Enter Your Key Word

පුංචි දරුවන්ට විලාසිතා තේරීමේදී මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න

Kids clothing selection idea

පුංචි කාලයේ පටන්ම තමන්ගේ පැටියා ලස්සනට තියා ගන්න අපේ අම්මලා කැමැතියි. ඒක සාධාරණ අදහසක්. ඒ වුනත් අපි විලාසිතා කරද්දී දරුවාගේ ලපටි මොළකැටි බවට යාන්තමින් හෝ ගැටලුවක් ඇති නොවන විදිහට කටයුතු කරනවානම් වඩාත් හොදයි. ඒ වගේම පිළිවෙළක් තිබීමත් අවශ්‍යයි.

ළමාකමට ගැලපෙන විලාසිතාවන් වීම

දරුවෙක් කියන්නේ මලක් වගේ සුන්දර වස්තුවක්. හැම ළමයෙක්ම මේ ගති පැවැතුම්වලින් සමන්විතයි. ඒ නිසා අපි නිතරම දරුවන්ගේ ළමා ලෝකය ඒ විදිහට දකින්න ඕන. දරුවන් වැඩෙන්න ඒ තරම් කාලයක් ගත වෙන්නේ නැහැ. එදාට මේ විලාසිතාවන් වෙනුවෙන් ඔවුන්ද යොමු වෙනු ඇති. ඒ නිසා අද මව් සෙනෙහසේ සුවඳ විදින ලපටි පැටවුන්ට විලාසිතාවන් තෝරා ගැනීමේදී ඔවුන් ගේ වයසට වඩා ඔවුන් ඉස්මතු කර පෙන්වන විලාසිතාවන්වලින් ඉවත් වුනොත් නම් දරුවන්ගේ මලක මෙලෙක ගති පැවැතුම් ඒ විදිහටම රැක ගන්න පුළුවන්.

දරුවාට අපහසුවක් නොවීම

ලාසිතාවන් නිසා පැටියා අපහසුතාවයට පත් වෙනවා නම් එතැනදී දෙමව්පියන් විදිහට අපි අවධානය දැක්වීම ඉතාම වැදගත්. පොඩි පැටවුන්ගේ සම බොහොම මුදුයි. ඉතාම සංවේදියි. සමහර දෙමව්පියන් දරුවන්ට පළඳවන මුදු ඔවුන් වැඩුනාම ඇඟිල්ලට හිරයි. ඒ නිසා ඇඟිල්ල ඉදිමුම, කැසීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විලාසිතාවන් නිසා සමට රිදෙන බොත්තම්, ඉලාස්ටික් වැනි දෙයින් ඉවත් වෙනවා නම් වඩාත් හොදයි නේද...මොකද අපි පුංචි මල් කැකුලට රිදවන්නේ නැතුව විලාසිතා කළොත් වඩාත් හොදයි නේද..

ආරක්ෂාව

සමහර අවස්ථාවලදී විලාසිතාවන් නිසා වටිනා දේවල් දරුවාට පළදවනවා. අනවශ්‍ය විදිහට රත්රන් වැනි වටිනාකම එකතුකරන මාල, වළලු, මුදු, කරාබු නිසා සමහර විට දරුවාගේ ආරක්ෂාවටත් තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවාට පාලනය කර ගන්න බැරි විදිහේ ෂෝල්, බකල්, ගාංචු එහෙම නැත්නම් වෙනත් අතිරේක නිසා පැටියාට ඇති වෙන අපහසුතාවය ගැන අපි දෙවරක් හිතුවොත් හොදයි නේද..

මිල

පුංචි දරුවන් ඉතාම ඉක්මනින් වැඩෙනවා. මේ පැත්ත බලලා, ඇනිත් පැත්ත බලද්දී ඔවුන්ගේ ඇඳුම් පැළදුම් වෙනස් වෙනවා. බාල නංගියෙක් හෝ මල්ලියෙක් සිටිනවා නම් ඔවුන් වෙනුවෙන් මේ ඇඳුම් ප්‍රයෝජනයට ගන්න පුළුවනි. ඒත් අද විලාසිතාවන් ඉතා ඉක්මනින් වෙනස් වෙන නිසා ඒ විදිහට බාල දරුවන්ට වුනත් යල් පැනගිය විලාසිතාවන්ගෙන් සරසන්න දෙමව්පියන් කැමැති නැහැ. ඒ නිසා විලාසිතා ඇති ඇඳුම් පැලඳුම් මිළට ගැනීමේදී ගෙවන මිල සාධාරණද....එය දෙමව්පියන්ට ඔරොත්තු දෙනවාද...යන්න ගැනත් හිතා බලන්න. සමහර විට මේ විලාසිතා ඔබට නිවසේදීම පිළියෙල කර ගන්නත් පුළුවනි. එයට වඩාත් වටිනාකමක් ලැබෙන්නේ අම්මාගේ නිර්මාණයක් නිසා නොවයි, විලාසිතා ලෝකයේ සුවිශේෂී විලාසිතා අඩු පිරිවැයකින් දරුවා සැරසීමට අම්මාට තිබෙන හැකියාව නිසයි.

රෙදි වර්ග

විලාසිතා වෙනුවෙන් තෝරා ගන්නා ඇතැම් රෙදි වර්ගත් දරුවාට අපහසුතාවයක් ඇති කරන්න පුළුවන්. දාඩිය වැඩියෙන් දැනෙන, එහෙම නැත්නම් දාඩිය උරා නොගන්නා ,සිරුර කසන එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට දිලිසෙන ද්‍රව්‍ය, ආසාත්මිකතාවයන් ඇති කරන ලෝම වර්ග නිසා දරුවාට ඇති වන අපහසුව ගැනත් අම්මලාට හිතුනොත් වඩාත් හොදයි නේද...?ඉස්සර කාලයේ කැන් කැන් ඇඳුම් වර්ගයක් තිබුණා . මේ කැන් කැන් ඇඳුම් ඇන්දාම සිරුර කසනවා. අදටත් දරුවන්ට අපහසුතාවයන් දැනෙන රෙදි වර්ග ඕනේ තරම් ඇති. සෙනෙහසේ සුමුදු පහස අඳුනන අම්මලාට මේවා ඇස් මට්ටමින්ම දැන ගන්න පුළුවනි.

පාවහන්

වයස අවුරුදු තුන කියන්නේ දරුවන්ගේ පාද සහ පා ඇඟිලි වර්ධනය වෙන කාලයක්. ඉතින් මේ පාවහන් නිසා දරුවාගේ පාදවලට අපහසුතාවයක් ඇති වෙන්න දෙන්න නරකයි. මේස් වර්ග වුනත් මිලට ගැනීමේදී දෙවරක් හිතන්න, මොකද පුංචි දරුවන්ට වුනත් වඩාත් ගැලපෙන්නේ කපු මිශ්‍රිත මේස් නිසා ඒ වෙනුවෙන් යොමු වීම ඉතාම වැදගත්. වෙළඳපොලේ වෛවාරණ මේස් තිබුණත් පුංචි පැටියාගේ මුදු මෙලෙක ඇති පාද තැම්බෙනවා. අපි මෝස්තර නිසා පැටියාට අපහසුතාවයක් ඇති කිරීමට අවශ්‍ය නැහැ.

දරුවන් විකෘති කරන්නත් එපා

දරුවෙකුගේ කොණ්ඩය කැපීමේදී මේ ගැන සිතීම හරිම වැදගත්. දරුවාගේ සුරතල් ලපටි බව ඉස්මතු වෙන විදිහට කොන්ඩය කපන්න පුළුවනිනේ. අපි කවුරුත් ළමයි දිහා බලන්නේ මලක් දිහා බලනවා වගේ සුන්දර ඇසකින්. ඉතින් අපේ පැටවුන් වයසට නොගැලපෙන විදිහට සිදුකරන කොණ්ඩ සැරසිල්ල නිසා ඒ හුරතලය නැති වෙලා යන්න ඉඩ දෙන්න නම් එපා.

Your Name

Email

Comment

0 Comments