Enter Your Key Word

පුංචි පැටියාගේ දවස ගෙවෙන හැටි

Mom play with newborn baby

"චූටියාගේ මුල්ම උපන්දිනයට තව දවස් දෙකයි. ඉස්සර වගේ නොවෙයි. ඔන්න අද ඇවිදගෙන ආවේ කකුල් දෙක සමබරව තබා ගෙනයි. මට හරිම සතුටුයි. පුංචි පාද පොඩි වලට ඇවිදගෙන යන හයිය දැන් ඇවිත්. උදෙන්ම පැටියාගේ බත් ටික හැදුවා. අද බතට ගොටුකොළ ටිකක් එකතු කළා. වට්ටක්කා කෑල්ලකුත් දැම්මා. එක එක දවසට වෙනස් විදිහට දුන්නොත් කන්න ආසා වෙනවානේ. මෙයාගේ දිව රස හොඳට දන්නවා. හැමදාම අලුත් දෙයක් ගැන තමයි බලා ඉන්නේ".

පෙ.ව 9.00ට

අද පැටියා එයාගේ බෝලයට ටිකක් පය බර කරලා ගැහුවා. බෝලය ඈතට ගියා. පැටියා නිකං හිටියේ නැහැ. ආයේම දුවලා ගිහින් බෝලයට ගැහුවා. එයාට හරිම සතුටුයි. බෝලය යනවා. එයත් පස්සෙන් යනවා. වෙනදාට වඩා පැටියා ඉදිරියෙන් කියලා එයාටත් හිතෙනවා ඇති. ඉස්සර අඩි දෙක තුනක් යද්දී වාරු නැතුව වැටුන පැටියා දැන් කාගේවත් වාරුවක් නැතුව බොහොම ආඩම්බරෙන් ඇවිදිනවා. ඉස්සර අම්මා, තාත්තා පැටියාගේ අත් දෙක දෙපැත්තෙන් අල්ලා ගෙන පඩිපෙළ නැග්ගුවත් දැන් තනියම පඩි‍පෙළ දිගේ නගින්න පැටියාට පුළුවනි. ඒ විතරක්යැ, පුටු උඩ නගින්න රුසියා. කොච්චරවත් බලන්නේ උසින් තිබෙන පුටුවකට, බංකුවකට එහෙමත් නැත්නම් ජනේලයක් උඩට නගින්නයි. ඉතින් අම්මාට නිතරම පැටියා පස්සෙන්ම ඉන්න වෙලා.

“මගේ පුංචි කකුල්වලින් අඩියක් දෙකක් ඉදිරියට යන්න පුළුවනි. හැබැයි මටත් බයයි. මොකද හාපුරා කියලා අඩියක් තියනවානේ. හැබැයි අත දෙන්න කෙනෙක් හිටියොත් ටිකක් දුර යන්නත් බැරි කමක් නැහැ. තනියම නම් තවම අඩියයි. දෙකයි. මාත් දන්නේම නෑ මං වැටිලා” පුංචි පැටියට මෙහෙම හිතෙනවාත් ඇති නේද?

පෙ.ව.10.00

පැටියාට දැන් තිබහත් ඇති. අද හොඳට අව්ව පායලා තියෙන නිසා දොඩම් වීදුරුවක් දෙන්න පුළුවනි. දොඩම් රසට චූටියා හරිම කැමැතියි. කිසිම අරගලයක් නැහැ. අම්මා පැටියාගේ කැමැත්ත අකැමැත්ත හොඳට දන්නවා. අම්මලා බලන්නේ හොඳම දේ දරුවන්ට දෙන්නයි. තවම අම්මා කියන්න අමාරු වුනත් මා.. මා.. කියන්න පුළුවනි. හැබැයි පැටියාගේ භාෂාව අම්මා දන්නවා. මං මා..මා කියන්නේ අම්මාට. සී.. කියන්නේ සීයාට. ඒවා ඉතින් අපිට තේරෙනවා. පුතාගේ තාත්තාට හරිම දුකයි. තවම පැටියාගේ කටින් තා..ත්..තා කියන වචනය පිට වුනේ නැහැනේ. මම ඒත් කිව්වා කලබල වෙන්න එපා, හිමින් සැරේ පැටියා ඔයාටත් ආමන්ත්‍රණය කරාවි කියලා.

පෙ.ව 11.00

අද පැටියාගේ ක්ලිනික් දවස. බර කිරන්න ක්ලිනික් ගියා .බර ටිකක් අඩු වෙලා. දැන් ඉතින් ඇවිදිනවා. දුවනවා. පනිනවා. ඉතින් පැටියාගේ ශක්තිය වැය වෙන නිසා බර අඩුවීම සාමාන්‍ය දෙයක්ලු. ඒත් මට නම් හරිම දුකයි. මම පැටියා වඩාගෙන ගෙදර ආවා. දැන් බත් ටිකක් කනවා. බර නම් වැඩි වේවි. ඒත් කවන්න ගියාම පුදුම යුද්ධයක්. බර අඩු නිසා අද ත්‍රිපෝෂත් ලැබුණා.

ප.ව 1.00

දවල්ට බත් කෑව වෙලාවේ ඉදන්ම බිල්ඩින් බ්ලොක්ස් එක්ක වැඩ. ඒවා පාට පාට හින්දා වගේම පැටියාගේ අතට පහසුවෙන් හසු වෙන නිසාත් සෙල්ලම් කරන්න තනියෙන් වුණත් පුළුවනි. දැන් තියෙන සෙල්ලම් බඩුවල තිබෙන වර්ණ සෞඛ්‍යයට අහිතකරයි.

ප.ව 3.00

පැටියා නිතරම කට විකනවා. බඩත් බුරුලෙනුයි ගියේ. මං ළඟට අරගෙන බැලුවා. තවත් පුංචි දත් දෙකක් මුදු වෙනවා. මේකයි හොරේ... කන්නත් අමාරු ඇති. ඔහොම තමයි පැටියෝ ලෙහෙසි නෑ වැඩෙන එකත්. මට පාසල් යන කාලයේ කියවපු කවියක් මතක් වුණා. ‘‘කිරෙන් සිනිදු වුණු සුදු පුංචි දත් දෙකක්... මගේ පැටියාගේ දත් දෙකත් ඒ වගෙයි නේ ද කියල මට හිතුනා.

ප.ව 4.00

නිදාගෙන හිටිය පැටියා අවදි වුණා. ඇඟ පත හෝදලා සුප් එක දුන්නා. සේරම බ්ලෙන්ඩ් කළ නිසා පැටියාට බොන්නත් ලේසියි නේ. බිස්කට් එකකුත් දුන්නා. අනේ හරිම අමාරුවෙන් බිස්කට් එකෙන් බාගයක් කෑවා. හවස හයට විතර පස්සේ මම පැටියා වඩාගෙන මිදුලට ගියා. කුරුල්ලෝ ආපහු එයාලගේ ගෙවල්වලට යනවා. මම පැටියාට පෙන්නුවා. ලස්සන වලාකුළු අහසේ පාවෙනවා. මේවා පෙන්නුවාම පැටියා බොහොම ආසාවෙන් බලා ගෙන ඉන්නවා. හිටි ගමන් කුරුල්ලෙක් දැක්කාම අත දිග ඇරලා දැන් මටත් පෙන්නනවා. කුරුල්ලා කෑ ගහන හැටි ඇහුවාම පුංචි කටින් සද්ද නගන්නත් දැන් අපේ පැටියා දන්නවා.

ප.ව. 7.00

රෑට බතට දැන් අපේ පැටියා සූදානම්. හබුං කටවල් දෙක තුනක් කැවුවා. කටේ දත් මුදු වෙන නිසා ටිකක් අමාරුවෙනුයි කෑවේ.

තාත්තාත් ගෙදරට ආවා. පැටියාට හරි සතුටුයි. අත් දෙක විදහා ගෙන තාත්තා අතට පනින්න ලෑස්තියි. ඒත් උදේ ඉදන් මග තොට ඇවිදලා ඇවිත් අත පය හෝදා ගන්නේ නැතුව පැටියා වඩා ගන්නේ කොහොමද..? “ටිකක් ඉවසාගෙන ඉන්න මයෙ පැටියෝ...” තාත්තා බොහොම ආදරයෙන් කියලා ඇගපත සෝදා ගන්න ගියා.

ප.ව 8.00

පුංචි ඇස් දෙකෙන් නිදා වැටෙනවා. එහෙනම් අපි යමු දොයිය බබා වෙන්න..මං පැටියා එක්ක ඇඳට ගියා.

Your Name

Email

Comment

0 Comments