Enter Your Key Word

කිරි උරන්න බැරි දරුවෙකු වෙනුවෙන් කිරි දොවා ගන්නේ මේ විදියටයි

Pumping Breast Milk Guide

මෙලොවට බිහිවන සෑම දරුවෙකුගේම ප්‍රධාන ආහාරය වෙන්නේ මව්කිරි. නමුත් යම් යම් හේතු මත මවගෙන් කිරි උරා බිමට නොහැකි වන අවස්ථාවන්ටත් මුහුණ දීමට සිදු විය හැකියි. එවැනි අවස්ථා ලෙස,

  • පියයුරේ සහ තන පුඩුවේ ස්වභාවයේ ගැටලු
  • දරුවාගේ රෝගී තත්ත්වයක් හෝ නොමේරූ තත්ත්වයක් මත
  • මුල් දින කිහිපය තුළදී ශ‍්‍රාවය වන කොලෙස්ට‍්‍රම් දියාරු බවෙන් අඩු වීම නිසා
  • දරුවා හෝ මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවීම
  • කිරි නිපදවෙන ප්‍රමාණය වැඩි වීම නිසා පියයුර තුළ කිරි තදවීම
  • ළදරුවාගේ බර වැඩිවීමක් නොපෙන්වන විට
  • කිරි නිපද වීම අඩු වූ විට (දොවා ගත යුත්තේ එක් කිරි වේලකට පසුව දරුවා පියයුරේ ඉතුරු කරන කිරි ප්‍රමාණයයි)
  • පැලුණු තන පුඩු සුව වෙන තුරු හෝ කිරි නාල අවහිර වීම නිසා ඇතිවන ගැටිත්තක් ඇත්නම් එය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමට
  • මව රැකියාවට යාම ආරම්භ කරන විට

මෙවැනි තත්ත්ව වලදී කිරි දොවා දරුවා පෝෂණය කිරීමට සිදුවනු ඇත. දරුවාට කිරි උරා බිමට හැකි වන තුරු කිරි නිෂ්පාදනය පවත්වා ගැනීමටත් කිරි දෙවීම උපකාරී වේ. වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සහයෝගයෙන් කිරි දොවා ගැනීම පිළිබඳව ඔබට දැනුවත් විය හැකියි. මෙය ආරම්භයේදී ඉතා අපහසු කටයුත්තක් සේ ඔබට දැනුනද නිවැරදි ලෙස පුහුණු වීමෙන් පසු ඉතා පහසු කටයුත්තක් වනු ඇත. විනාඩි 20ක් හෝ 25ක් වැනි කාල සීමාවක් මේ සඳහා වෙන් කළ යුතුවන අතරම එසේ දොවා ගත් කිරි කාමර උෂ්ණත්වයේ පැය හයක කාලයක්ද ශීතකරණයේ මැද කොටසේ පැය 24ක්ද අධිශීතකරණයේ මාස තුනක පමණ කාලයක්ද සුරක්‍ෂිත තබා ගත හැකියි.

අතින් කිරි දොවා ගැනීමේදී කිරි එක්කර ගැනීම සඳහා පියනක් සහිත කට පළල මල නොබැදෙන වානේ කෝප්පයක් විනාඩි 10ක් හෝ 15ක් උතුරන වතුරේ තම්බා ගත යුතුය. නමුත් කිරි එකතු කිරීමට ප‍්‍රථම භාජනය හොඳින් සිහිල් විය යුත්තේ රස්නය නිසා කිරිවල ඇති සෛල විනාශ වන නිසාය.

අවශ්‍ය කිරි ප‍්‍රමාණය දරුවාගෙන් දරුවාට වෙනස් වන අතරම එක කිරි වේලක් සඳහා එක භාජනය බැගින් තබා ගැනීම ඔබට පහසුවක් වනු ඇත. මුල් දින කිහිපය තුළ ශ්‍රාවය වන්නේ කොලෙස්ට‍්‍රම් බිංදු කිහිපයක් පමණක් නිසා මේ සඳහා කුඩා කෝප්පයක් හෝ හැන්දක් වුවද භාවිත කළ හැක.

කිරි දොවා ගැනීමේ දී

  • දෑත් හොඳින් පිරිසිදු කරගන්න.
  • සුව පහසු ඉරියව්වකින් පියයුර පහතට එල්ලෙන සේ මදක් ඉදිරියට නැමී පුටුවක වාඩිවෙන්න. (එය කිරි ගලා ඒමට පහසු කරයි)
  • බඳුන පියයුර ආසන්නයට ගෙන එන්න.

දැන් කිරි දොවමු

  • මවගේ අත්ල පියයුර යටට තබාගන්න.
  • මහපටැඟිල්ල ඇරියෝලාවට (පියයුරේ කළු පැහැ කොටස) මදක් පිටතින් උඩටද අනෙක් ඇඟිලි පියයුරේ යටින්ද තබා ගන්න.
  • ක්‍ෂිරධර කෝඨරක තෙරපන්න. (පියයුර උඩට පහතට ඇදීම නොකළ යුතුයි) එවිට පළමුවෙන් කිරි බින්දු ශ්‍රාවය වී පසුව කිරි හොඳින් ගලා ඒමට පටන් ගනී.
  • පළමු පියයුරේ කිරි අඩු වන විට අනෙක් පියයුරට මාරුවෙන්න. එසේ මාරුවෙමින් අවශ්‍ය කිරි ප්‍රමාණය දොවා ගන්න.
  • කිරි දෙවීමෙන් පසුව වතුර වීදුරු 2-3 ක් පානය කරන්න.
  • ඔබට ඇති කාලය සීමා සහිත නම්/කාර්ය බහුල නම් කිරි දෙවීමේ උපකරණයක් යොදා ගන්න.

ලිපියේ මුල සඳහන් කළ කිසිදු හේතුවක් කිරි කැටියෙකුට තම මවගේ කිරි අහිමි කිරීමට හේතුවක් නොවේ. නිසි ලෙස කාලය කළමනාකරණය කරගනිමින් ඉවසීමෙන් නිදහසේ සීරුවෙන් මේ කාර්ය සිදු කළ යුතුය. මේ සඳහා ස්වාමියාගේ මෙන්ම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේද සහයෝගය ලබාගන්න. මනස නිරවුල්ව පවත්වා ගන්න.

Your Name

Email

Comment

0 Comments