Enter Your Key Word

පුංචි පැටියා කුසට ඇවිත්.. අම්මාට දැනෙන්නේ කොහොමද?

pregnant mother feelings

දහසකුත් එකක් බලාපොරොත්තු වලින් සිත පුරවාගෙන බලා සිටි ප්‍රාර්ථනාව සැබෑ වෙලා වත්ද? අම්මාගේ ඇඟට පුංචි පුංචි වෙනස්කම් දැනෙන්න පටන් අරගෙන.

මෙන්න මේ වෙනස්කම් ඔබටත් දැනෙනවා නේද?.

නියමිත දිනට ඔසප් සිදු නොවීම

ඔසප් චක්‍රය ආරම්භ වන්නේ දරු පිළිසිඳ ගැනීමක් සඳහා ගර්භාෂය අලුතින් සූදානම් වීමට වන අතරම පිළිසිඳ ගැනීමක් සිදු වී ඇත්නම් ඔසප් චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත.

පියයුරු වල වෙනස්කම්

පියයුරු ප්‍රමාණයෙන් විශාල වීම, පුපුරු ගැසීම, පියයුරු වල ගැටිතිමය ස්වභාවයක් දැනීම, ක්‍රම ක්‍රමයෙන් පියයුරේ කළු පැහැති කොටස හෙවත් ඇරියෝලාවේ පැහැය තද පැහැයට හැරීම මෙහිදී දැකිය හැකි වෙනස්කම් වේ.

ඔක්කාරය හා වමනය

සති 4 - 16 දක්වා කාලයේදී ඇති වේ. ගැබ් ගැනීමත් සමගම සිරුරේ සිදුවන හෝමෝන වෙනස මේ තත්ත්වයට හේතුවයි. උදේ දිවා රෑ වෙනසකින් තොරව ගැබිනි සමයේදී මවකට ඔක්කාරය සහ වමනය යන තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

පපුවේ දැවිල්ල

ගැබිනි සමයේ ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනයේ බලපෑම නිසා අමාශය ආරම්භයේ ඇති කපාටය ඉහිල් වීම මගින් ආමාශයේ අඩංගු ආමාශයික යුෂ අන්තශෝත්‍රයට පැමිණීම නිසා ඇති වන තත්ත්වයකි. ගැබ් ගැනීමේදී මේ තත්ත්වය වැඩිපුර දැනෙන්නේ විශාල වන ගර්භාෂය මගින් ආමාශය ඉහළට තල්ලු වීම නිසා වන අතරම සති 30 - 40 වන විට එන්න එන්නම ගර්භාෂය මගින් ඉහළට ලැබෙන පීඩනය වැඩි වන නිසා ඇතැම් මව්වරුන්ට මේ තත්ත්වය උග්‍ර විය හැකියි. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

අධික ලෙස ඛේටය ශ්‍රාවය (කටට කෙල උනන ගතිය)

ගර්භණීභාවයේදී 8 වන සතියේදී පමණ ඇති වන තත්ත්වයක් වන මෙයට හේතු වන්නේද සිරුරේ හෝමෝන වෙනස් වීමේ ස්වභාවයයි. මේ තත්ත්වය පපුවේ දැවිල්ල හා සම්බන්ධව පවතී.

නුසුදුසු දෑ ආහාරයට ගැනීම

ඇතැම් ගැබිනි කාන්තාවන් අඟුරු, මැටි වැනි දෑ ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන අතරම මේ සඳහා නිශ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි නමුත් හෝමෝන හා පරිවෘත්තීය වෙනස්කම් මීට හේතු වන බව විශ්වාස කෙරේ. යම් ගැබිනි මවක් මෙලෙස අහිතකර දේ ආහාරයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම අත්‍යවශ්‍ය වේ.

මල බද්ධය

ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනයේ බලපෑම මගින් ආහාර ජීර්ණ පද්ධතියේ සිනිඳු පේශී ඉහිල් වීම මෙයට බලාපාන අතර ප්‍රසාරණය වන ගර්භාෂය මගින් ඇතිවන තෙරපුමද මෙයට හේතු වේ. වැඩිපුර ජලය පානය කිරීම සමබල ආහාර වේලක් ලබාගැනීම මෙන්ම ආහාර වේලට තන්තු සහිත ආහාර වැඩිපුර එක් කරගනිමින් මල බද්ධ තත්ත්වය අවම කරගැනීමට උනන්දු වන්න.

කොන්දේ වේදනාව

ක්‍රමයෙන් ඇති වන බර වැඩිවීම හා ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස්වීමත් සමග දුර්වල වූ උදර පේශී ඇදීමකට ලක් වේ. එමගින් කොන්දේ වේදනාව ඇති වේ. උණුසුම් ජලයෙන් ඇඟ සේදීම හෝ වේදානාකාරී පෙදෙස සිසිල් හෝ උණුසුම් ජලයෙන් තැවීම/ගැබිනි මවට සුදුසු සම්බාහනයක් හෝ යෝගා ව්‍යායාමවල යෙදී මාංශ පේශීවලට අවශ්‍ය ව්‍යායාම ලබාගැනීම (සුදුසුකම් ඇති පුද්ගලයෙකුගේ උපදෙස් මත) යන ක්‍රම මගින් මේ තත්ත්වයට යම් සහනයක් ලබාගත හැකිය.

කෙණ්ඩා පෙරලීම

මෙම තත්ත්වය බොහෝ විට ඇති වන්නේ පාදයේ කෙණ්ඩා පේශියේය. මෙයට හේතුව නිවැරදිව සොයා නැතත් විටමින් B1 හා කැල්සියම් මට්ටම අඩුවීම නිසා යැයි විශ්වාස කෙරේ.

නිතර මුත්‍රා පිටවීම

විශාල වන ගර්භාෂය මගින් මුත්‍රාශ්‍රයට පීඩනයක් යෙදීමෙන් මෙම තත්ත්වය ඇති කරයි.

යෝනියේ තෙත් ස්වභාවය

ගැබිනි සමයේ සිරුරේ සිදුවන හෝමෝන වෙනසත් සමග යෝනිය මගින් අවර්ණ මෙන්ම දුර්ගන්දයකින් තොර ශ්‍රාවයන් පිටවේ. එහි වර්ණයක් හෝ දුගදක් හෝ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ක්ලාන්තය

ගැබිනි සමයේ මුල් කාලයේදී ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනයේ බලපෑමෙන් වාහිනි විස්තාරණය වීම නිසා මෙම තත්ත්වය ඇති වේ. ගැබිනි සමයේ අවසාන කාලයේදී විශාල වන ගර්භාෂය මගින් ඇති වන පීඩනය නිසා හෘදයට රුධිරය සැපයීමේ වේගය අඩු වීම මෙයට හේතුවයි.

නහර ගැට ගැසීම

ශිරාවල පවතින සිනිඳු පේශී ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් ඉහිල් වීම නිසා රුධිරගමනය මන්දගාමී වී විස්තාරණය වූ වාහිනී කපාටවල කාර්යක්‍ෂමතාව අඩු වීම නහර ගැට ගැසීමට හේතු වේ.

සම මත කැසීම

ගැබිනි බව හා සම්බන්ධ හෝමෝන මගින් අක්මාවට ඇති කරන බලපෑම නිසා එහි බිලිරුබින් මට්ටම ඉහළ යාමෙන් මේ තත්ත්වය ඇති වේ.

නින්ද නොයාම

විටින් විට මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම, කෙණ්ඩා පෙරලීම මෙන්ම විශාල උදරය ඇතුළු වෙනත් අපහසුතා නිසාත් සුව නින්ද ඔබට අහිමි විය හැකිය. මිහිරි සංගීතයට සවන් දීම, පොත්පත් කියවීම, ආගමික වතාවත්වල යෙදීම වැනි දේ වෙත යොමු වී සන්සුන් වීමට උත්සාහ කරන්න. රාත්‍රියේ සම්පූර්ණ නින්දක් ලබා ගත නොහැකි වුවහොත් දිවා කාලයේ හෝ කෙටි නින්දක් ලබාගැනීමට උත්සාහ කරන්න.

තෙහෙට්ටුව

ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් සිරුර එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.

 

කුස තුළ සිටින දරුවාගේ නිරෝගී වර්ධනයට ජාන සහ සෛල යන හේතු වලට අමතරව, මවගේ පෝෂණය, හැසිරීම, සිතුම් පැතුම්, මවට ඇති රැකවරණය වැනි බොහෝ දේ බලපාන නිසා, ඔබත් නිවැරදි දැනුමක් ලබාගන්න මේ videoව බලන්න.

Your Name

Email

Comment

0 Comments