Enter Your Key Word

පුංචි පැටියා හොඳට හැදුනොත් අම්මටනේ ආඩම්බර

Mothers aware of baby growth

දරුවකුගේ සංවර්ධනය දිහා බලාගෙන අපි සතුටු වෙනවා වගේම ඒ සංවර්ධනය ඉක්මනින් හා වඩාත් හිතකර විදිහට හැඩ ගසා ගැනීමට දෙමව්පියන්ගේ සහයෝගය නැතිවම බැහැ. ඒ නිසා දරුවෙකුගේ ශාරිරික සහ මානසික සංවර්ධනය සමග දෙමව්පියන්ගේ දායකත්වයත් අත්‍යන්තයෙන්ම බැදී තිබීම ඉතාම වැදගත්. දරුවෙකු ජීව විද්‍යාත්මකව සංවර්ධනය ලබද්දී ඒ පිටුපසින් දෙමව්පියන්ගේ දායකත්වය සහ ආරක්ෂාව උපරිම ලෙසින් ලබා දීම ඉතාම වැදගත්.

වයස අවුරුද්ද කියන්නේ යාන්තමින් ඇවිදින්න හයිය එන කාලය

ඔව් ඉතින් පැටියාගේ වයස දැන් අවුරුද්ද සම්පූර්ණ වුණා විතරයි. දැන් පුංචි පැටියාගේ පුංචි කකුල් හොඳින් සවිමත්ව වැඩීමටත් මාංශපේශී ශක්තිමත් වීමටත් ඒ සඳහා ක්‍රියාකාරකම් අවශ්‍යයි. නිවස ඇතුළත කොටුවක් හදලා දරුවා ඒ තුළ සීමා කිරීමට වඩා ඔවුන් සමග හැකි තරම් කාලය ගෙවීම ඉතාම වැදගත්. පුංචි දරුවා සමග එළිමහන් තැනක් එහෙම නැත්නම් ළමා උද්‍යානයක් වෙත යන්න. දැන් නිවාස වැඩි කොටසක් නිමවෙලා තියෙන්නේ පුංචි ඉඩක. ඉතිං බොහොමයක් දරුවන්ට දුවන්න පනින්න ඉඩක් නැහැ. ළමා උයනක එහි දරුවාට ආරක්ෂිතව දුවන්න පනින්න ඉඩ තිබෙනවා. ඒ නිදහස් පරිසරයේ ඔවුන්ට දුවන්න පනින්න ඉඩ දෙන්න.

දුවනවා පනිනවා

දුවන්න පනින්න වගේම පඩි නගින්න, උඩක නගින්න දරුවා මේ කාලයේදී වැඩි කැමත්තක් දක්වනවා. ඒ නිසා සීසෝවක දරුවා පද්දවන්න. කොටු හැඩයෙන් සකස් කරන ලද දෙපැත්ත ආවරණය කළ උපාංග ළමා උද්‍යානයේ තිබෙනවා. මේවා දරුවාට ආරක්ෂිත විදිහට ඉදි කර තිබෙන බව ඔබට විශ්වාස නම් එවැනි ළමා ක්‍රිඩා උපකරණ සමග කාලය ගෙවන්න දරුවාට අවසර දෙන්න. එවිට දරුවා බොහොම සතුටින් මේ උපකරණ සමග සෙල්ලම් කිරීමට යොමු වෙනවා.

දරුවාගේ පාද සවිමත් වීමට

මේ සඳහා ව්‍යායාම ලැබීමට බයිසිකල් පැදීම ඔවුන්ගේ වයසට ඉතාම ගැලපෙනවා. මේ වෙනුවෙන් වඩාත් ආරක්ෂිත වෙන්නේ රෝද තුනක ඒ කියන්නේ ට්‍රයිසිකලයක්. එවිට දරුවා මේ බයිසිකලය බොහොම වේගයෙන් පදින්න පටන් ගන්නවා. දරුවෙකුගේ මාංශ පේශි ශක්තිමත් වීමට ලබා දිය හැකි ඉතාම ගැලපෙන ක්‍රියාකාරකමක් විදිහට ට්‍රයිසිකලයක් පැදීම වඩාත් සාර්ථක ක්‍රියාකාරකමක්. ට්‍රයිසිකලයක් නැති වුණත් ලී අශ්වයෙක් වුණත් මේ වෙනුවෙන් ගැලපෙනවා. " අශ්වයා ගෝන් ටික් ටික් ටික් කියලා පැටියා පද්දවන්න පුලුවනි. " මේ හැම දේකදීම දරු පැටියාගේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් විය යුතු යි.

පුංචි දරුවාගේ හසුරු කුසලතා සංවර්ධනය

ඇඟිලි තුඩු වගේම පුරුක්වල ක්‍රියාකාරිත්වයටත් අපෙන් සහයෝගයක් ලබා දීම ඉතාම පහසුයි. දැන් තැනක් නොතැනක් නැතුව කුරුටු බලි අදින කාලය ඇවිත්. ඒ නිසා අම්මා තාත්තා කලබල වෙන්න එපා. එය දරුවාගේ හසුරු කුසලතාවයන්ගේ සංවර්ධනීය අවස්ථාවක්. කුරුටු බලි අඳිනවා නම් කඩදාසි සහ පාට හුණු කූරු වැනි ආරක්ෂිත ද්‍රව්‍ය ලබා දීමට පුළුවනි. නිදහසේ දරුවාට අදින්න අවසර දෙන්න. එහෙම වුනාම දරුවාගේ නිර්මාණශීලීත්වය බාල කාලයේ පටන්ම අවදි වෙනවා.

ඒ වගේම කෝම්පිට්ටු හදන්න ගැලපෙන පරිසරයක් නිර්මාණය කර දුන්නොත් දරුවාගේ හසුරු කුසලතාවයන් වර්ධනයට ඉතාම හොඳ පියවරක්. හැබැයි පිරිසිදු වැලි ලබා දීම වැදගත්. දරුවා වැලි සහ ජලය එකට අනන විට ඇගිලි තුඩුවලට චලනයන් ලැබෙනවා. ඒවා පොල්කටුවක බහා කෝටුවෙන් පහර දෙන විට රිද්මයක් ඇති වෙනවා. සමහර විට දරුවාට කෝටුවෙන් පහර දීම සාර්ථකව කරන්න බැරි වෙන්නත් පුලුවනි. ඒ නිසා දෙමව්පියන්ගේ උදව් ලබා දීම වැදගත්.

බෝලයක් අල්ලා ගන්න දරුවාට දැන් පුලුවනි. ඒ වගේම බෝලය එන දිසාව හඳුනා ගැනීම, අල්ලා ගැනීමට දරණ උත්සාහය සහ අවධානය වඩාත් මැනවින් ගලපා ගැනීමට මෙවැනි ක්‍රීඩාවක නිරත වීමෙන් දරුවාට ලබා දෙන්නේ විශාල සහයෝගයක්. ඒ නිසා කාලය ගැන නොසලකා දෙමව්පියන් විදිහට ඔබ දරුවා සමග මෙවැනි සෙල්ලම් හා සම්බන්ධ වීම ඉතාම වැදගත්.

දැන් දරුවාගේ දත් විස්සක් පමණ සම්පූර්ණයි

කිරි දත් වැටෙනවානේ කියලා ඔබ නිදහස් වෙන්න එපා. ස්ථිර දත්වලට පාර කියන්නේ කිරි දත්. ඒ නිසා දත්වල නීරෝගීතාවය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා දරුවාට දත් මැදීම විනෝදය ගෙන දෙන අන්දමින් ගලපා දීමත් දෙමව්පියන්ගේ කාර්යයක්. ඒ වෙනුවෙන් පුංචි ගීතයක් ගායනා කරන්න පුලුවනි. එවිට දරුවාගේ අවධානය ගීතයට මිස දත් මැදීම කරදරයක් යන සෘණ සිතුවලිවලින් දුරස් වෙනවා.

දරුවාගේ අත් සහ සන්ධි හොඳින් ක්‍රියාකිරිමට

බිල්ඩින් බ්ලොක්ස්, හැඩතල වැනි ක්‍රිඩා භාණ්ඩ දරුවාට ලබා දෙන්න. බිල්ඩින් බ්ලොක්ස් මගින් දරුවා විවිධ ආකෘති නිර්මාණය කරාවි. එයින් දරුවාගේ සන්ධි ආශ්‍රිතව නම්‍යශීලීත්වයක් වර්ධනය වෙනවා. ඔවුන් යමක් ගැන හිතනවා. මේවායේ වර්ණවත් බවත් දරුවාගේ නෙතට ප්‍රියතාවයක් ඇති කරනවා. ඒ වගේම දරුවා බිල්ඩින් බ්ලොක්ස් කීපයක් එකට අමුණලා කුමක් හැදුවත් එය අගය කරන්න. එයින් ඇති වෙන සතුට නිසා තමා මුල් කර ගෙන විශ්වාසයක් ගොඩ නැගෙනවා. මේ සේරම සම්පූර්ණ වෙන්න නම් දෙමව්පියන් විසින් දරුවන්ට ලබා දෙන දායකත්වය ඉතාම වැදගත්.

දරුවා දැන් බහ තෝරනවා

ඒත් වචන සංවාදයට වගේම ඔවුන්ගේ වාක්කෝෂය වචන එකතු කර ගන්නත් ඕන. ඒ නිසා ''දැන් ඉතින් දරුවා කතා කරනවානේ. අපි බය වෙන්න ඕන නැහැ'' කියලා සෑහීමට පත් වුනත් ඔබ නිතරම දරුවන් සමග කතා කරන්න. මේ කාලයේදී දරුවන් ඔවුන් වෙනුවෙන්ම වාක්කෝෂයක් ගොඩ නගා ගන්නවා. අපි ඔවුන්ගේ වාක්කෝෂය හඳුනා ගැනීම වැදගත්. පැටියාගේ හිතේ තිබෙන මේ සංකල්ප ගැන අම්මා, තාත්තා වෙත යම් දැනුවත් බවක් තිබීම ඉතාම වැදගත්. ඒ වගේම දරුවාට නිතරම කතාන්දර කියා දෙන්න. කතාන්දර කියා දෙන විට දරුවා ඒවාට ඉතා හොඳින් සවන් දෙනු ඇති. මේ සවන්දීම නිසා අවධානය පිළිබඳ සංකල්ප ඉගෙන ගැනීම පහසුවක් වෙනවා. යමක් හිතන්න පටන් ගන්නවා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සංවර්ධනය වෙනවා.

Your Name

Email

Comment

0 Comments