Enter Your Key Word

පූර්ව ප්‍රසව සමයේ සිටම අලුත උපදින දරුවාට මව්කිරි දීමට සැරසෙමු

Prepare for Breastfeeding

පූර්ව ප්‍රසව සමයේ සිට මව්කිරි දීම සඳහා මව කායිකව හා මානසිකව සුදානම් කළ යුතුය. මෙහිදී සිදුකරන මානසික සූදානම විශේෂයෙන් වැදගත්වේ. ගර්භණී බව දැනගත් මොහොතේ සිටම පූර්ව ප්‍රසව සායනවලට සහභාගී වීම අනිවාර්යෙන් කළ යුතු අතර එම සායනවලදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මැදිහත්වීම තුළ මව්කිරි ලබාදීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මව්වරුන් මෙය ‘කිරි පංතිය’ ලෙස හඳුන්වයි. මෙම කිරි පංතිය මගින්,

  • මව් කිරි දීමෙන් මවට හා දරුවන්ට ඇතිවන වාසි.
  • මව්කිරි ලබාදෙන ආකාර.
  • ප්‍රසූතියෙන් පසුව සිදුවන දෑ.
  • මව්කිරි දෙන කාලය තුළ ලබාගත යුතු පෝෂණය.
  • මව්කිරි ලබාදෙන කාලයේ දී (විශේෂයෙන්ම පළමු මාස 03) නිවසේ අනෙක් සාමාජිකයන්ගේ දායකත්වය ලැබිය යුතු ආකාරය.
  • කෘතිම කිරි ලබාදීමෙන් දරුවාට ඇතිවන අවාසි යනාදිය පිළිබඳව දැනුවත් කිරීම් කරයි. මීට අමතරව එවැනි පංතිවල දී,
    • මව්කිරි ලබාදීම පිළිබඳව මීට පෙර ලද අත්දැකීම්.
    • හිතට වද දෙන යමක් ඇතිදැයි විමසීම.
    • පියයුරු පිළිබඳව ඇගේ සිතේ යම් කුතුහලයක් ඇත්නම් ඒවා පරීක්ෂා කිරීම.
    • ඇගේ ආත්ම ශක්තිය ගොඩ නගන්න. ඇයට උපකාර කිරීම සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, රෝහල් හෙද කාර්ය මණ්ඩල, පවතින බවට විශ්වාසය ගොඩ නගන්න.
    • දරුවා වෙනුවෙන් මවට එරෙන මුල්කිරි, කොලේස්ට්‍රම්වල අවශ්‍යතාවය, වාසි, වටිනාකම බවට පැහැදිලි කරයි.

දරුවාට මව්කිරි ලබාදෙන විට මවගේ ශරීරයේ අවලස්සන වීම, හැඩය වෙනස් වීම, පියයුරු එල්ලා වැටීම ආදිය සිදුවන බවට නොයෙක් මිත්‍යා මත පවතී. ඒවා මෙම පංති තුළින් නිවැරදි කර දෙන අතරම එහිදී දරුවාට කිරි ලබාදීම නිසා අනවශ්‍ය ලෙස තරබාරු නොවන අතර තමාගේ සිරුරේ හැඩය පවත්වා ගැනීමටත් කිරි ලබා දීම උපකාරී වන බව කිව යුතුය. මන්ද මව්කිරි දීමේ දී මවගේ මේද තැන්පත් වීම අඩුවේ. පියයුරු එල්ලා වැටීම වැළැක්වීමට විශේෂිත බ්‍රෙසියර වර්ග වෙළඳපොලේ ඇත.

දරුවා ලැබීමෙන් පසුව මව්වරුන්ට පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ මව්කිරි දීමේ කාර්ය නිසි ලෙස කර ගැනීමට නොහැකි වීම තුළ ඇතිවන මානසික අවපීඩනයයි. මේ තත්ත්වය ප්‍රතිකාර ලබාදීම දක්වාම ගමන් කල හැකිය. නමුත් පූර්ව ප්‍රසව සායන හරහා මේ පිළිබඳව දැනුවත් කිරීම මගින් දරුවා ඉපදී මුල් දින 2-3 තුළ කිරි ශ්‍රාවය අඩු වුවත් දරුවා හොඳින් ඉරීමට පටන් ගත් පසු හොඳින් ශ්‍රාවය වන බවට මව දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. එවිට මවට තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් ඇති නිසා අනවශ්‍ය කලබලයකට පත් නොවේ.

තවද එක් එක් මව්වරුන්ගේ කිරි එරීමේ අඩු වැඩි ප්‍රමාණයක් දැකිය හැකි වූවත්, සමස්ත මව්වරුන්ටම උපන් දරුවන් වෙනුවෙන් කිරි නිපදවීම සිදුවේ.

මව්වරුන්ට ඇති සුලබ ගැටලුවක් ලෙස පැතිලි හා ගිලුණු තනපුඩු පිහිටීම දැක්විය හැක. දරුවා ඉපදීමට පෙර බොහෝ තනපුඩු පැතලි ලෙස පැවතිය ද දරුවා බිහිවීමට ආසන්න මොහොතේ දී ඉදිරියට නෙරා ඒම සිදුවේ. තනපුඩුව වටේ ඇති කොටස පපුව තුළට තද කිරීමෙන් ද තන පුඩුව ඉදිරියට නෙරා ඒම සිදුවේ. එසේ නොවුන හොත් ඒවා පැතලි හෝ ඇතුළට නෙරා ගිය තනපුඩු විය හැක.

ඇඟිලි තුඩු මගින් තන පුඩුව දිනකට කිහිප වතාවක් රෝල් කිරීම කරන්න. මෙයට මෘදු කරන ක්‍රීම් වර්ගයක් වූවද භාවිත කළ හැක.

තවද මේ සඳහා අනිත් ක්‍රියාකරන පියයුරු පොම්පයක් හෝ සිරින්ජයන් භාවිත කළ හැක.

ඉහත ආධාරකය සකසා ගැනීම මවට තනිව කරගත නොහැකි වන අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුවත් කෙනෙකු (හෙදිය, පවුල් සෞඛ්‍ය සේවිකාව) ලවා කරවා ගැනීම ඵලදායී වේ. බොහෝ විට රෝහල් ගත වී සිටින කාලය තුළ දී මවගේ මෙම ගැටලුව හඳුනාගන්නා අතර එහිදීම මෙම ආධාරකය සකස් කර එමගින් තන පුඩුව ඉවතට ගන්නා ආකාරය පහදා දෙයි.

ඉහත කරුණු සියල්ල ගැන කතා කළ ද මවට අවබෝධ කළ යුතු වැදගත්ම කරුණ වන්නේ දරුවා උරන්නේ පියයුරු මිස පුඩුව නොවන බවය. කිරිදෙන විට පියයුරේ කළු පැහැති කොටස හෙවත් අරියෝලාව දරුවාගේ මුඛය තුලට ඇතුළු කළ යුතු අතර දරුවා කිරි ඉරිමේදී තනපුඩුව ඉවතට ඒම සිදුවේ. ගර්භනී සමයේදී අවසන් සති 6 තුළ දී පියයුරු සම්බාහනය කිරීම මගින් ද කිරි එරීමට පහසු කෙරේ.

Your Name

Email

Comment

0 Comments