Enter Your Key Word

ටික ටික ලොකු වෙන පුංචි පැටියට බාධා කරන්න එපා

child development for 2 years old

දැන් අපේ පැටියාගේ වයස අවුරුදු දෙකයි. පරිස්සමෙන් බලා ගන්නවා කියන්නේ ‍ලොකු වගකීමක්. එහෙමයි කියලා පැටියාගේ ක්‍රියාකාරකම්වලට බාධා කරන්න නම් හොඳ නැහැ.

හැමතැනම ඇවිදිනවා... බේරන්න බැහැ

වැටි වැටී ඇවිද්ද පුංචි පැටියා දැන් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පුංචි කකුල්වලට හයිය ඇවිත්. ඒ හින්දා අපිත් පැටියාට නිදහසේ ඇවිදින්න උදව් වෙන්න ඕන. අපිත් එයා එක්කම ඇවිදිනවා නම් පැටියාට හරිම සතුටුයි. ඒ හින්දා අපිත් එයා ඇවිදගෙන එද්දී ඒත් එක්කම ඇවිදිනවා නම් හරිම අගෙයි. නිකම් ඉන්න බැහැ. පැටියා ළං වෙද්දී අපි තව ටිකක් ඈතට යන්න ඕන. සමහර විට වැටෙන්නත් පුළුවනි. මේ වැටිල්ල අනතුරුදායක නැහැ. ඒ නිසා දරුවාට වැටි වැටී නැගිටින්න අපේ දායකත්වයත් ලබා දෙන්න ඕනමයි.

ඉතින් කොහොමද මේ දායකත්වය ලබා දෙන්නේ...

හදිසියේවත් ඇවිදින පැටියාට දරුණු විදිහට හැප්පිලා තුවාල වෙන්න පුළුවනි. එහෙම වුනොත් ඇවිදින්නත් බය වේවි. ඉතින් නිවසේ තිබෙන ඉඩ පරිසරය පැටියාට නිදහසේ ඇවිදින්න පුළුවන් විදිහට පිළියෙල වුනොත් බොහොම අගෙයි. කාලය නම් නැතුව ඇති. ඒ වුනත් නිවසේ කවුරු හෝ වේවා අපේ චූටියා සමග ඇවිදින්න ඕන. පුංචි කකුල්වලට හයිය ලැබෙන්නේ එතකොටයි.

එයාගේ බස අපි තේරුම් ගන්න ඕන

අපේ භාෂාවයි, පැටියාගේ භාෂාවයි වෙනස්. ඒ වුනත් අපිටත් දැන් පැටියාගේ භාෂාවට යන්න වෙනවා. එහෙම නැති වුනොත් චූටියා අතරමං වෙනවා. ඒ හින්දා පැටියා වෙහෙසට පත් නොකොට කියන දේ අපි තේරුම් ගන්න ඕන. සමහර විට වතුර ඉල්ලන්න යොදා ගන්නා වචනය නොගැලපෙන්න පුළුවනි. ඒ වුනත් ඒ විදිහට පැටියා ඉල්ලන්නේ වතුර කියලා අපි දැනගෙන ඉන්න ඕන. නැති වුනොත් ඔන්න දෙපැත්ත ඇවිලෙනවා.

වාක්කෝෂයට උදව් ඕන

මේ කාලයේ අපේ චූටියාගේ වචන කෝෂය සංවර්ධනය වෙනවා. බොහොම ඉක්මනින් වචන අහුලනවා. ඉතින් මේ අහුලන වචනවලට අපෙත් උදව් ඕන. අපි නිතරම දරුවා සමග කතා බහ කරමින් සන්නිවේදනය ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. නැතුව ඉතින් ඒකපාර්ශවීය ගනුදෙනුවක් කරන්න බැහැ. ඒ හින්දා පැටියා සමග කතා කරන්න. එයාට පරිසරය හඳුන්වා දෙන්න අම්මා තාත්තා අනිවාර්යෙන්ම උදව් විය යුතුයි.

වතුර සමග සෙල්ලමට ඉඩ දෙන්න

මේ කාලයේදී දරුවන් සෙල්ලමට කැමැතියි. හැබැයි හෙම්බිරිස්සාව හැදෙන නිසා අම්මලා බයයි. ඒ නිසා දරුවා නාවන වේලාවට ටිකක් ජලයේ සෙල්ලමින් සිටින්න ඉඩ දෙන්න. නෑවාට පසුව හීතලේ තියන්න බැරි නිසා මුලින්ම එයාට නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න පුළුවනි. මේ වතුර බේසමට පාට පාට සෙල්ලම් සතුන් ටිකක් එකතු කළොත් තවත් ක්‍රියාකාරී වේවි.

සෙල්ලම් කරන්න ඉඩ දෙන්න

බොහොමයක් දෙමව්පියන් තමන්ගේ ලේසියට පොඩි අයව කොටු කර ගෙන හිටියත් අපි එයාලට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම සෙල්ලම් කියලා දෙන්න ඕන. මේ කාලයේදී හැංගිමුත්තන් කරන්න හරිම ආසයි. ඒ වගේම බෝල අල්ලන්න, බෝල පස්සෙන් දුවන්න පුදුම උනන්දුවක් දක්වන කාලයක්. ගැහැනු දරුවෝ නම් බෝනික්කන්ට ආසයි. පිරිමි දරුවන් වාහන පදවන්න, වාහන කෑලි ගලවා ආයේම හදන්න උත්සාහ ගනීවි. හැබැයි ඒවාට බාධා කරන්න එපා.

මැටි අනන්න දෙන්න

දැන් පුංචි ඇඟිලිවල ක්‍රියාකාරිත්වය අවදි වෙන කාලය. කතුරක් අහු වුනොත් තමන්ගේ කොණ්ඩය හරි කපා ගන්න කාලයක්. ඉතිං මේ සංවර්ධන යුගයේදී අපිත් ඒ වෙනුවෙන් දායකත්වය ලබා දීම ඉතාම වැදගත්. වෙළඳපොලේ තිබෙන ක්ලේ ටිකක් ගෙනත් දෙන්න පුළුවනි. හැබැයි කටේ දාගනන්වා ද කියලා බලා ගන්නත් ඕන. කෝම්පිට්ටුවක් හදන්න, පැන්සලක් අරගෙන හිතේ හැටියට කුරුටු බලියක් අඳින්න අවසරය නම් ඕනමයි.

උඩට යනවා... පහළට එනවා...

ඉස්සර පඩි එක දෙකක් නැග්ගත් දැන් නම් සම්පූර්ණ පඩි පේලියම ඉහළ පහළ යන්න අපේ පැටියාට ඕන. ඉතින් අත්වැලක් නැත්තං ටිකක් බයයි. ඒ වගේම තවම දෙපා වාරු නැති හින්දා අම්මා හෝ තාත්තා එක්කම පඩි නඟිනවා නම් වඩාත් හොඳයි. මොකද කිව්වොත් එක පඩියකින් හෝ ලිස්සලා ගියොත් බිම තමයි. එහෙමයි කියලා මේවා තහනම් කරන්න එපා. ඒ වෙනුවට ඔබට දරුවා සමග ඇවිදින්න අපහසු වේලාවට පඩි ටික අවහිර කළත් නම් කමක් නැහැ.

කවි/ගීත කියමු

දරුවාගේ නිර්මාණශීලී චින්තනයේ පිබිදීම ඇති වෙන මේ කාලයේදී දරුවා සමග කවි ගීත ගායනා කිරීම වගේම පුංචි පුංචි කවි සින්දු දරුවා ලවා ගායනා කරවන්න. එයින් දරුවාගේ ධාරණය පමණක් නොවෙයි, වින්දනාත්මක බවත් අවදි වෙනවා. ලස්සන රූප පෙරහැරක් පෙන්වන්න පුළුවනි. එයින් ලස්සන කතාවක් ගොතන්න. සමහර විට දරුවාගේ හිතේ නිර්මාණාත්මක බව අවධි වෙන්න පුළුවනි.

වර්ණ සහ හැඩතල ගැනත් අවබෝධයක්...

පැටියාට දැන් වර්ණ ගැන යම් වැටහීමක් ඇති වෙන කාලයක්. හැඩතල ගැනත් දන්නවා. රවුම, බෝලය වගේ සරල සංකල්ප හිතේ තියෙනවා. ඒ නිසා සමාන දේ එක්තැන් කරන හැකියාව වර්ධනය වෙන කාලයක්. ගෙදරට එළවළු ගෙනාවාම මලු ටිකක් දීලා ඒවා පංගු කරන්න කිව්වොත් අපට පැටියාගේ තරම දැනගන්න පුළුවනි. ඒ වගේම අමමාගේ, තාත්තාගේ, අයියා අක්කාගේ ඇඳුම් වෙන්කරන්න කිව්වොත් හරි අපුරුවට ඒ ටික කරන්න පුළුවනි. ඒ නිසාම සමාන දේවල් එක් කරන්න, අසමාන දේවල් ඈත් කරන්න පැටියාට දැන් පුළුවන්.

ආගමට දහමට

පුංචි අයට ආගමික පසුබිම බාල කාලයේ පටන්ම ලබා දුන්නොත් ලොකු මහත් වුනාම අමුතුවෙන් හැඩ ගැසීම අවශ්‍ය නැහැ. ඒ හින්දා ඔබ අදහන කුමන හෝ ආගමක් වේවා ඒ වෙනුවෙන් දරුවාද සම්බන්ධ කරන්න. ආගම අදහන වේලාවට ඔවුන් සමග ඒ කටයුතු කරනවා නම් දරුවන්ටත් ඒ ආභාෂය නොදැනීම ආදේශ වෙනවා. සමහර විට ගාථාවන් , ගීතිකාවන් පවා නොදැනීම කටපාඩම් වේවි.

Your Name

Email

Comment

0 Comments