Enter Your Key Word

ඩිම්බ පිටවීම සහ සංසේචනය සිදුවන්නේ මෙන්න මේ විදියටයි

How Ovulation and Fertilization occur

කාන්තාවකගේ ඔසප් චක්‍රය ආරම්භ වීම යනු දරු පිළිසිද ගැනීමක් වෙනුවෙන් ගර්භාෂය සූදානම් වීමයි. පෙර ලිපිවල සඳහන් කළ පරිදි ඩිම්බ මේරීම ඇරඹෙන්නේ ඔසප් චක්‍රයේ පළමුවෙන්ම රුධිර වහනය සිදුවන දිනයේ සිටයි. චක්‍රයක් ලෙස සිදු වෙන මේ ක්‍රියාවලියට අනුව ගත් කළ සාමාන්‍යයෙන් ඔසප් ආරම්භ වී දින 14කින් ඩිම්බ මෝචනය සිදු වේ. මේ එළඹ ඇත්තේ සරු කාල සීමාවයි. එනම් උපරිම සරුකාලය ලෙස 12 වන දිනයේ සිට 14 වන දිනය තෙක් කාලය (මෙය සෑම කාන්තාවකටම පොදු වුවද ඉන් වෙනස් වන අවස්ථාද ඇත) දැක්විය හැකිය. දරුවෙකු පිළිසිඳ ගැනීමට ලිංගිකව එකතු විය යුතු කාලය එයයි.

මුදා හැරුණු ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් ඇරඹෙන පැලෝපීය නාලයේ පූනීලය වැනි කොටසට අවතීර්ණය වේ. පැලෝපීය නාල ඉතා සිහින් ඒවා වේ. ඒවා තුළ සියුම් කෙඳි පිහිටයි. මෙම කෙඳි ගර්භාෂය දෙසට ඩිම්බය තල්ලු වන අයුරින් චලනය වේ.

පැලෝපීය නාලය තුළ ඩිම්බයක් පවතින්නේ පැය 48 ක කාලයකි. නමුත් එය සංසේචනය විය හැකි තත්ත්වයේ පවතින්නේ ඉන් හරි අඩකට අඩු කාලයකි. ශුක්‍රාණුවකට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ සජීවීව සිටිය හැකි උපරිම කාලය පැය 72 කි.

ශුක්‍ර තරලය යෝනී මාර්ගය තුළට මුදාහල පසුව ශුක්‍රාණු වලිගය ආධාරයෙන් ගැබ්ගෙල (Cervia) හරහා ගර්භාෂයට ඇතුළු වේ. යෝනි මාර්ගය තුළ තැන්පත් වන මිලියන 400 කට අධික ශුක්‍රාණු සමූහය අතරින් ගර්භාෂයට පිවිසෙන්නේ දස දහස් ගණනකි. ඒ අතරින් ගර්භාෂය ද පසුකොට පැලෝපීය නාලය තුළට පිවිසෙන්නේ සිය ගණනකි. මෙම දුෂ්කර ගමනට පැය 2 - 7 ක කාලයක් ගත වේ. ශුක්‍රාණු පැලෝපීය නාලය තුළට එන විට ඩිම්බයක් තිබුණේ නම් මෙම ශුක්‍රාණු එකක් පමණක් ඩිම්බයේ පිටත පටලය සිදුරු කරමින් එය තුළට ඇතුළු වේ. එය සංසේචනය ලෙස (Fertilization) හඳුන්වයි. මෙය සිදුවන්නේ පැලෝපීය නාලයේ මැද කොටසේදී ය.

ඩිම්බය සංසේචනය වූ විට එහි න්‍යෂ්ටි දෙකෙන් එකක් ශුක්‍රාණුවේ න්‍යෂ්ටිය වන අතර අනෙක ඩිම්බයේ න්‍යෂ්ටියයි. මෙම දෙකේම වර්ණදේහ 23 එකිනෙකාට එකතු වී වර්ණ දේහ යුගල් 23 ක් බවට පත් වේ. මේ සඳහා ගත වන්නේ පැය 12 කට අඩු කාලයකි. සංසේචිත ඩිම්බය හෙවත් යුක්තානුව විභේදනයට ලක්වෙමින් කළලයක් බවට පත් වී වර්ධනය වේ. ඉන් පසුව පෙරළෙමින් ගර්භාෂය වෙත යන කළලය දින හතකට පසුව ගර්භාෂ බිත්තියේ ඇලී සති 38ක් පුරා දරුවෙකු ලෙස වැඩේ. ගැබ් ගත් දිනය තීරණය කිරීමේදී ගණනය සිදු කෙරෙන්නේ අවසාන වරට ඔසප් ආරම්භ වුණු දිනයේ සිටයි. එවිට ඔබ ගැබ් ගෙන නොමැත. නමුත් අවසන් වරට ඔසප් ඇති වන්නේ ගැබ් ගැනීමට සති දෙකකට පෙරයි.

Your Name

Email

Comment

0 Comments