Enter Your Key Word

මවක් වෙන්නට සිහින දකින ඔබ ඩිම්බ මෝචනය (Ovulation) ගැන දැනුවත් ද?

About Ovulation

මව් පදවියේ කිරුළ පළඳින්න පෙරුම් පුරන ඕනෑම කාන්තාවක් ඒ වෙනුවෙන් දැනුවත් විය යුතු කරුණු බොහොමයක් ඇති අතරම ඒවා අතරින් ප්‍රධානතම කරුණක් ලෙස ඩිම්බ මෝචනය හැඳින්විය හැකියි. ඔබ දරුවෙකු වෙනුවෙන් සිහින දකිනවා නම් ඩිම්බ මෝචන චක්‍රය පිළිබඳව අවබෝධයක් තිබීම ඉතා වැදගත් වෙනවා.

උදර කුහරය තුළ පිහිටා ඇති අණ්ඩාකාර පෙනුමෙන් යුතු ඩිම්බ කෝෂ දෙකක් කාන්තාවකගේ සිරුරේ පිහිටා ඇත. එය දිගින් 3cm - 4cm පමණ වේ. ඩිම්බ කෝෂ තුළ ස්‍යුනිකා (Follicles) හෙවත් කූප පිහිටයි. ඩිම්බ මේරීම සිදු වන්නේ මේ කූප තුළයි. මෙම සෑම කූපයක් තුළම ඩිම්බයක් ඇති අතර ඩිම්බයට ආරක්‍ෂාව සැපයීමටත් අවශ්‍ය පෝෂණය ලබා දීමටත් ඩිම්බ වටා සෛල සමූහයක් ගොනු වී තිබෙනවා. ගැහැනු දරුවෙකු මව් කුසෙන් බිහිවන විටම මෙවැනි නොමේරූ ඩිම්බ 2,000,000ක් පමණ දැකිය හැකියි. වැඩිවියට පත් වන විට ඉතිරි වන්නේ 300,000 කි. ඒ අතරින් පරිණත ඩිම්බ බවට මෝරන්නේ 500ක් පමණ ප්‍රමාණයකි.

ඩිම්බ මෝචනය ක්‍රියාවලිය (Ovulation)

  • ඩිම්බය ක්‍රමයෙන් වැඩෙද්දී කූපය තුළ තරලය එක් රැස් වේ.
  • ස්‍යුනිකාව එනම් කූපය ප්‍රමාණයෙන් විශාල වේ.
  • එය ක්‍රමයෙන් ඩිම්බ කෝෂ බිත්තියට ආසන්න වේ.
  • බිබිළක් ලෙස මතුවී අවසානයේ පුපුරා යයි.
  • ඩිම්බය මුදා හැරේ.

වැඩිවිය පැමිණි දිනයේ සිටම සෑම ගැහැනු දරුවෙකුගේම මසකට වරක් එක් ඩිම්බ කෝෂයකින් මෙලෙස ඩිම්බය මගින් මුදාහැරෙනු ඇත. එය මාරුවෙන් මාරුවට සිදු වේ. එනම් එක් ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් මුදාහැර මසක් ගිය තැන අනෙක් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් මුදාහැරේ. එනම් එක් ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් මුදා හැරෙන්නේ දින 56 කට වරකි.

ඩිම්බ මෝචනය සිදු වූ තැන පීත දේහය ලෙස හඳුන්වන කහ පැහැති කැළලක් ඇති වන අතර ඉන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ශ්‍රාවය වේ. එම හෝමෝනය මගින් ගර්භාෂ ඇතුළු බිත්තිවල වර්ධනය ඇති කරයි. මෙහිදී ගර්භාෂ කුහරය ඉතා සියුම් මෙලෙක් ආවරණයකින් වැසී යන අතර ඇතුළු ආවරණය ඝන වේ. ගර්භාෂ කුහරය රුධිර වාහිනීවලින් පිරීයයි. මෙලෙස ගර්භාෂය සූදානම් කරන්නේ යම් හෙයකින්  ඩිම්බය ශුක්‍රාණුවක් සමග සංසේචනය වුවහොත් එය අධිරෝපණය සඳහාය. නමුත් ඩිම්බයක ජීව කාලය පැය 24කි. එවිට සැකසෙමින් පැවතුන ගර්භාෂ ඇතුළු බිත්ති ආවරණවලින් තවදුරටත් ප්‍රයෝජනයක් නොමැති අතරම මේ තත්ත්වය මත ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ බසී. ගර්භාෂ බිත්තියේ ඇතුළු ආවරණ ගැලවී රුධිරයත් සමග යෝනි මාර්ගය හරහා පිටතට පැමිණේ. ඔසප් චක්‍රය ලෙස හඳුන්වන්නේ එයයි. නමුත් ඩිම්බය සංසේචනය වූයේ නම් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය මගින් ගර්භාෂය තවදුරටත් වාහිනීමත් වෙමින් සංසේචිත ඩිම්බයට අවශ්‍ය පරිසරය සකසයි. දරු පිළිසිඳ ගැනීමක් සිදු වීමට කාන්තාවගේ සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසියාකාරයෙන් සිදු වීම ඉතා වැදගත් වේ.

ලිංගික අධ්‍යාපනය නොමැතිකම නිසා බොහෝ පිරිසකට ගැබ් ගැනීම සම්බන්ධව අවබෝධයක් නොමැත. මවක් පියෙක් වන්න ඔබත් පෙරුම් පුරනවා නම් ඒ සම්බන්ධව දැනුවත් වීම වඩාත් උචිත ය.

Your Name

Email

Comment

0 Comments