Enter Your Key Word

ගැබිනි සමය සැනසිල්ලේ ගත කරන්න

How to sleep during pregnancy

කුස පිළිසිඳ පුංචි පැටියා ඔබේ දෝතට ලැබෙන තුරු ගමන් මගේ ඔබට ලැබිය යුත්තේ නිවැරදිම දේ බව හොඳින් අවබෝධ කර ගත යුතු කරුණකි. එසේම මව් පදවිය වෙනුවෙන් ඔබ ශාරීරිකව මෙන්ම මානසිකවත් ප්‍රායෝගිකවත් සූදානම් වීම ඉතා වැදගත් වේ.

පළමු ගැබ් ගැනීම මෙන්ම දෙවන, තෙවන ගැබ් ගැනීම්වලදී වුවත් වඩා වැදගත් වන්නේ ගැබිනි මවක් ඉතා සැලකිලිමත්ව ප්‍රසූතිය දක්වා ගමන් කිරීමයි. මෙම කාලය තුළ ශාරීරික අපහසුතා පැවතීම සාමාන්‍ය ස්වභාවය වුවත් ගැටලු අවම කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරමු.

සතුටින් ඉන්න

වටපිටාවෙන් ඔබට ලැබෙන බොහොමයක් උපදෙස් අවවාද අදහස් ඇතැම් විට ඔබේ සිත පීඩාවට පත් කරනවා විය හැකියි. සැමවිටම ඔබ සැලකිලිමත් විය යුත්තේ යමෙක් ඔබට ලබා දෙන උපදෙස් හෝ තොරතුරුවල විශ්වාසනීයත්ව සම්බන්ධවයි. අන්න ඒ නිසාම වෘත්තීමය සුදුසුකම් නොමැති අයගේ උපදෙස් ක්‍රියාත්මක කිරීම හෝ සිතට ගැනීම අනවශ්‍ය පීඩාවක් ඔබේ සිතට එක්කරන්නක් බව අමතක කරන්න එපා.

සැමවිටම ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා, පවුලේ වෛද්‍යවරයා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යන අය කෙරේ විශ්වාසය තබා කටයුතු කරන්නට වග බලා ගන්න. මෙය ගැබිනි සමයේ ඔබේ සිතේ ඇති වන කණස්සලු ස්වභාවය අවම කිරීමට හැකි හොඳ ක්‍රමයක් බව අමතක කරන්නට එපා.

සුවදායී නින්දක් ලබන්න

මෙතැන් පටන් දිනෙන් දින ඔබේ උදරය ක්‍රමයෙන් විශාල වන බව ඔබ දන්නා කරුණක්. උදරය විශාල වීමත් සමගම ඇති වන හුස්ම ගැනීමේ අපහසුතා, සුව පහසු ඉරියව්වක් නොමැතිකම වැනි හේතු මත ඔබේ සුව නින්ද අහිමි විය හැකියි.

හුස්ම ගැනීමේ අපහසුතාවය යම්තාක් දුරකට හෝ මඟහරවා ගැනීම සඳහා හිසට කොට්ට කිහිපයක් යොදාගෙන වම් ඇලයට හැරී දෙපා අතර කොට්ටයක් රඳවා ගැනීමෙන් පහසු ඉරියව්වක් සකස් කර ගැනීමට ඔබ හැකි වනු ඇත. එසේම රාත්‍රී වන විට දිවා කාලයේ තරම් දියර වර්ග ලබා නොගැනීමෙන් නින්දේදී නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය යම්තාක් දුරට අවම කරගත හැකි වනු ඇත.

තේ, කෝපි වැනි පාන වර්ග නිදිමත නැති කරවන බැවින් රාත්‍රියේදී එවන් දේ පානය කිරීමෙන් වැළකීම සුදුසුය.

ඔබ යම් වේදනාවකින් පෙලෙනවා නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට අවශ්‍ය වේදනා නාශක වර්ගයක් ලබා ගන්න. වෛද්‍යවරයා ඔබට ලබාදෙන්නේ ඔබේ කුසේ ඇති දැඩි වන පුංචි පැටියාට අහිතකර නොවන ඖෂධ වර්ග පමණි. ඒ නිසා වේදනාවෙන් නිදිවර්ජිතව කාලය ගෙවා දමා පසු දිනට ප්‍රබෝධමත් බවකින් තොරව පිය නඟනවාට වඩා යම් පිළියමක් යෙදීම සුදුසු බව වටහා ගන්න.

නින්දට පෙර කිරි වීදුරුවක් පානය කළ හැකි නම් එහි අඩංගු ලැක්ටෝස් (ලැක්ටෝස් නුසුදුසු නම් සෝයා කිරි ලබාගත හැකිය) මගින් ශරීරයේ ඉන්සියුලින් උත්තේජනය කරන නිසා එමගින් කිරිවල අඩංගු Tryptophan වැනි ප්‍රෝටීන් කාණ්ඩ මොළය වෙත ඇතුළු වී ඔබට සුව නින්දට මග සලසයි.

දිවා කාලයේදීත් ඇඳ මත අනවශ්‍ය ලෙස වැතිර සිටීමෙන් වළකින්න. දිවා කාලයේදී පරිගණක භාවිතයට හෝ රූපවාහිනිය නැරඹීමට වුවද ඇඳට යාමෙන් වළකින්න. දිවා කාලයේ නින්ද රාත්‍රී කාලයේ ඔබේ සුව නින්ද අහිමි කරනු ඇත.

උඩුබැලි අතට නිදන විට දරුවා වෙත මෙන්ම මවගේ හෘදය වෙත රුධිර සැපයුමට (වැදෑමහ වෙත වැඩි තෙරපුමක් ඇති වී) බාධා විය හැකිය. ඒ නිසා වම් ඇලයට හැරී නිදා ගැනීම වඩාත් සුදුසුය. එසේම නිදන කාමරය තුළ අඳුරු, සිසිල්, නිශ්ශබ්ද පරිසරයක් ඇති කරගන්න.

නින්ද නොයෑම අසාමාන්‍ය යැයි හැඟේ නම් වෛද්‍යවරයා වෙත යොමු වී අවශ්‍ය උපදෙස් /ඖෂධ ලබාගන්න.

මානසික ආතතියෙන් මිදෙන්න

ගැබිනි සමය සතුටින් සැනසීමෙන් ගත කිරීම ඔබට මෙන්න පුංචි පැටියාටත් වැදගත්. මේ කාලය තුළ ඇතැම් කාන්තාවන්ට මානසික ආතතිය ඇති වීම ස්වභාවික තත්ත්වයක් වුවත් එය රුධිර පීඩනය ඉහළ යාමට හේතුවක් විය හැකි නිසා පාලනය කර ගැනීම වඩාත් උචිතය. ඒ සඳහා සෞම්‍ය සංගීතයට සවන් දීම, පොත්පත් කියවීම, පිරිත් ඇසීම වැනි දේ කළ හැකිය.

ගර්භණීභාවය ඔබේ ආදරයට බාධාවක් කර නොගන්න

ගැබිනි සමය පුරා ඔබට මුහුණ දීමට සිදුවන ශාරීරික, මානසික වෙනස්කම් නිසා ලිංගික ක්‍රියාකාරකම් කෙරේ අකමැත්තක් බියක් මෙන්ම අපහසුතාවයක් පැවතිය හැකිය. නමුත් එවැනි තත්ත්වයන් නොමැති කාන්තාවකට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට ගැබිනි බව බාධාවක් නොවේ.

ගැබිනි සමයේදී ලිංගිකව එක් වීම කලලයට අහිතකර බවට දක්වන අදහස්වල නිවැරදි බවක් නැත. ලිංගික සබඳතා පැවැත්වීම නුසුදුසු තත්ත්වයේ සිටින මව්වරුන්ද සිටිය හැකි අතරම ඒ පිළිබඳව ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු ඇත. ඔබ අවදානම් තත්ත්වයේ ගැබිනි මවක් නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

වටපිටාව සමග ගනු දෙනු පරිස්සමෙන්

  • වටපිටාවෙන් එන අදහස් විරෝධතා ඔබට අදාල කර නොගන්න. සැම විටම වෘත්තීමය සුදුසුකම් සපිරි අයගෙන් පමණක් උපදෙස් ලබාගන්න.
  • ඔ‍බේ ආත්ම ශක්තිය ගොඩනඟා ගනිමින් මානසිකවත් ශාරීරිකවත් ශක්තිමත් වෙන්න.
  • ගැබිනි සමයේ ඔබ ලබාගත යුතු සෞඛ්‍යය සේවාවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න.
  • මිත්‍යා විශ්වාස කෙරේ යොමු වී ඔබේ සුන්දර ගැබිනි සමය සංකීර්ණ තත්ත්වයකට පත්කර ගැනීමෙන් වළකින්න.
  • අලුත උපදින දරුවා සමග විශාල වෙනසකට ලක්වන ඔබේ ජීවිතයට සතුටින් මුහුණ දීමට සූදානම් වන්න.

Your Name

Email

Comment

0 Comments