවිධ වර්ණ ආහාරයට එකතු කරනවා. ඉතින් පාන් පෙති දෙකක් හදනවා නම් බටර් හෝ මාගරින් ගාලා ඒ මැද්දට සිහින්ව ගා ගත් කැරට් බිත්තරයක්, සලාද කොළයක් මැදි කරන්න. තවත් ඕන නම් තට්ටු තුනක්, එක් තට්ටුවක් විදිහට බීට්, තවත් තට්ටුවක් කැරට් සහ අන්තිම තට්ටුවට සලාද කොළයක් තියලා සකස් කර ගන්න. දැන් මේක ඇතුළේ පාට කීපයක්.
"දේදුන්නට පාට හයයි.. පුතාගේ පාන් පෙති දේදුන්න වගෙයි" කියලා පුංචි ආලවට්ටමක් කළොත් පැටියාගේ දිවට වඩා ඇහැ ඉස්සර වේවි.
අග්ගලා... සමපෝෂම වෙන්නත් ඕන නැහැ
අපේ අම්මලා දරුවාට දෙන සමපෝෂ අග්ගලා නම් හැමදාම එකම රටාව. ඊටත් මේවා පුංචි අතට හසු කර ගන්නත් අමාරු තරම් ලොකුයි. පැටියාට තියා, දකින අපිටත් එපා වෙනවා. ඒ නිසා සමපෝෂ අග්ගලා හදනවා නම් සාමාන්‍ය පුංචිවට ගුලි දෙකක් හොදටම ඇති. ඒ වගේම කුරුටු හාල් බැදපු අග්ගලා දෙකක් වුණත් කෑම පෙට්ටියට දාන්න පුළුවනි. අග්ගලා හදන විට අම්මලා මතක තබා ගත යුතු කරුණකුත් තියෙනවා. පැටියා මේ අග්ගලා ආහාරයට ගන්නේ ඒවා සාදා පැය කීපයක් ගෙවුනාමයි. එවිට අග්ගලා වියළි තිබුනොත් උගුරට වියලි ගතිය දැනී කැස්ස ඇති වෙන්න පුළුවනි. ඒ නිසා අග්ගලාවල තෙතමනය රඳවා ගත හැකි විදිහට පිළියෙල කරන්න. පැණි ගතිය ටිකක් තිබුනට කමක් නැහැ. නැත්නම් වියළි ගතිය පුංචි පැටියාට අපහසු වෙන්න පුළුවනි.
කඩල, කව්පි, මුං ඇට දානවා නම්
කඩල, කව්පි, මුං ඇට ගුණයි. ඒත් මේවා හැන්ද හසුරුවා ගෙන කන්නත් සමහර විට අමාරු වෙන්න පුළුවනි. ඒ නිසා අනිවාර්යෙන්ම දරුවාට හුරු හැන්දක් කෑම පෙට්ටියට දාන්න. ඒ වගේම පොල් නම් මොන්ටිසෝරි පැටියාට එපා. පොල් ඉක්මනින්ම පිළුණු වෙනවා. ඒත් පැටියාට ඒ බව තේරෙන්නේ නැහැ. ඉතින් අජීර්ණයක් ඇති වෙන්නත් බැරි නැහැ. ඒ නිසා පොල් වෙනුවට මේවා තෙම්පරාදු කළොත් රසට වගේම ගුණයට ප්‍රියතාවයෙන් ආහාරයට ගන්න පුළුවනි.
කට්ලට්, පැටිස්, රෝල්ස් ඉල්ලනවා නම්...
ම්හ්... ඇත්ත පුංචි අයගෙත් පුංචි පුංචි ආසාවන් තියෙනවානේ. මේ ආසාවන් අපි වෙළදපොලෙන්ම ඉටු කරන්න නියමයක් නැහැ. ඊටත් යාළුවෝ කඩෙන් අරගෙන එන දේවල් දැක්කාම අපේ පැටියාගෙනුත් ඉබේටම ඉල්ලීම් ඇති වෙනවා. අම්මාට වැඩ රාජකාරි බහුල වුණත් විවේක වේලාවට බිස්කට් කුඩු ටිකක් සකස් කරල තියාගන්න. කට්ලට් නම් වැඩි අමාරුවක් නැහැ. අල ගෙඩියක් තම්බාගෙන මාලු ටිකක් එකතු කරලා පුංචි ගුලි දෙක තුනක් හදා ගත්තාම මොනතරම් කැමැත්තෙන් පැටියා එදාට කෑම පෙට්ටිය දකීවිද...? රෝල්ස්, පැටිස්වල වුණත් පිටි මෝලිය කලින් හදාගෙන තිබුනොත් උදේට පොඩි වැඩයි. ඒ නිසා මග දිගට කලබලයකුත් නැහැ. ඇයි ඉතින් අම්මාගේ අතින් හදපු, පිරිසිදු බවෙන් සහතික ලැබූ හොඳම දේ බබාගේ කෑම පෙට්ටියේ..එතැනින් එහාට පැටියාටත් කතා කරන්න පුළුවනෑ නේද...
0 Comments