Enter Your Key Word

දරුවාගේ හැඟීම් හඳුනා ගන්නේ කොහොමද?

Family Relationship for child development

අපේ පැටව් පුංචි වුණත් ඒ අයටත් යම් යම් ගැටලු, පසුබෑම් ඇති වෙනවා. සමහර විට මේවා ප්‍රකාශ කරන්න තරම් වචනත් නැහැ. අම්මට තාත්තට වුණත් හරියට කියන්න තේරුමක් නැහැ. ඒ වගේම පුංචි හිතේ නිතරම ඇති වෙන හැඟීම් රාශියක් තියෙනවා. ඒවා වර්ග කරල පෙන්නුවොත් මේ වගෙයි...

  • බිය
  • පාළුව
  • කාන්සිය
  • තරහව
  • ආවේගය
  • වේදනාව
  • කනගාටුව 

මේ හැඟීම් පුංචි හිතේ තද කර ගෙන හිටියත් දෙමව්පියන් විදිහට අපි මේ හැඟීම් දැන ගන්නේ කොහොමද?ඉතින් ඒ වෙනුවෙන් මෙන්න මේවා කියල පැහැදිලිව පෙන්නුම් කරන්නත් කරුණු නැහැ. දරුවාගේ හිතේ තිබෙන අඩුපාඩු අම්මා තාත්තා දන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් දරුවාගේ හැසිරීමෙන් මේ තත්වයන් තේරුම් ගන්න දෙමව්පියන් නුවණක්කාර විය යුතුයි. එහෙම නම් දරුවන් වෙතින් පහතින් දැක්වෙන පුංචි පුංචි ඉඟි තිබෙනවා නම් නොසලකා ඉන්න එපා.

නිතරම ඇඬීම

පුංචි දරුවන් නිතරම අඬන ගතියක් තිබුනොත් එයින් දරුවාගේ හිතේ තියෙන කුමක් හෝ අඩුවක් වෙන්න පුළුවන්. සමහර විට දුක, තරහ වගේ තත්ත්වයක් දරුවා ප්‍රකාශ කරන්නේ මේ විදිහට විය හැකියි.

හීනෙන් බියවීම

පුංචි දරුවන්ගේ හිතේ ඇති වෙන පාළුව වගේම බිය නිසා සමහර විට දරුවා හීනෙන් බය වෙන්න පුළුවන්. අපි නොදැන හිටියත් දරුවන් විවිධ දේ වෙනුවෙන් බිය දක්වනවා. ඒ බිය ඔවුන්ගේ යටිහිතේ තදින්ම තැන්පත් වෙනවා. සමහර වෙලාවට හීනෙන් බය වෙලා අවදි වීම, හීනෙන් ඇඬීම, කෑ ගසා අවදි වීම වැනි ලක්ෂණ දරුවා වෙතින් පෙනෙනවා නම් ඒ හිතේ තිබෙන ඔහුට පැහැදිලිව කියන්න බැරි බිය මුසු හැඟීම් නිසා වෙන්න පුළුවන්.

පොළවේ හැපීම

සමහර විට දරුවාගේ අවශ්‍යතාවය පැහැදිලිව කියන්න ඔවුන් දන්නෙ නැහැ. ඒ නිසාම ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නෙත් නැහැ. මේ මානසික ගැටුම නිසා දරුවාගේ හිතේ තරහ ඇති වෙන්න පුළුවන්. තරහව ප්‍රකාශ කරන්නේ ඇඬීම, කෑ ගැසීම, ඔලුව බිම හප්පා ගැනීම, අතට හසුවන දෙය විසි කිරීමෙන් විය හැකියි. එහෙමත් නැත්නම් තමන්වම හපා ගෙන, ඇඳුම ඉරාගෙන පෙන්වන්නේ හිතේ ඇති තරහා වෙන්න පුළුවන්.

කෙඳිරි ගෑම

දරුවන්ගේ බොහෝ රෝගාබාධයන් අපට නිශ්චිතවම තෝරා ගන්න බැහැ. ඒ වගේ වේදනාකාරී අපහසුතාවයන් ඇති වුනාම දරුවා නොනවත්වාම අඬන්න පුළුවන්. සමහර විට දරුවා කෙඳිරි ගාන්න පුළුවන්. ඒත් අපි මේ වේදනාව දරුවාගේ හිස රිදීමක්ද, උදරයේ වේදනාවක්ද එසේත් නැත්නම් වෙනත් අපහසුතාවයක්ද කියල නිගමනය කිරීමට දන්නේ නැහැ. වෙනදාට වඩා වෙනස් හැසිරීමකින් පෙනෙන්නේ කුමන හෝ අපහසුවක් දරුවාට ඇති වී තිබෙන බවයි. 

ප්‍රතික්ෂේප කිරීම්

දරුවෙකුට යම් මානසික පසුබෑමක් ඇති වීම නිසා, ලැබෙන හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊට හේතුව ඔවුන් ඉල්ලන දෙය තවම ලැබී නැති නිසයි. ඒ වගේම තමා ආදරය කරන අම්මා එහෙම නැත්නම් අත්තම්මා නිවසේ නැති වීම වෙන්න පුළුවන්. ඒ නිසා හිතේ ඇති කාන්සිය සමග අම්මා, අත්තම්මා හෝ තමා ආදරය කරන තැනැත්තා නිවසට ගෙන්වා ගැනීම දරුවාගේ අවශ්‍යතාවය විය හැකියි.

උණ ගතිය

උණ සමහර විට රෝග තත්ත්වයක් නිසාම නොවිය හැකියි. පියා හෝ මව දින කීපයක් නිවසෙන් දුරස් වූ විට දරුවන් අසනීප වීම හෙවත් මේ අන්දමින් උෂ්ණත්වය ඉහළ යෑමේ ලක්ෂණ අප අතර ඉතා සුලබයි. මේ අන්දමේ මානසික පසුබෑම් වලටත් දරුවන් මුහුණ දෙනවා.

මුහුණේ ඉරියව්

මුහුණ අපේ හැඟීම් ප්‍රකාශ කරන කැඩපතක්. මොන තරම් උස් මහත් වැඩිහිටියන් වුනත් අපේ හිතේ පවා දුකක් වේදනාවක් ඇති විට එය මුහුණෙන් පේනවා. ඒ තරමටම මුහුණ ප්‍රබලයි. දරුවන්ටත් මේ තත්වය ඉතාම සාධාරණයි. සමහර විට දරුවාගේ වෙනදා තිබෙන ප්‍රසන්න පෙනුම, හිනාව නැති වෙන්න පුළුවන්. සුපුරුදු රටාවෙන් දරුවා දුරස් වුනාම අම්මාට එය පැහැදිලිවම හඳුනා ගත හැකියි. මෙය ශාරීරික හෝ මානසික අපහසුතාවයක් හෝ නිසා ඇති විය හැකියි. ඉතින් අම්මාවරුන් විදිහට අපි අපේ දරුවන්ගේ මුහුණ බලා හිත කියවන කලාවත් හඳුනා ගත යුතුයි.

 

Your Name

Email

Comment

0 Comments