Enter Your Key Word

හෙට ලොවට සතුටින් පියනගන්න, අද සිටම දරුවන්ට මේ දේවල් හුරු කරන්න

Teach Your Children kindness

කරුණාව සමග හොඳ හිත පතුරන්න ලෝකයේ සැම කෙරේ.. හැමදාම ඉන්න පුළුවනි සතුටින්ම ලෝකයේ.. ඔබේ පුංචි කාලයේදීත් මේ ගීත ඛණ්ඩය සමහර විට අසා ඇති.

පුංචි දරුවා මලක් වගේ මුදුයි. ඒ වගේම මෙළෙකයි. මේ අහිංසක සහ පිරිසිදු ගති පැවැතුම් නිසාම ලෝකයම දරුවන්ට ආදරෙයි. ඒ වගේ සෙනෙහසේ මුදු පහසින් සැදුන වැඩුන දරුවා කාලයත් සමග සමාජයට පිවිසුනාම බාල කාලයේ පැවැති මේ ගති පැවැතුම් නැති වෙන්න පුළුවනි. ඒත් ලෝකයක් ආදරය කරන ඔබේ දරුවා ඒ විදිහටම යහ පැවැත්මෙන් යුක්ත චරිතයක් විදිහට තමන්ගේ පැවැත්ම ගොඩ නගා ගතහොත් ඔවුන්ට සතුටින්ම ලෝකය සමග ඉදිරියට යෑමට පුලුවනි.

ඒ විතරක් නොවෙයි, දරුවෙකුගේ අයහපත් පැවැත්ම තම දෙමව්පියන් ඉවසා සිටියත් ලෝකයා ඒවා අගය කරන්නේ නැහැ. සෑම දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තවත් කෙනෙකුට හිරිහැරයක් නැති පුද්ගලයෙක් ගැනයි. උනහපුලුවාට ඌගේ දරුවා මැණිකක් කියන ජන කියමන වගේම දෙමව්පියන්ට නම් තමන්ගේ දරුවා ඉතාම වටිනා වස්තුවක්. ඒ විතරක් නොවෙයි, ඔවුන්ගේ මොන මොන වැරැදි තිබුණත් දරුවා ගැන අහිතක් හිතන්නේ නැහැ. ඒත් අපිට අවශ්‍ය වෙන්නේ අම්මාට තාත්තාට වගේම සමාජයටම ආශිර්වාදයක් බවට පත්වන දරුවන්. එවිට දරුවාගේ ජීවිතයත් බොහොම සතුටින් ගොඩ නගා ගැනීමට පුළුවනි. එහෙම නම් හැමදාම සතුටින් ඉන්න පුලුවන් විදිහට දරුවෙක් ගොඩ නගා ගන්නේ කොහොමද...

කරුණාව

කරුණාව දරුවෙකුට ඖෂධ වගේ නික්ෂේපණය කරන්න බැහැ. එය දරුවාට ලැබෙන සෙනෙහසේ මුදු පහස වගේම ලැබිය යුත්තක්. ඒ විතරක් නොවෙයි, දරුවා කරුණාව ගැන මුල්ම පාඩම ලබා ගන්නේ දෙමව්පියන්ගෙනුයි. පවුලේ වැඩිමහල් අයට, අසල්වැසියන්ට, සතා සිවුපාවා පමණක් නොව ගහ කොළ වලට පවා දෙමව්පියන් විසින් දක්වන කරුණාව නිසා දරුවාගේ හිතේ මේ යහගුණ ඇති වෙනවා.

දරුවන්ගේ හදවත මල් වගේ පිවිතුරුයි. ඔවුන් සමාජයට හිරිහැරකාරී චරිතයක් නොවෙන විදිහට ඔවුන් ගොඩ නැගෙන්න අවශ්‍යයි. දරුවාගේ පිරිසිදු හදවත කිලිටි වෙන්නේ බාහිරව ඇතුළු වෙන විවිධ සිතුවිලි සහ ඇවතුම් පැවතුම් නිසායි. දරුවන් ආවේගශීලි වී තිබෙන්නේ ඔවුන්ගේ හිතේ කිසිම ඉවසීමක් සහ දුර දිග බලා කටයුතු කිරීමට තරම් දමනයක් නැති නිසායි. එසේ නම් දරුවන්ගේ සිත් පන්සලක් බවට පත් කිරීම ඉතාම වැදගත්.

සතිමත් බව

අද බටහිර ලෝකය තුළ පවා දරුවන් වෙනුවෙන් සතිමත් බව පුරුදු කිරීමේ අවශ්‍යතාවය පිළිගෙන තිබෙනවා. වර්තමානයේ තමන් කරන කියන දේ ගැන එළැඹ සිටින සිහියෙන් යුක්ත වීම සතිමත් බව විදිහට හඳුන්වා තිබෙනවා. සතිමත් බව පුරුදු පුහුණු කිරීමට වයසක් හෝ තරාතිරමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට සතිමත් බව පුරුදු කළ දරුවෙක් අනාගතයේදී ආවේගශීලී නොවී ඕනෑම ගැටලුවකට මුහුණ දීමේ හැකියාව ගොඩ නගා ගැනීමට සමත් වෙනවා.

දරුවෙක් තමන්ගේ කුඩා සමාජය පටන් ගන්නේ ළදරු පාසලෙන්. එයින් පසුව දිනපතා පාසලට දරුවා ඇතුලත් වෙනවා. මේ සමාජයේදී තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන විදිහට තමාගේ ගති පැවැතුම් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. ඒ අන්දමින් තවත් අය සමග සහජීවනයෙන් කටයුතු කරන ආකාරය ගැන දරුවාට කරුණාවෙන් වටහා දීම ඉතාම වැදගත්.

ආවේග පාලනය

අද බොහෝ විපත්වලට හේතු වෙන්නේ තමන්ගේ ආවේග පාලනය කර ගැනීමට තිබෙන අපහසුතාවයයි. බොහෝ දෙනෙක් කියන්නේ "මගේ ඉවසීමේ සීමාව පැන්නා " ඒත් මෙතැනදී අප කිව යුත්තේ ඉවසලා ඉවසලා බැරිම තැනදීත් ඉවසන්න යන දැනුවත් කිරීමයි. දෙමව්පියන් අනවශ්‍ය ලෙසින් ආවේගකාරී වුනොත් දරුවොත් රැල්ලටම ඇදෙන්න පුලුවනි. ඒ නිසා පුංචි පැටියා හෙට දවසේ විවිධ මත ගැටුම් වෙත යොමු වෙලා තමන්ගේ ජීවිතයේ සතුට නැති කරගන්නා තැනට පත් වේවි. ඒ නිසා පැටියාගේ ආවේග සෙනෙහසේ පහසින් පිරිමදින්න.

සැම දෙනෙක් සමග එකට එක්ව ජීවත්වීම

පැටියාගේ ලෝකය ඉතා සීමිතයි. ඒ වගේම ඔහුට ආශ්‍රයට ලැබෙන්නේ සීමිත පිරිසක්. මේ පිරිසත් නිතරම දරුවාට මුල් තැන දී සිටන්නට තරම් දරුවාට ආදරය ලෙන්ගතුව සිටින පිරිසක්. ඒත් හැමදාටම මේ තත්වය බලාපොරොත්තු වෙන්න බැහැ. කවදා හෝ දිනක ඔහු තමාගේ පුංචි සමාජයෙන් මිදී විවිධ පිරිස් ඇසුරට යොමු වෙනවා. මේ අවස්ථාව තුළ දරුවාගේ බිඳ වැටීම් ඉතා ප්‍රබලව සිදු වෙන්න පුලුවනි. දරුවාට තමා ප්‍රිය නොකරන චරිත සමග එක්ව ජීවත්වීම අපහසු නිසා එයින් විශාල මානසික ගැටුමක් වෙත යොමු වෙන්න පුළුවනි. ඒ නිසා නිතරම දරුවාට හැම දෙනෙක් සමගම එක්ව ජීවත්වෙන කලාව පහදා දෙන්න.

ආගමික පරිසරය ඉතාම වැදගත්

දරුවෙක් වෙනුවෙන් දෙමව්පියන් ලබා දෙන සැම සැප සම්පතක්ම සමග ඔවුන්ට ආගමික හැදියාව පුරුදු පුහුණු කිරීමත් ඉතාම වැදගත්. ඔබ කුමන ආගමක වුණත් ඒ ආගමේ දර්ශනය පසුබිම්ව තිබෙන්නේ අධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කරන ආකාරයටයි. ඒ නිසා මේ පසුබිම තුළ පැටියා හැඩ ගැසුවොත් ඔවුන් ජීවත්වෙන කලාව ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට පුළුවනි. කරුණාව සමග හොද හිත මෙතැනදී දරුවාගේ ජීවිතයට අත් පොතක් ලෙසින් මෙහෙයුම ලබා දීමට ඉදිරිපත් වේවි. එය දරුවාගේ තෘප්තිමත් ජීවිතයට හේතු වෙන අතර "සතුටයි කිරුල අපේ." කියමින් අපේ පුංචි පැටියා අනාගතයේදී ඉතා සතුටින් ජීවත් වෙනු ඇති.

Your Name

Email

Comment

0 Comments