පුංචි පැටියා දැන් ටිකක් ලොකුයි. ඒ හින්දාම තමන්ගේ වැඩ කරගන්නත් ලොකු අරගලයක්. ඒ වුනත් මේ පුංචි සන්දියේදී අපේ පැටියා හැදෙන වැඩෙන දිහා අම්මා, තාත්තා බොහොම ආඩම්බරයෙන් බලාගෙන ඉන්නවා. ඇයි ඉතින් සෙනෙහසේ මුදු පහසත් සමග වැඩෙන දරුවා දෙමව්පියන්ගේ එකම ලෝකයනේ. ඒ හින්දාම පැටියාගේ ශාරීරික සංවර්ධනය වෙනුවෙන් දෙමව්පියන් බොහොම ලොකු අවධානයක් දක්වනවා.
දත්
කිරෙන් සිනිඳු වුන පුංචි දත් දැන් වැඩිලා. දැන් යමක් විකලා ආහාරයට ගන්නත් පුළුවනි. ඒ නිසාම පැටියාගේ දත් පිරිසිදුව තබා ගන්නත් එපැයි. ස්ථිර දත්වලට පාර කියන්නෙත් කිරි දත්නේ. ඉස්සර නම් වදෙන් පොරෙන් වුනත් පැටියාගේ දත් හොඳින් පිරිසුදු කළත් දැන් ඉතින් හැම දෙයම මං...මං... කියලා පොරේ. එහෙම දුන්නාමත් හරියට දත් මදින්නේ නැහැ. ඒ හින්දා අම්මලා දරුවාගේ වර්ධනය සමග පුංචි දත් කැකුළු රැක ගැනීම ඉතාම වැදගත්.
මලපහ
පැටියාගේ මලපහ ගැන අම්මා තාත්තාට කිසිම කැතක් නැහැ. ඒ තරමටම සෙනෙහසින් තිබෙන බැඳීම අපුරුයි. ඒ වගේම මලපහ බොහෝ ලෙඩ රෝග පිළිබඳවත් නිමිති කියනවා. පැටියාගේ මලපහ දියාරු වීම, කුරුමිණියන් පිටවීම, කිරිපණුවන් සිටීම වැනි නිමිති වලින් ශාරීරික රෝග ගැනත් තොරතුරු ලැබෙනවා. ඒ හින්දා වයස අවුරුදු 3 සිට 5 අතර කාලයේදී දරුවා පොටියට හෝ සාමාන්‍ය වැසිකිළියට පුරුදු කර මලපහ නිසි ලෙස බැහැර කිරීම කළ යුතුයි.
මුත්‍රා
වයස අවුරුදු පහකට ආසන්න වෙද්දී අම්මා සොයා ගෙන එන්නෙත් නැහැ. තමන් විසින්ම වැසිකිළියට යන්නත් දන්නවා. ඒත් දරුවන් මුත්‍රා පිටකිරීමට පසුව සෝදා පිරිසිදු කිරීම ඉතාම වැදගත්. පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන්ගේ විවර ප්‍රදේශ ඔස්සේ විෂබීජ ගමන් කරන්න පුළුවන්. පිරිමි දරුවන්ට වුනත් විෂබීජ අවදානම තිබෙන නිසා දරුවන් මුත්‍රා කිරීමට පසුව සෝදා පිරිසිදු කිරීම ඉතාම වැදගත්. එහෙම නැති වුනොත් විවිධ ආසාදනයන්ට වගේම මුත්‍රා මාර්ග ඔස්සේ විෂබීජ ගමන් කිරීමෙන් විවිධ රෝගාබාධයන් ඇති වෙන්න පුළුවනි. මුත්‍රා මාර්ගයෙන් පටන් ගෙන මේ අවදානම වකුගුඩුවෙන් කෙළවර වෙන්නත් බැරි නැහැ.
හම
පුංචි පැටියාගේ හම බොහොම සිනිඳුයි. මෙළෙකයි. ඒ වුනත් රෝගාබාධයන්ට අපේ පැටියා කියල වෙනසක් නැහැ. හමේ ගොරෝසු වීම්, ලප, බිබිළි, දහඩිය බිබිළි ආදිය නිසා පුංචි හම ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම විටමින් ඌනතාවය නිසා හමේ බිබිළි ඇති වෙනවා. ඒ හින්දා මේ නිමිති කියන්නේ පැටියාගේ පෝෂණ අඩුපාඩු බව අම්මාට මුදු සිනිඳු සෙනහසින් හැදෙන වැඩෙන දරුවාගේ හම ගැන සැලකිලිමත් වුනොත් දැනගන්න පුළුවනි.
නියපොතු
පුංචි පැටියාට විෂබීජ ගැන කිසිම දැනුමක් නැහැ. කොච්චර කිව්වත් නියපොතු හපන්න එපා.. ඇඟිලි කටේ දාන්න එපා කියලා අහන්නේ නැහැ. නියපොතු වැවිලා කුණු පිරිලා තිබුනොත් කීව දේ නාහන දඟයාගේ කට විෂබීජ වෙනුවෙන් මාර්ගය හදලා දෙනවා. ඒ නිසා නියපොතු කෙටි කරලා කැපීම වගේම නිතරම අත් සෝදා පිරිසිදුව තැබීමත් වැදගත්.
හිසකෙස්
පමණට වඩා දිගට තිබෙන කෙස් පීරා පිරිසිදුව තබා ගන්න පැටියාට බැහැ. අම්මාට වුනත් එතරම් වේලාවක් නැහැ. ඒ හින්දා පැටියාගේ කෙස් කෙටිව තබා ගත්තාම දාඩිය දැමීමෙන් වගේම උකුණු කරදරයෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි හිසකෙස් ටිකක් පැටියාගේ ලස්සනට වගේම හිස් කබලේ ආරක්ෂාවටත් අවශ්‍ය වෙනවා.
ඇස්
පැටියාට යමක් පේන බව ඇත්ත. ඒ වුනත් අපි නොදකින ඇස් ආබාධ තිබෙන්න පුළුවන්. සමහර විට දුර තිබෙන දේවල් නොදකින්නත් පුළුවන්. ළඟ තිබෙන දේ ගැන වුනත් එතරම් අවධානයක් නැත්නම් එයින් කියැවෙන්නේ ඇස්වල පුංචි කාලයේ නුදුටු වෙනසක් දැන් දැක ගත හැකියි කියන එක. දරුවා වැඩෙද්දී මේ අඩුපාඩු දැක ගත්තොත් නොපමාව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම වැදගත්.
අධි ක්‍රියාශීලිත්වයත්, උදාසීනත්වයත් එතරම් හොඳ නැහැ
දරුවන් සාමාන්‍යයෙන් දඟයි. ඒ ඔවුන්ගේ ස්වභාවය. ඒත් දරුවෙකුගේ ගති පැවැතුම් තුළ අසාමාන්‍ය දඟකාරකමක් ප්‍රදර්ශනය වෙනවා නම් ඔවුන් අසාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් එය රෝග තත්ත්වයක් විය හැකියි. ඒ නිසා මේ තත්ත්වයත් නොසලකා සිටිය යුතු නැහැ. හැබැයි දරුවෙක් අනවශ්‍ය අන්දමට උදාසීනයි නම් ඒ තත්ත්වයත් රෝගයක නිමිත්තක්. ඒ නිසා දරුවාගේ උදාසීනත්වය ගැනත් අම්මාගේ අවධානය යොමු වීම ඉතාම අවශ්‍යයි. මෙවැනි තත්ත්වවලදී හිතුමනාපේ කටයුතු කිරීම වෙනුවට වෘත්තීමය සුදුසුකම් සපිරි අයෙකුගේ අදහස් විමසීම උචිතය.
0 Comments