Enter Your Key Word

නෑ හිතවත්කම් දරුවෙකුගේ ජිවිතයට සතුට එක් කරන්නේ මේ විදියටයි

පුංචි පැටියාගේ හිතේ ජීවත් වෙන පුංචි සමාජයක් උපත ලද දා පටන්ම සමීපව සිටි බව ඇත්ත. සහළේ ඥාතීන් විදිහට සැලකෙන මේ නෑදෑයන් වගේම තවත් බොහෝ පිරිස් පවුලට සම්බන්ධව සිටින්න පුළුවනි. ඒත් අපේ දෙමව්පියන් විසින් තමන්ගේ දරුවාට නෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට අවශ්‍ය පරිසරය ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ වුනත් වයස අවුරුදු තුනක පමණ කාලයක් වුනාම දරුවාටත් සමාජයක් එය අවශ්‍යයි. මේ විදිහට දරුවා සමාජයට සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ ජීවිතයට ලැබෙන ආලෝකය ගැනත් දෙමව්පියන් විදිහට ඔබ දැන හිටියොත් වඩාත් හොදයි.

සෙනෙහසේ මුදු පහස වගේම නිවස පුරාවටම කිරි සුවඳ විහිදුවමින් සිටි පුංචි පැටියා දැන් පෙර පාසල් ගමනටත් සූදානම්. ටිකෙන් ටික සමාජයට හුරු පුරුදු වෙන අපේ පැටියාට නෑදෑ හිතවතුන් සමගත් සම්බන්ධතාවය ගොඩ නඟා ගැනීමට දැන් ඔන්න කාලය ඇවිත්. පැටියාට දැන් වචන එකතු කරලා තමන්ගේ අදහස් කියන්නත් පුළුවනි.

උදේට පෙර පාසලට දරුවා ඇතුළත් කරලා අම්මා තාත්තා රැකියාවට ගියාම දවස පුරාම දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ඉඳලා නිවසට එන දරුවාට වඩා එදා කාලයේ අත්තම්මා, සීයා සමග කාලය ගෙවූ දරුවන් මානසිකව ඉතා නීරෝගීයි. ඊට හේතුව ඔවුන්ගේ සෙල්ලම් වලට විතරක් නොවෙයි, දරුවාට අවශ්‍ය විදිහටත් මේ වැඩිහිටි නෑදෑ පිරිස් අනුගත වුණා.

"මට මතකයි...මට මතකයි...  සීයා අපේ තුම් 

මිදුල පුරා කෝටුවකින් ගෝනෙක් ඇද දුන්..."

අතීතයේ සීයා දරුවාගේ ලෝකයට සමීප වුණේ ඒ විදිහටයි. ඒ වගේම අත්තම්මා දරුවා තමාට කිට්ටු කර ගෙන හවසට තරු පායන හැටි, හඳ පායා ගෙන එන හැටි පෙන්නා දුන්නා. මේ නිසා දරුවාට පරිසරය දිහා බොහොම උනන්දුවෙන් බලන්න හැකියාව ලැබුණා.

අත්තම්මේ මට කතන්දරයක්...

ඉස්සර කාලයේ අත්තම්මාගේ චරිතය නිර්මාණය වෙලා තිබුණේ සාහිත්‍ය ගබඩාවක් විදිහටයි. ඇය තුළ විශාල පරාසයක කතාන්දර ගැන දැනුමක් තිබුණා. ඒ නිසාම දරුවන් අත්තම්මා සමීපයට වී ‍ඇය කියන කතාන්දර හොඳින් අසා සිටියා. ඒ නිසාම දරුවන්ගේ සවන්දීමේ හැකියාව ඇති වුණා. කතන්දරය රසවත් නිසාම බොහොම හොඳ අවධානයකින් අසා ඉන්න පුරුදු වුණා. ඒ වගේම දරුවාගේ හිතේ යම් යම් නිර්මාණශීලී අදහස් ගොඩ නැගුණා. මේ හැම වාසියක්ම පුංචි පැටියාට ලැබුණේ සෙනෙහසේ මුදු පහසින් ළපටි හිත පිරිමදින නෑ හිතවත්කම් ඇති සමාජයක් ඔවුන් වටා සිටි නිසයි.

දරුවාට ආරක්ෂාව තිබුණා...

ඇතින්නියකට පැටියෙක් ලැබුණාම ඇත් රෑනටම කිරි එරෙනවා වගේ එදා තමන්ගේ අක්කාට, නංගිට දරුවෙක් ලැබුණාම එහි සතුට ආඩම්බරය පවුලේ හැමදෙනාටම බෙදී ගියා. වෙන දෙයක් තබා මේ වයසේම දරුවෙක් සිටින පුංචි අම්මා, ලොකු අම්මා එහෙම නැත්නම් නැන්දාගෙන් කිරි උරා බොන තරමටම මේ සහළේ ඥාතීන්ගේ බන්ධනය බොහොම ශක්තිමත්. තමන්ගේ අම්මා කුඹුරට, දියට ගිය විට බඩගිනි වෙලා හඩන පුංචි පැටියාට පිටි කිරි දුන්නේ නැහැ. තම දරුවා වෙනුවෙන් ලය මඩල පුරාවට පිරුණු කිරි පොවන්න තරම් නෑ හිතවත්කම් දෝර ගලන්න වුණා. එයින් දරුවාටත් ලැබුණේ විශාල ශක්තියක්.

දරුවාට අත්දැකීම් ලැබුණා...

තමන්ට ආදරය කරන, ආරක්ෂාව සලසන නෑ හිතවත් පිරිසක් මැද වැඩෙන අපේ පුංචි පැටියට අත්දැකීම් බෙදාහදා ගැනීමට වටිනා ඉඩ පරිසරයක් ලැබුණා. අද වගේ ජංගම දුරකථනයට වැඩිහිටි පිරිස් කොටු වුණේ නැහැ. ඔවුන් දරුවන් අහන ප්‍රශ්නවලට පිළිතුරු නොදී මග හැරියේ නැහැ. ''වලාකුළු යන්නේ කොහාටද...? මල්වලට පාට ලැබුණේ කොහොමද...? මේ වගේ ප්‍රශ්න වැලක් එදා දරුවන්ටත් තිබුණා. ඒ ඔවුන්ගේ විමසිල්ලයි. මේ හැම දෙයක් වෙනුවෙන්ම පිළිතුරු දෙන සහ දරුවන්ට ඇහුම්කන් දෙන පිරිසක් එදා හිටියා. ඒ නිසා දරුවාට ඉතාම පහසුවෙන් තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව නොඅඩුව ලැබී තිබුණා.

දරුවාටත් හයියක්...

අම්මා තාත්තාගේ පුංචි සමාජයෙන් ඔබ්බට තවත් නෑ හිතවත්කම් ඇති පිරිසක් සමග සම්බන්ධ වෙන විට තමන් සුරක්ෂිතයි කියන හැඟීම ඔවුන්ගේ හිතේ ඇති වෙනවා. නැදෑකම් ගොඩ නගා ගෙන නැති පවුලක දරුවෙක් කාන්තාරයක තනිවුන තැනැත්තෙකුට සමානයි. ඔවුන්ගේ හිතේ තිබෙන්නේ බොහොම හිස්බවක්. තනිකමක්. ඒත් නෑකම් හොඳින් තහවුරු වු පවුලක දරුවකුගේ හිතේ තිබෙන ශක්තිය නිසාම ඔවුන් අනාගතයේදී පෞරුෂයෙන් පිරුණ චරිතයක් විදිහට ගොඩ නැගේවි.

සහජීවනය පුරුදු වෙනවා...

තනි පංගලමේ හැදෙන දරුවා බෙදා හදා ගැනීමට නැඹුරුතාවයක් නැහැ. පවුල තුළ වුනත් තිබෙන්නේ බොහොම සීමා වු සම්බන්ධතාවයන් වෙන්න පුළුවනි. ජංගම දුරකථන සහ පරිගණක නිසා සමාජ සම්බන්ධතාවයන් දැන් දින දිනම පිරිහෙන තැනට පත් වෙනවා. අහළ පහළ අය වුණත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සමාජ ජාල සමග සම්බන්ධතාවයන් පවත්වනවා විනා අල්ලපු ගෙදරටවත් නොයන තරම් සම්බන්ධතාවයන්ගෙන් දුරස් වෙලා. එය දරුවාටත් නොදැනීම කාන්දු වෙනවා. ඇයි ඉතින් අම්මා අප්පච්චි වුණත් අල්ලපු ගෙදර අය සමගවත් සම්බන්ධතාවයක් නැති තැන දරුවාට සමාජ සම්බන්ධතාවයන් තනියම ගොඩ නගා ගන්න හැකියාවක් නැහැ.

අද පවුල විස්තෘත වෙලා...

ඉස්සර වගේ නොවෙයි, අද පවුල මොන තරම් විස්තෘත වෙලා විසිරිලාද කිව්වොත් ඇතැම් අය පවුල් පිටින් විදේශගත වෙලා. ඒ නිසා දරුවන්ට වුණත් සමීප නැදෑයින් ඇසුරට අවස්ථාවක් නැහැ. දුරස්ව හිටියත් තමාගේ සනුහරේ සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට ඇවැසි පරිසරය ඔවුන්ට සලසා දීම ඉතාම වැදගත්. නැත්නම් මේ සම්බන්ධතාවයන් නොදැනීම අහෝසිම වෙලා යන්න පුළුවනි. කනගාටුවෙන් වුණත් අපි මේ ටිකත් දැනගැනීම ඉතාම හොදයි. සමහර සහෝදර සහෝදරියන්ගේ දරුවන් අතර පවා කිසිම ඇයි හොදයි බවක් ඇත්තේ නැහැ. සමහර විට ඔවුන් එකම පාසලට ගියත් එකම පංතියක හිටියත් අනේ අපේ අක්කා, නංගී කියන සංකල්පයක් ඇත්තේ නැහැ.අම්මා තාත්තා විදිහට ඔබ මේ අන්දමින් දරුවන් විතැන් වීමට ඉඩ නොදී කෙසේ හෝ පවුලේ නෑ පරපුර සමග දරුවන්ගේ බැදීම ගොඩ නැගීම ඉතාම වැදගත්.

Your Name

Email

Comment

0 Comments