Enter Your Key Word

මව්කිරි දීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වෙමු

Breastfeeding baby

අලුත උපන් කිරිකැටියෙකුට මව්කිරි දෙන පිළිවෙළ ගැන කොපමණ දැනුවත් වුවත් බොහෝමයක් මව්වරුන් ඒ ගැන කණස්සල්ලෙන් පසුවනවා. ඒ තමන්ගේ පැටියාට හරියාකාරව අවශ්‍ය තරමට කිරි පෙවෙනවා ද කියන ගැටලුව අම්මලාගේ හිතට වද දෙන නිසයි. සාමාන්‍යයෙන් අලුත උපන් කිරිකැටියෙකු මව්කිරි උරා බීමේදී පළමු විනාඩි දහය තුළ තමන්ට අවශ්‍ය කිරි ප්‍රමාණයයෙන් 85% ක් විතර උරා බොන්න සමත් වෙනවා. ඒ වෙලාවට පැටියා වේගයෙන් හා ගැඹුරින් කිරි උරා බොන බව මවට දැනෙනවා සේම කිරි ගිලින හඬත් මවට ඇහෙනවා. කිරි උරා බීමට ගතවන කාලය සාමාන්‍යයෙන් විනාඩි 15-20 පමණ කාලයක් ලෙස දැක්විය හැකි වුවත් ඒක වෙනස් වෙන්න බැරි නැහැ.

කිරි බොන අතරතුර පැටියා නින්දට වැටෙනවා නම් කටට කිරි ගලා ඒම අවම වෙලා පැටියා නින්දට වැටෙනවා විය හැකියි. 

පැටියාගේ කටට කිරි ගලා ඒම අවම වෙන හේතු ලෙස,

දරුවා තන පුඩුව පමණක් ඉරීම.

පියයුරේ කිරි ප්‍රමාණය  ආරම්භයට සාපේක්‍ෂව අඩු වීම යන තත්ත්ව දැක්විය හැකියි. මේ අවස්ථාවේදී මව්වරුන් බොහොම සැලකිලිමත්ව මෙන්ම අවධානයෙන් කටයුතු කළ යුතු අතරම දරුවාට ගුඩුස් යවා අනෙක් පියයුරට මාරු කිරීම සිදුකළ යුතුයි.

සෑම කිරි වේලකදීම අම්මලා දෙවන පියයුරෙනුත් පැටියට කිරිදීම වැදගත්ද?

කුස පිරී තිබුණහොත් පළමු පියයුරෙන් තරම් දෙවන පියයුරෙන් පැටියා කිරි උරා නොබිය හැකියි. ඇතැම් විට ඒ කුස පිරී ඇති නිසා හෝ පැටියාට ගිලුණු වාතය නිසි ලෙස පිට නොවීම නිසා හෝ විය හැකියි. ඒ නිසා දෙවන පියයුරට මාරු කිරීමේදී හදිසියේ මාරු ‍කිරීම නොකළ යුතුයි. ඒ පියයුරක නිපදවෙන කිරි වල පෝෂක සියල්ල දරුවාට ලැබිය යුතු නිසයි.

කිරි වේලක මුලින්ම එන කිරි

ජලය ප්‍රමාණය වැඩියි. ජලය පැටියාට අත්‍යවශ්‍ය වන අතරම ජලයේ දියවෙන විටමින් වර්ග ඇතුළු පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් එහි අන්තර්ගතයි. මුලින්ම එන කිරි පැටියාගේ නිරෝගීමත් වර්ධනයට උදව් වෙනවා.

කිරි වේලක පසුවට එන කිරි

ප්‍රෝටීන් හා මේදය වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයි. මාංශ පේශී වර්ධනයට වගේම පැටියාගේ මොළේ වර්ධනයටත් අත්‍යවශ්‍යයි. බර වැඩිවීමටත් උපකාරී වේ.

මෙන්න මේ කරුණු හේතුවෙන් දෙවන පියයුරට මාරු කිරීමට පෙර පළමු පියයුරෙන් හොඳින් කිරි උරා බී ඇත්ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

කිරි වේලෙන් පසුව පැටියා සෑහීමට පත්ව ඇත් ද?

පැටියා වේදනාවෙන් ඇඹරෙමින් අපහසුවකින් සිටින බව පෙන්නුම් කරයි නම් ඇතැම් විට කිරි උරා බීමේදී ආමාශයට ඇතුළු වූ වාතය හරියාකාරව පිට නොවීම නිසා විය හැකියි. මෙවැනි අවස්ථාවක නිසි ආකාරයෙන් ගුඩුස් යැවීම සිදු කළ යුතුයි. ඒ පිළිබඳව පෙර ලිපි හරහා අප ඔබව දැනුවත් කර ඇත. කිරි බොන අතරේ පැටියා නින්දට වැටුණොත් පැත්තට හරවා කොට්ට නොතබා නිදි කරවන්න. මෙය ගුඩුස් යවන ‍ක්‍රමයක් නොවුණත් ඇතැම් විට ගුඩුස් නොයැවීම නිසා ඇති වන කිරි වමනය, කිරි හිරවීම, ශ්වසන අවයව වලට කිරි ඇතුළු වීම වැනි ළදරු මරණ වලට පවා හේතු විය හැකි අවදානම් තත්ත්ව වළක්වා ගැනීමට එය හේතුවක් වෙනවා.

Your Name

Email

Comment

0 Comments