Enter Your Key Word

මොළයේ නිසි වර්ධනය වෙනුවෙන් දරුවන්ට දිය යුතු ආහාර වර්ග ගැන ඔබ දැනුවත්ද?

Mom concern healthy food for child

මිනිස් අවයව අතර පවතින ප්‍රධානතම අංගය වන්නේ මොළයයි. දරුවෙකු පිළිසිඳ ගත් මොහොතේ සිටම ඔහුගේ හෝ ඇයගේ මොළයේ වර්ධනය සම්බන්ධව අවධානයෙන් සිටීම අතිශයින් වැදගත් වන්නේ මව් කුස තුළ වැඩෙන අවධියේදී පටන්ම මවගේ නිසි පෝෂණය දරුවාගේ මොළය හොඳින් වර්ධනය වීම කෙරෙහි බලපාන නිසයි. දරුවෙකුගේ උපතින් පසු පළමු වසර පහ ඇතුළත මොළයේ වර්ධනයෙන් 90% පමණ සිදුවේ. දරුවෙකුගේ මුල් අවුරුදු තුනේදී මොළයේ සෛල අතර ඇතිවන සම්බන්ධතාවයන් ඉතා වේගවත් වන අතර ඒ සඳහා නිසි පෝෂණයක් ලැබීම අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් මහා පෝෂක වන කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේදය මෙන්ම ක්ෂුද්‍ර පෝෂක වන විටමින් හා ඛනිජ ලවණ අන්තර්ගත ආහාර වර්ග ලබා දීම අත්‍යවශ්‍ය වේ.

කාබෝහයිඩ්‍රේට

වයස අවුරුදු 1ත් 3ත් අතර දරුවෙකු සඳහා දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කැලරි 1100 - 1400 අතර අගයක් බව පැවසුවද එය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකියි. මෙම වයසේ දරුවන්ට ප්‍රධාන ආහාර වේල් 3කින් සහ අමතර ආහාර වේල් දෙකකින් සියලු පෝෂක අන්තර්ගත ආහාර ලබා දීම ඉතා වැදගත් වේ.

ප්‍රෝටීන

ප්‍රෝටීන යනු දරුවෙකුගේ මොළය වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් එකක් වන අතර මාළු, මස්, හාල්මැස්සන්, මුං ඇට, කඩල, කව්පි, බිත්තර සහ සෝයා ප්‍රධාන වශයෙන් දරුවෙකුගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පුර්ණ කරන ආහාර වේ. මෙම අවධියේ දරුවෙකුගේ ප්‍රධාන ආහාර වේල් සඳහා ප්‍රෝටීන අඩංගු ආහාර වර්ග අවම දෙකක්වත් තිබීම වැදගත් වේ.

මේදය

සිරුරින් නිපදවෙන මේද අම්ල වලට අමතරව නිසි පෝෂණය සඳහා අත්‍යවශ්‍ය මේදය බාහිරින් සිරුරට ලබා දිය යුතු අතර එසේ දිය යුතු, දරුවෙකුගේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන්නේ ඔමේගා 3 සහ 6 ය. මව්කිරි වල අන්තර්ගත වන ඔමේගා 3 මේද අම්ලය මොළය වර්ධනයට මෙන්ම බුද්ධි වර්ධනයටද අත්‍යවශ්‍ය සාධකයකි.

ඔමේගා 3 සහ 6 මේද අම්ලය

  • බලයන්, කෙලවල්ලන්, හුරුල්ලන්, අලගොඩුවන් සහ මාළු තෙල් අඩංගු ආහාර, පලා වර්ග වල සුළු වශයෙන්

ඔමේගා 6 මේද අම්ලය

  • සෝයා, කව්පි, සූරියකාන්ත තෙල්

විටමින් හා ඛනිජ ලවණ

විටමින් A, D, E, ෆොලේට සහ කෝලින් යන විටමින් මොළය වර්ධනය කෙරෙහි බලපාන බව පැවසෙන අතර යකඩ, අයඩින් සහ සින්ක් ද දරුවන්ගේ මොළය වර්ධනයට වැදගත් ඛනිජ ලවණ අතර ප්‍රධාන තැනක් ගනියි.

විටමින් A බහුල ආහාර

  • බිත්තර, කිරි, බටර්, මාළු තෙල්, යොදය සහිත කිරි, මස්, කහ පැහැති එළවළු, පලතුරු සහ තද කොළ පැහැති පලා වර්ග

විටමින් E

  • කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට වර්ග, රතු අල, පලා වර්ග, නැවුම් එළවළු සහ පලතුරු

විටමින් D

  • මාළු තෙල්, මාළු, මස්, සත්ත්ව අක්මා, බිත්තර, බිම්මල්

ෆොලේට

  • නැවුම් එළවලු, පලතුරු, කඩල, පරිප්පු, මුං, කව්පි සහ වෙනත් ඇට වර්ග.

කොලින් විටමිනය

  • බිත්තර කහ මදය

යකඩ

  • මාළු, මස්, බිත්තර කහ මදය, තද කොළ පැහැති පලා වර්ග

අයඩින්

  • කුඩා මාළු, වියළි හාල්මැස්සන්, ඉස්සන්, කරවල, කකුළුවන් සහ මුහුදු ආහාර

සින්ක්

  • මාළු, මස්, කිරි මෙන්ම කජු සහ රට කජු, ඇට වර්ග

දිනපතා ආහාරයට සමබල ආහාර වේලක් නිසි ප්‍රමාණයෙන් එකතු කර ගැනීම දරුවාගේ නිසි වර්ධනයට මෙන්ම මොළය වර්ධනයට ද ඉතා විශාල බලපෑමක් ඇති කළ හැක.

පුද්ගලයෙකුගේ බුද්ධි වර්ධනයට හේතු පාදක වන කාරණා බොහෝමය. ඒ අතුරින් පෝෂණය, ජානමය සහ පාරිසරික සාධක, එදිනෙදා ජිවිතයේ ලබන අත්දැකීම් ප්‍රධාන වේ. සෑම විටම බලපෑම් වලින් තොරව ඔබේ දරුවාට නිදහසේ කාලය ගත කිරීමට අවශ්‍ය පරිසරය ගොඩ නගා දීම ඔබේ වගකීමක් වන අතර සම වයස් කාණ්ඩ සමග එක්ව කටයුතු කිරීමටද අවස්ථාව ලබා දීම බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

Your Name

Email

Comment

0 Comments