Enter Your Key Word

අවුරුදු දෙකට පුංචි පැටියෙක් මේ තරම් දේවල් කරනවා ද?

Child Activity is your 2-year-old

දන්නේම නැතිව පුංචි පැටියට අවුරුදු දෙකකුත් වෙලා. ඉස්සර වගේ නෙවෙයි. දැන් නම් එයාට වැඩ ගොඩයි. අම්මා කෙනෙක් මේ දේවල්වලට උදව් කරනවා මිසක් බාධා කරන්න නම් ඔට්ටු නෑ ඔන්න.

පුංචි කකුල්වලට හයිය ඇවිත්...

බොහොම අමාරුවෙන් අපේ අත් අල්ලාගෙන ඇවිද්ද පැටියා දැන් බොහොම වේගවත්. එක තැන තියන්නම බැහැ. හයියෙන් ඇවිදිනවා. පුංචි කකුල්වලට හයිය ලැබිලා දැන්. ජනේල් පඩි, පුටු උඩ නිතරම නගිනවා. ඒ වගේම පඩිපෙල නගින්න හරිම කැමතියි.

හැබැයි අපිත් අවධානයෙන් ඉන්න වෙනවා. මොකද හදිස්සියෙන්වත් පඩියක් ලිස්සා ගියොත් පැටියා බිමට වැටෙනවා. ඒ වගේම අත්වැලක් නැත්නම් තවත් අවදානම්. මොනවා වුනත් පැටියාගේ ශාරීරික වර්ධනයත් සමග මේ වගේ උවමනාවන් ඇති වෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් සහයෝගය දෙන්නත් ඕනි නේ. 

ඇඟිලිවලටත් නිවාඩු නැහැ

අතේ ඇඟිලිවලටත් නිවාඩුවක් ඇත්තේම නැහැ. කතුරක් ගත්තොත් කපනවා. කඩදාසියක් අහුවුනොත් ඉරනවා. පොතක වුනත් වටිනාකමක් දන්නෙත් නැහැනේ. ඒ නිසා අපි පරිස්සමින් මේ ගනුදෙනුව කරන්න වෙනවා. එහෙම නැතුව පොතක් පතක් ඉරුවාම සැර කරලා වැඩක් නැහැ. පාට කූරක් විතරක්යැ. කෝටුවක් අහුවුනත් ඇති. ඒවාට ඉතින් දොස් කියන්න බැහැ. දැන් චූටි ඇඟිලිවලින් වැඩ පටන් ගන්න කාලය ඇවිත්. ඉතින් අපි සතුටු වෙන්න ඕන. මොකද අපේ දරුවාගේ හසුරු කුසලතාවයන් ගොඩ නැගෙන කාලය නේ.

ඒ වගේම තමන්ගේ ඇඳුමේ තිබෙන බොත්තම් ගලවන්න, සිපර් එක අරින්න පැටියාටම කර ගැනීමේ හැකියාව තිබෙනවා. මේ අවධියේදී දරුවාගේ හුරු අත ගැන දෙමව්පියන්ට දැන ගැනීමට පුලුවනි. එහෙම දැන ගත්තාම කලබල වෙන්න එපා. කාලයත් සමග මේ තත්වයන් මග ඇරෙන්න පුලුවන්. මැණික් කටුව කරකවමින් බෝතල් අරින්නත් ඔවුන්ට හැකියාව තිබෙනවා.

කුතුහලය වැඩියි

සේරමත් හරි. අහුවෙන අහුවෙන දේ අතට ගන්නවා. කුණු රොඩ්ඩක් වුනත් කමක් නැහැ. අතට අරන් බොහොම පරීක්ෂාවෙන් බලනවා. හරියට තේරෙනවා වගෙයි. ඒ එකක්ම වට පිට බලලා කටේ දාගන්න වෙලාවල් නැත්තෙත් නැහැ. මොකද මේ කුතුහලය අවදි වෙන කාලයනේ. උතුරන වතුර භාජනය වුනත් අදින්නේ උවමනාවට නොවෙයි. බිම තියෙන ප්ලග් පොයින්ට් ගැනත් සැලකිල්ලෙන් ඉන්න. අත් පයේ හිරි අරින්න ගිහිං මේවාටත් අත දානවා. ඒත් විදුලිය දන්නේ නෑ නේ අපේ පැටියාගේ ක්‍රියකාරකම්. ඒ හින්දා අපේ පරිස්සම අපි බලාගන්න ඕනේ. බොහොම පරිස්සමින් ගනුදෙනු කරන්න කාලය ඇවිත්. මේවාට අත දාන්න එපා කිව්වාට අනතුර ගැන එයා දන්නේ නැහැ. ඒ වගේම ජෛව විද්‍යාත්මකව සිදු වෙන වෙනසත් එක්ක මේවා පාලනය කරන්නත් පොඩිත්තාට බැහැ.

ඉල්ලීම් වැඩියි. විධාන කෙලවරක් නැහැ

දැන් ඉල්ලීම්, විධාන හරියට. ඉස්සර වගේ කාක්කා පෙන්නලා බත් කවන්න බැහැ. සේරම බබාට තමයි. දැන් වචන දෙක තුන ගැට ගහලා තමන්ගේ උවමනාව කියන්නත් පුළුවනි. මට දෙන්න.. මට එපා.. මේ වගේ එයාගේ වැඩ කොහොම හරි කර ගන්නයි උත්සාහය. පොඩ්ඩ බැරි වුනොත් අඬන්න... පොළවේ ඔළුව ගහන්න වගේ පුංචි දඩබ්බරකම් නැතුවාමත් නොවෙයි. දැන් වෙනදාට වඩා තමන්ට ඕන දේ ඉල්ලන්න වගේම එපා දේ අපට දැනුම් දෙන්න දන්නවා. මේ පුළුවන්කම හින්දා රවටන්න අමාරුයි. කන්න බොන්න ගියාම එයාට උවමනා දේ මිසක අපට උවමනා දේ කවන්න බැහැ. දිව හොඳට රස අඳුනනවා. ඒවා කන දේවල් නොවෙයි කිව්වත් “බබාට දෙන්න” කියලා ඉල්ලන්න තරම් දැනුම් තේරුම් තියෙනවා.

කටේ දත් විස්සක් තියෙනවා

දැන් දත් විස්සක් විතර තියෙන පුංචි කට පොඩිත්ත නිසා යමක් හපන්න පුළුවන්. ඒ වුනත් කන්න බොන්න දීලා අපට පැත්තකට වෙන්න බැහැ. වයසට ගැලපෙන සංවර්ධනය තිබුනත් අනතුරක් වෙන්න ඇසිල්ල ඇති. හපලා කන්න පුළුවන් වුනත් රඹුටන් වගේ ඇට වර්ග තියෙන පලතුරු නිසා අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසාම අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ.

අනුකරණයට කැමැතියි

මේ අවධිය වෙන විට දරුවා අනුකරණයට බොහොම නැඹුරුයි. තවම දරුවාට ඒ තරම් පුළුල් පරාසයක පැතිරුණු සමාජයක් ගොඩ නැගී නැහැ. ඒ නිසා ඔහුගේ පුංචි ලෝකය තමන්ගේ නිවසයි. නිවසේ වැඩිහිටියන් අනුකරණයට දරුවාගේ නැඹුරුවීම වැඩි වශයෙන් මේ අවධියේදී දකින්න පුලුවන්. අම්මා වගේ සාරිය අඳින්න, තාත්තා වගේ ටයි පටියක් දාන්න, එහෙම නැත්නම් අම්මාගේ ලිප්ස්ටික් කූර අරගෙන තොලේ ගාගන්න වගේ දේවල් වෙනුවෙන් දරුවාගේ අවධානය යොමු වෙනවා. එය වරදක් නොවෙයි. ශාරීරික ලෙසින් සංවර්ධනය වෙද්දී දැන් තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් යොමු වීමට හැකියාව ඉබේටම ගොඩ නැගී තිබෙනවා. ඒ නිසා ඔවුන් ස්වාධීනව කටයුතු කරද්දී අනුකරණය ඉතාම ඉහළින් දකින්න පුළුවනි.

හැඩතල, පාට ගැන දන්නවා

දැන් පාටවල් අඳුනනවා. ඒත් හරියටම මේ පාට කියන්න බැරි වුනත් සමාන පාට, සමාන හැඩතල එකතු කරන්න දන්නවා. වතුර භාජනයෙන් භාජනයට හලන්නේ නැතුව වත් කරන්න පුළුවනි.

තමාට අයිති දේ හඳුනනවා

තමන්ගේ කියන හැම දෙයක්ම දැන් දන්නවා. වැඩිමල් සහෝදරියෝ ඉන්නවා නම් තමන්ගේ දේ වෙන් කර ගන්න දන්නවා. නිතරම අයිතිය බබාට යි. අම්මා තාත්තා වුනත් බබාගේ. අයියා අක්කා කියන කවි සින්දු, දැන් කියන්න පුළුවනි. වචන බොහොමයක් දන්නවා. තමන්ගේ අදහස් මේ වචන ගැට ගහලා ඉදිරිපත් කරන්නත් හොඳට පුළුවනි.

නිර්මාණශීලියි

බිල්ඩින් බ්ලොක්ස් අරගෙන එකින් එක තියලා යමක් හදන්න තරම් දරුවා දැන් දියුණුයි. ජිග්සෝ ප්‍රහේළිකා තනියම හදනන් පුළුවනි. මුලින්ම වතාවේ අපි හදලා පෙන්නුවාම එතැන් පටන් එයාට පුළුවනි. අපි අත ගහනවාටවත් කැමැත්තක් නැහැ. බොහොම ස්වාධීන වෙන්න බලන්න කාලයක්.

සෙල්ලමට කැමැතිම කාලයක්

මිදුලේ පුංචි ඔන්චිල්ලාවක් තියෙනවා නම් බොහොම කැමති වේවි. ඒක පදින්නත් නිතරම දුවයි. මේ වේලාවට නම් අපිත් ළඟින් ඉන්න ඕන. අපේ ආධාරයෙන් ඔන්චිල්ලාව පදින්න නිතරම ඇවිටිලි කරනවා.

ඒ වගේම අපිත් එයාගේ හැංගිමුත්තංවලට හවුල් වෙන්න ඕන. සමහර වෙලාවට පැටියා තනියම හැංගිමුත්තං සෙල්ලමේ. හුඟක් වෙලාවට කන්න දෙන වේලාවට එයා හැංගිමුත්තං.

ඉතින් පුංචි පැටියා උස් මහත් වෙද්දී එයාගේ ක්‍රියාකාරකම් බලා ගෙන ඉන්න ආසයි. පුංචි හිතේ මොනතරම් සිතුවිලි හැංගිලා තියෙනවාද කියලා තේරෙන්නේ මේ වෙලාවටයි. තමන්ගේ උවමනා දේ ඉල්ලන්න, තනියම ඇවිදින්න, කැමැති ඇඳුම අඳින්න දැන් පැටියා දන්නවා. ශාරීරික වර්ධනය සමග බුද්ධිමය සංවර්ධනයත් සිදු වන නිසා සමාජය සමග ගනුදෙනු කිරීමේ හැකියාවත් පුංචි පැටියාට දැන් ලැබිලා තිබෙන නිසා එක පැත්තකින් අපටත් පහසුයි. ඒ ඇයි කිව්වොත් දැන් පැටියාගේ භාෂාව අපිටත් තේරෙනවා.

Your Name

Email

Comment

0 Comments