Enter Your Key Word

ගැබිනි ඔබ සංචාරයක් සඳහා සූදානම් වනවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

Parenting guide for child development

පුංචි පැටියෙක් කුස පිළිසිඳගත් නිමිත්ත දැනගත් මොහොතේ පටන් අම්මා කෙනෙක් වෙන දිනය දක්වා වූ කාලය බොහොම පරිස්සමින් ගෙවිය යුතුයි. ඒ බව අපේ අම්මලා හොඳටම දන්නවා. අතුරු ආන්තරාවක් නැතුව කුස ඉන්න පුංචි කිරිකැටියා තමන්ගේ දෝතට ගන්න සිහිනයේ ඉන්න අම්මා කෙනෙකුට සංචාරයක් වෙනුවෙන් අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නේ?

ගර්භණීත්වය රෝගී තත්වයක් නොවුනත් පරිස්සම වැදගත්. ඒ නිසා ඇවිදීම වැනි කටයුතුවල යෙදීමෙන් ව්‍යායාමයක් ලබා ගන්නත් පුළුවනි. ඒ නිසා ගැබිනි මවක් විදිහට සංචාරයක යෙදෙනවා නම් පිරිසිදු වාතාශ්‍රයක් ලැබෙන පරිසරයක් වුනොත් නම් වඩාත් හොදයි. නමුත් ඝෝෂාකාරී පරිසරයක් වගේම දූවිලි බහුල පරිසර තත්ත්වයන් නම් එතරම් සුදුසු නැහැ.

ඇත්තටම මේ සංචාරයට යන්නම ඕනද?

සංචාරයක් වෙනුවෙන් අවස්ථාවක් ලැබුනොත් මව් සිහිනයේ ඉන්න කාන්තාවට ඒ ගැන හිතන්න යමක් තිබෙනවා.

  • මේ සංචාරයට සහභාගී නොවී බැරි ද?
  • ඉපදෙන්න සිටින දරුවා වෙනුවෙන් සංචාරය අතහරිනවා ද?
  • මේ සංචාරය වෙනුවෙන් කොතරම් කාලයක් ගත වෙයි ද?
  • දැනට තිබෙන ගැබිනි බවේ සංකුලතාවයන් මොනවා ද?
  • සංචාරයේ ගමන්මග සහ එහි අපහසුතාවය කෙසේ ද?

සංචාරයට යන්න තිබෙන අපහසුතාවය මොනවාද?

ගැබිනි මවකට සංචාරයකට යන්න අපහසුතාවයන් කීපයක් තිබෙනවා.

  • දුර ගමනක ඇති වෙහෙස.
  • වමනය.
  • ඔක්කාරය.
  • නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය.
  • එකම ඉරියව්වෙන් දිගු වේලාවක් සිටීමේ අපහසුතාවය.
  • දෙපා ඉදිමුම.
  • රුධිර වහනයක් ඇති වේය යන බිය.

ඒ වගේම තමන්ගේ ගැබට මාස තුනක්වත් සම්පූර්ණ වෙලා නැත්නම් සංචාරය ගැන දෙවරක් නොව කීප වතාවක් හිතන්න ඕන. අනිත් අය යන නිසාම යන්න සූදානම් වෙන්නත් එපා. ඒ විතරක් නොවෙයි, වෛද්‍යවරයා මුණ ගැහිලා උපදෙස් ලබා ගැනීමත් ඉතාම වැදගත්. අම්මාගේ ගර්භණීත්වයේ ඉතිහාසය සහ අද පවතින තත්ත්වය ගැන නිශ්චය කිරීමෙන් පසුව වෛද්‍යවරයා විසින් මේ සදහා අනුමැතිය දුන්නාය කියමු.

ඒ වගේම ප්‍රවාහන මාධ්‍ය ගැනත් අවධානය දැක්වීම වැදගත්. මේ කාලයේදී එක දිගටම ගමන් කිරීම අපහසුයි. මේ අවදියේදී එක දිගට ගමන් ගනිද්දී අපහසුතාවයන් ( මස් පිඬු පෙරලීම, පාද ඉදිමීම ) නිසා පැයකට වතාවක්වත් අත් පා ඇදීම් (Stretches) වැනි ලිහිල් වීම් කරන්න පුළුවනි. ඒත් පොදු ප්‍රවාහන සේවාවක ගමන් ගනිද්දී මේ තත්වය අපහසුයි. තමාගේම හෝ හිතවතුන් සමග එක්ව සංවිධානය වුන ගමනක් නම් අතරමග නවත්වා ටිකක් ඇවිදින්නවත් පුළුවනි. ඒ නිසා ගමන වෙනුවෙන් ඇති ප්‍රවාහන පහසුකම් ගැනත් සොයා බැලීම වැදගත්.

දැන් ඉතින් මොනවාද සූදානම් කර ගන්නේ...

ඔබ යන ප්‍රදේශය අනුව ඇඳුම් තෝරා ගන්න. නුවරඑළිය වැනි ශීත කලාපයකට යනවා නම් උණුහුම ආරක්ෂා වෙන ඇඳුම් රැගෙන යන්න. උෂ්ණ කලාපයකට යනවා නම් ඊට ගැලපෙන ඇඳුම් රැගෙන යන්න. ඒ වගේම ඔබ ගමනට සූදානම් වෙන විටත් සිරුරට පහසු ඇඳුමක් අදින්න. නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය සහ සෝදා ගැනීම නිසා ඇති වෙන තෙතමනය නිසා ඒ වෙනුවෙන් ගැලපෙන විදිහටත් යට ඇඳුම් සූදානම් කර ගන්න.

ඇවිදීමට පහසු පාවහන් (sports shoes) වගේම හදිසියේ හවස් වෙන විට දෙපා ඉදිමුම් තත්ත්වයක් ඇති වුනොත් පැළඳීමට අතිරේක පාවහන් දෙකක් රැගෙන යන්න.

අනිවාර්යෙන් ලබා ගත යුතු ඖෂධ සහ විටමින් වර්ග තිබෙනවා. මේවායේ මාත්‍රාව අතපසු වුනොත් ප්‍රතිපල ලබා ගැනීම අපහසු වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒවා ඔබ වෙත තබා ගත යුතුයි.

මේ කාලයේදී නිතරම පිපාසය ඇති වෙන නිසා හොඳින් ජලය පානය කිරීම වැදගත්. අතරමගදී අපි නොදන්නා ස්ථානවලින් ජලය පානය කළොත් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙන්නත් පුළුවනි. බැක්ටීරියා සහ විවිධ විෂ බීජයන්ට අම්මා නිරාවරණය වීම එතරම් සුදුසු නැහැ. ඒ නිසා උතුරවා නිවා ගත් ජලය බෝතලයක් සහ අවශ්‍ය වෙතැයි හිතන බිස්කට්, තේ, පලතුරු වැනි ආහාරපානත් සූදානම් කර ගන්න.

Your Name

Email

Comment

0 Comments