Enter Your Key Word

ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැබ් ගැනීමට සුදුසු ද?

How to get pregnant

මාතෘත්වය යනු කාන්තාවකට තම ජීවිතයේ ලැබිය හැකි ඉතාම උත්තරීතර පදවියක් නිසාම එය රැකගැනීම අප සැමගේ වගකීමක්. ආරක්ෂිත මාතෘත්වය නිවහනකට සමාන කළහොත් එහි මුල් කුලුනු වන්නේ ගැබිනි මවට ලැබිය යුතු මූලික රැකවරණයත්, අවදානම් මාතෘ රැකවරණයත්, පවුල් සැලසුමත් යන ඒවාය. මෙම පූර්ව ප්‍රසව දැනුවත් කිරීමේ අරමුණු වන්නේ,

  • ගැබිනි කාලයේදී මවගේ සෞඛ්‍යය ආරක්‍ෂාව පවත්වා ගැනීම හා වැඩි දියුණු කිරීම.
  • අවදානම් සහිත මව්වරු හඳුනා ගැනීම සහ විශේෂ අවධානය යොමු කිරීම.
  • සංකූලතා වළක්වා ගැනීමට අදාල ක්‍රියාමාර්ග ගැනීම.
  • ගැබිනි බව පිළිබඳ බිය, කාංසාව ඉවත් කිරීම.
  • මාතෘ මරණ, ළදරු මරණ හා රෝගී වීම් අවම කිරීම.
  • පෝෂණය, පෞද්ගලික පවිත්‍රතාවය පිළිබඳව දැනුවත් කිරීම ය.

මවක් වීමට කාන්තාවක් ශාරීරිකව මෙන්ම මානසිකවත් සූදානම් විය යුතු අතරම කාන්තාවක් ගැබ් ගැනීමට සුදුසු, සංකූලතා අවම වයස් සීමාව අවුරුදු 21 - 35ත් අතර කාලය බව වෛද්‍යවරුන්ගේ අදහසයි.

විවාහ දිවියට එළැඹි ඔබ, ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය සේවා නිළධාරිනිය යටතේ ලියාපදිංචි විය යුතු අතරම නව දිවි සුව සත්කාරක වැඩ සටහනට යොමු වී දැනුවත් වීම, ගැටලු අවම වූ ගැබිනි සමයක් උදා කරගැනීමට වඩාත් වැදගත් වනු ඇත.

දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳව ඔබ බලාපොරොත්තුවක් ඇත්නම් ගැබ් ගැනීමට පෙර ඔබේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එසේම ඒවා පාලනය කරගැනීමට කටයුතු යෙදිය යුතු අතරම පාලනය වන තෙක් ගැබ් ගැනීම පමා කළ යුතුය.

ගැබ් ගැනීමට පෙර පාලනය කළ යුතු රෝග තත්ත්ව

  • මුත්‍රා ආසාදන
  • අධික රුධිර පීඩනය
  • දියවැඩියාව
  • ඇඳුම
  • අපස්මාරය
  • නීරක්තිය
  • මානසික රෝග
  • හෘද රෝග

 ගැබ් ගැනීමට පෙර ඔබේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරගන්න

  • රුධිර ගණය Rh -/Rh + ද යන වග තහවුරු කරගන්න.
  • ඔබ නිසි බර මට්ටමේ සිටිනවා ද යන්න පිළිබඳව දැනුවත් වෙන්න.
  • ගැබ් ගැනීමට පෙර ඔබේ දන්ත සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න.
  • මානසික ආතතිය අවම කරගන්න.
  • විවේකය අත්‍යවශ්‍ය බව සිහි තබාගන්න.
  • රූමැටික හෝ සංජානනීය හෘදයාබාධ, දියවැඩියාව, අධි බර, අධි රුධිර පීඩනය, වකුගඩු ආශ්‍රිත රෝගාබාධ, අපස්මාරය, තැලසීමියා වැනි මෙතෙක් හඳුනා නොගත් රෝග තත්ත්ව හඳුනා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුවන්න. අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
  • රුබෙල්ලා එන්නත ලබාගන්න (ඔබ විවාහයට පෙර ලබා නොගත්තේ නම් ගැබ් ගැනීමට මාස තුනකට පෙර එය ලබා ගැනීමට වග බලාගන්න)
  • වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ජානමය සංකූලතා පරීක්ෂණයට යොමුවන්න.
  • නීරක්තිය වැනි තත්ත්වයක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
  • තෛරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.
  • සමබල ආහාර රටාවකට හුරු වෙන්න.
  • සුදුසුකම් ඇති අයෙකු යටතේ ශාරීරික ව්‍යායාමවල යෙදෙන්න.
  • වෛද්‍ය නිර්දේශයට අනුව අවශ්‍ය විටමින සහ ෆෝලික් අම්ල පෙත්ත ලබාගන්න.
  • ඍජුව හෝ වක්‍රව දුම්බීම, ඇල්කොහොල් භාවිතය ආදිය සම්පූර්ණයෙන්ම අතහරින්න.
  • වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේ ඖෂධ ලබා ගැනීමෙන් වළකින්න.

දරුවෙකු වෙනුවෙන් පැතුම් පතන සෑම කාන්තාවක්ම ගැබ් ගැනීමට පෙර තම සෞඛ්‍යය තත්ත්වය ගැබ් ගැනීමට සුදුසු තත්ත්වයේ පවතිනවා ද යන්න තහවුරු කරගැනීම වැදගත් වන්නේ එය සංකූලතා අවම ප්‍රසූතියකට මග පාදන බැවිනි. පූර්ව ගර්භණී සායන හරහා මවගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කෙරෙන අතරම යම් හෙයකින් ඔබ ගැබ් ගැනීමට සුදුසු නොවන්නේ නම් ගැබ් ගැනීමට සුදුසු තත්ත්වයට පත්වන තුරු අවශ්‍ය ආරක්ෂිත උපත් පාලන ක්‍රම හඳුන්වා දීම ද සායන මගින් හෝ ඔබේ වෛද්‍යවරයා විසින් සිදු කරයි.

Your Name

Email

Comment

0 Comments