Enter Your Key Word

දරුවන්ට ඇති විය හැකි ආසාත්මිකතා පිළිබඳව ඔබ දැනුවත්ද?

දරු පැටියෙක් ලොකු වෙනකම් බලාගන්න එක සුළු පටු කාර්යයක් නම් නෙමේ, එහෙම බලා කියාගන්න අතරේ ලෙඩ රෝග කියන්නේ ඒ භාර දූර කාර්යයේ වැඩියෙන්ම අවධානය දිය යුතු කාරණයක්. විවිධ විවිධ ලෙඩ රෝග ඔබේ චූටි පැටියව ලෙඩ කරවනවා.

සාමාන්‍යයෙන් වැළදෙන සෙම්ප්‍රතිෂ්‍යාව, උණ වගේ රෝග ඇරුණම ඔබ වැඩියෙන්ම බියට පත්වෙන තත්ත්වයක් තමයි ආසාත්මිකතාවයන් කියන්නේ. "අපෝ මගේ බබාට ඩස්ට් ඇලජී, මේවා කෑවොත් ඇලජී වෙනවා" වගේ දේවල් අම්මලා කියනවා ඕනේ තරම් ඇහෙනවා.

එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන මේ ඇලජී එහෙමත් නැත්නම් ආසාත්මිකතාවයන් කියන්නේ මොනවද?

ආසාත්මිකතාවයක් කියන්නේ සරලවම කිව්වොත් යම් යම් දේවල්වලට අපේ ශරීරය දක්වන අධිසංවේදිතාවයක්. සරලව පැවසුවහොත් අපේ සිරුරට යමක් ඇතුළුවෙත්දී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වහා ක්‍රියාත්මක වෙනවා. මෙසේ ක්‍රියාත්මක වන මේ පද්ධතිය ඇඟට ඇතුළු වන දේ විනාශ කළ යුතු ද නැද්ද යන්න තීරණය කරනවා. ඇඟට ඇතුළුවී ඇත්තේ විෂ බීජයක් නම් ඊට විරුද්ධව ප්‍රතිචාර දක්වා එය පරාජය කරනවා. ආසාත්මිකතාවක දී ඇතිවන ගැටලුව වන්නේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි. ශරීරයට ගැටලුවක් නොවන දේවල් මේ පද්ධතිය විෂ දෙයක් ලෙස හඳුනාගෙන ඊට ප්‍රතික්‍රියා දැක්වීම නිසා ශරීරයේ විවිධ ආසාත්මිකතා ඇතිවෙනවා.

උදාහරණ විදිහට සමෙහි බිබිලි මතුවීම, කැසීම, කිවිසුම් යාම සහ සම ඉදිමීම වැනි තත්වයන් දක්වන්න පුළුවන් මෙවැනි තත්ත්ව හේතු රහිතව මතුවන්නේ නම් යම් දෙයක් ආසාත්මික වී ඇති බවට සැක කරන්න පුළුවන්. ඉතින් වැඩිහිටියන්ට ඇතිවෙන ආසාත්මිකතාවයන් හදුනාගැනිමට හැකි වුනත් කුඩා දරුවන්ට ඇති වෙන ආසාත්මිකතා සියයට සීයයක් නිවැරදිව ආසාත්මිකතාවයක් බවට හදුනාගන්නට අපහසුයි. අන්න ඒ නිසයි මවුපියන් මේ ආසාත්මිකතාවයන් පිළිබදව ඉතා හොඳ දැනුමකින් සිටිය යුතු වන්නේ.

බොහෝ විට මෙවැනි තත්ත්ව ඇතිවන්නේ ජානමය හේතු නිසයි. දෙමාපියන්ට යම් ආසාත්මිකතාවක් ඇත්නම් එය දරුවන්ට ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. පීනස වැනි ආසාත්මිකතාවක් මවට හෝ පියාට ඇත්නම් එය ජානමය බලපෑමකින් දරුවන්ට වැළදීමේ හැකියාව තිබෙනවා. එසේම පාරිසරික තත්ත්ව මේ රෝගී තත්ත්වය සඳහා බලපානවා. පරිසරයේ ඇතිවන සියුම් දෙයක් දූවිලි, තණකොළ රොඩු, විවිධ සෙන්ට් වර්ග, සතුන්ගේ ලොම් නිසා පීනස වැනි ආසාත්මික රෝග සෑදෙන්න පුළුවන්. හතියත් මෙවැනි තත්ත්වයක් ලෙස තමයි සැලකෙන්නේ ඉතින් පුංචි පැටවුන්ට කලින් කිව්ව වගේම ආසාත්මිකතා හදුනා ගන්න සියයට සීයයක්ම අපහසු නිසා එවැනි ආසාත්මිකතා ඇති විය හැකි අවස්ථා ගැන ඔබ දැනුවත් වීම බොහොම වැදගත්.

අසාත්මිකතා ඇති කළ හැකි ආහාර වර්ග හා රෝග ලක්ෂණ පිළිබඳව ඔබ දැනුවත් වීම ඉතා වැදගත් වේ. තිරිඟු පිටි, කිරි වැනි ආහාරවල ඇති ලැක්ටෝස් හේතුවෙන් ආසාත්මිකතා ඇති විය හැකිය. එසේම බිත්තර, කජු වැනි දේ නිසා ඇතිවන ආසාත්මිකතා හේතුවෙන් හුස්ම ගැනීම අපහසුවීම, ශ්වාසනාලය ඉදිමීම, පපුවේ ශබ්දය ඇඟ කැසීම, ඇඟ ඉදිමීම වැනි තත්ත්ව පෙන්නුම් කරන අතරම ඉස්සො, දැල්ලො, කකුළුවො වැනි ආහාර හේතුවෙන් බඩ බුරුලට මළපහ පිටවීම, සම කැසීම, කැස්ස, ඇඟ කැසීම/ඉදිමීම වැනි තත්ත්වද අන්නාසි, තක්කාලි වැනි ආහාරත් ආසාත්මිකතා වැඩි වශයෙන් දක්වන ආහාර අතරට අයත් වේ.

ආහාර වර්ග මෙන්ම ඇතැම් ඖෂධ වර්ග වලටත් ආසාත්මිකතා ඇතිකරවිය හැකි අතරම ශරීරයේ ගල්වන බෙහෙත්, නාසයට දමන බෙහෙත්, සිරප් වර්ග, කරල්, පෙති ආදී ලෙස ලබාගන්නා බෙහෙත් ගැනීමෙන් පසු ආසාත්මිකතා ඇතිවන අවස්ථා ද පෙනිසිලීන් වැනි බෙහෙත් සඳහා සමහර අයට සමේ පළු දැමීම වැනි සරල ආසාත්මිකතා ඇතිවන අතර තවත් අයට ඇඟ කැසීම, උණ, වෙව්ලිල්ල ද ඇති විය හැකිය. එසේම ඇතැම් අසාත්මික තත්ත්වයන් ඉතා දරුණු තත්ත්වයන් වන අතරම ජීවිතය පවා අහිමි වීමට ඒවා හේතු විය හැකියි. හුස්ම ගැනීමේ අපහසුව, ඇදුම, රුධිර පීඩනය අඩුවීම වැනි දරුණු තත්ත්ව ආසාත්මිකතාවයන්ගේ භයානක අවස්ථා ලෙස දැක්විය හැකියි. ආහාර හා ඖෂධවලට අමතරව දූවිල්ල, සුරතල් සතුන්ගේ ලොම්, ඇඳුම් පැළඳුම් නිසාත් ආසාත්මික තත්ත්ව හටගනී.

ඔබේ දරුවා ආසාත්මිකතාවයකට පත් වන බව ඔබ දන්නවා නම්, ඒ පිළිබඳව සටහනක් පවත්වා ගෙන යාම වඩාත් උචිතය. උදාහරණයක් ලෙස දරුවා ආහාරයට ගන්නා දේ හා ආසාත්මිකතා රෝග ලක්ෂණ පිළිබඳව නිරවුල් වාර්තාවක් ඔබට ලබාදිය හැකිනම් දරුවා ආසාත්මිකතා පෙන්වන්නේ කුමක් සඳහාද යන්න තීරණය කිරීමට වෛද්‍යවරයාට පහසුය.

දැන් ඔබ දන්නවා ආසාත්මිකතාවයක් කියන්නේ සමේ යම් යම් වෙනස් වීම් ඇති කිරීම පමණක් නොවන බව. පුංචි දරුවාගේ වෙනස්වීම් හඳුනාගෙන ඒ වෙනස්වීමට බලපා ඇති කාරණාව හදුනාගැනීම මගින් ඔබට එය ආසාත්මික තත්වයක්ද නැද්ද යන වග නිගමනය කල හැකියි.

පුංචි පැටියා ආසාත්මිකතාවයකට ගොදුරු වී නම් කල යුත්තේ කුමක්ද?

ඔබ පළමුවෙන්ම දරුවා වෛද්‍ය උපදෙස් කරා යොමු කල යුතුයි. එවිට ආසාත්මිකතා සඳහා ලබාදෙන ඇන්ටි හිස්ටමීන් Antihistamine වර්ගයේ ඖෂධ අවශ්‍ය පරිදි වෛද්‍යවරයා විසින් නියම කරනු ඇති. ඒ ආකාරයෙන් පවතින ආසාත්මිකතාවයට අනුව ඊට අදාළ ඖෂධ ගැනීමෙන් ආසාත්මිකතාව බරපතළ තත්ත්වයට පත්වීම වලක්වා ගන්නත් පුළුවන්. එසේම ආසාත්මිකතාව වැඩි මට්ටමක ඇති රෝගීන් සඳහා ස්ටීරොයිඩ්ස් ( steroids) කාණ්ඩයේ ඖෂධ ලබාදෙන අතරම දැඩි ආසාත්මිකතාව අවමකර ගැනීම සඳහා ඇඩ්ඩ්‍රිනලීන් (Adrenalin) වර්ගයේ ඖෂධ ලබා දීම සිදු කෙරෙනවා. මෙවැනි ආසාත්මිකතාවලදී වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඉන්හේලර් නිසා ක්ෂණිකව ආසාත්මිකතාව පාලනය වෙනවා. මන්ද ඉන්හේලර් ක්‍රමයේදී ඖෂධ කෙලින්ම පෙනහලු කරා යාම නිසා ශරීරගතවන හා රුධිරයට මිශ්‍රවන බෙහෙත් ප්‍රමාණය අවමයි. මේ නිසා අතුරු ආබාධ ඇතිවීමේ අවධානම ද අඩුයි. මේ සියල්ල සිදුවන්නේ වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව වන අතරම ඔබ කල යුත්තේ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමයි. එසේම ආසාත්මිකතා සඳහා ඖෂධ ගැනීමේදී ජීවිත කාලය පුරාවටම එම ඖෂධ ගත යුතු නැහැ. ඖෂධ ටිකෙන් ටික අඩුකිරීම කළ හැකියි. ඒ නිසා ආසාත්මිකතා ඇති අය ඖෂධ ගැනීමෙන් ආසාත්මිකතා පාලනය කරගත හැකි වනවා මෙන්ම සම්පූර්ණ සුවය ලබා ගැනීමටද හැකියාව පවතිනවා.

ඔබේ දරුවා අසාමාන්‍ය ආසාත්මිකතා තත්ත්වයක් පෙන්නුම් කරයි නම් උදාහරණ ලෙස සිහිය නැතිවීම/දුර්වල වීම වැනි ජීවිත අවදානයට ලක්වන තත්ත්ව පෙන්නුම් කරයි නම් ඒ අවස්ථාවේදී ලබා දිය යුතු එන්නත් පිළිබඳව දැනුවත්ව සිටීම හා එය ලබාදීම සම්බන්ධව පුහුණුව පිළිබඳව දරුවාගේ වෛද්‍යවරයා සමග සාකච්ජා කරන්න.

ඔබේ දරුවා ඖෂධවලට අසාත්මිකතා පෙන්නුම් කරයි නම් දරුවා වෙනුවෙන් ඖෂධ නියම කරන ඕනෑම අවස්ථාවකදී මෙන්ම එන්නත් ලබා දීමේදීත් ඔහු/ඇය ආසාත්මිකතා ඇතිවන දරුවෙකු බව වෛද්‍යවරයාට පවසන්න. බලාගන්න.

ඕනෑම දෙයක ආසාත්මිකතාවක් දක්වද්දී පිටට මතුවන දේ ඉතාම සුළුයි. නමුත් අභ්‍යන්තරිකව ඊට වැඩි දෙයක් සිදුවෙනවා. මෙවැනි තත්ත්ව නොසලකා හැරීම නිසා ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් ඒ නිසා ආසාත්මික තත්ව පිළිබඳව සලකා බැලීම ඉතාමත් වැදගත් කාරණයක් බව වැඩිහිටි ඔබ සිහියේ රඳවා ගන්න.

Your Name

Email

Comment

0 Comments