Enter Your Key Word

තම කාර්යයන් තනිව කර ගැනීමට දරුවා හුරු කරන්නේ මෙහෙමයි.

තොටිල්ලේ ලී වැටෙන් පනින ඔබේ දරුවා එතැනින් ඔබ්බට සිය ජීවිතයේ බොහෝ කඩුළු, කඩඉම් ජයගත යුතුයි. ඒ වෙනුවෙන් දරුවා කායික වගේම මානසික ලෙසින්ද ශක්තිමත් කිරීම ආදරණීය දෙමව්පියන්ගේ වගකීමක්. දරුවෙක් සමාජයේ ජීවත්වන විට තමන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් ස්වයං හැකියාවන් ගොඩ නඟා ගැනීමට හැකියාව ඇති අන්දමින් ඔවුන් ශක්තිමත් කිරීම ඉතා වැදගත්. එය පටන් ගත යුත්තේ දරුවාගේ තොටිල්ලේ ලී වැටෙන් පනින කාලයේ පටන්ම බව අමතක කරන්න එපා.

පුතා හපනා...

යන්තම් හිට ගන්නා කාලයේදී ඔබේ දරුවා පය පැටලී වැටෙනු ඇත. ඒ වගේ අවස්ථාවන්හිදී ඔබ දුව ගොස් දරුවා වඩාගෙන " අනේ මයෙ පුතා රිදුනද...? කෝ ඌයියා වෙලාද..? " යනුවෙන් විපරම් කරනවාට වඩා ඔවුන්ට තනිවම නැගිටින්න ඉඩ දෙන්න.

" ඔන්න මගෙ පුතා නැගිට්ටා.. හපනා... ඔයාට දැන් තනියම නැගිටින්නත් පුළුවන්... " යනුවෙන් ඔවුන් දිරි ගන්වන්න. ඇතැම් දෙමව්පියන් දරුවන් සිට ගන්නා කාලයේදී ඔවුන් වඩාගෙනම එහෙම නැත්නම් කොටුවක තබා ගෙන ඉන්නේ " අනේ වැටිලා තුවාල වුනොත්... " යන අදහස නිසායි. ඒත් හිට ගන්නා කාලයේදී පය පැකිලී වැටීම එතරම් අනතුරුදායක නැහැ. ඒත් අවදානම් තැන් ගැන පුර්ව ආරක්ෂාව සලසා තැබීම වැදගත්. මේ විදිහට දරුවාට තනිවම නැගිටින්නට අත දීම නිසා තමාගේ හැකියාවන්ගේ වපසරිය ඔවුන් විසින් තේරුම් ගන්නවා.

හා...හා.. පැත්තකට වෙන්න

ඔබ නිවස අතුගාන විට දරුවාද එයට සම්බන්ධ වීමට පැමිණෙනු ඇති. එසේත් නැත්නම් රෙදි සෝදන විට දරුවාද එතැනට විත් රෙදි සෝදන්න ඉල්ලා සිටිනු ඇති. එවැනි අවස්ථාවන්හිදී

"පැත්තකට වෙන්න..පුතා මට මේ රෙදි ටික සෝදන්න ඕන, වෙලාව යනවානේ.. ඔයාට හෙම්බිරිස්සාව හැදුනොත්..." එසේත් නැත්නම් ගේ අතුගාන කොට "දූවිලි වදිනවා" යනුවෙන් කියා දරුවා පසෙකට කරන්නට එපා. ඔවුන්ටත් පුංචි කොස්සක් සාදා දෙන්න. පරණ කොස්සක් වුනත් ඔවුන්ගේ උසට ගැලපෙන විදිහට කපා සකස් කර දරුවාට දෙන්න. රෙදි සෝදන විට පුංචි ලේන්සුවක්, අත් පිස්නාවක් වගේ දෙයක් ඔවුන්ටත් දෙන්න. ඔබ සෝදන රෙදි මිරිකන්න දෙන්න පුළුවන් වයසක නම් එය ඔවුන්ට පවරන්න. මේ විදිහට යම් යම් වැඩ කටයුතු වෙනුවෙන් දරුවාටත් කාර්යභාරයක් පැවරුනොත් ඔවුන් එතැන් පටන්ම වැඩ කිරීමේ හැකියාව ගොඩ නගා ගන්නවා.

සෙල්ලම් කරන්නත් ඉඩ දෙන්න

ගැහැනු දරුවන් බෝනික්කන් නැළවීම, වැලි බත් පිසීම වගේම පිරිමි දරුවන් සෙල්ලම් කඩ දැමීම මගින් බාල කාලයේ පටන්ම ඔවුන් අනාගතයේ තමන්ට පැවරෙන කටයුතු ගැන යම් අවබෝධයක් ලබා ගත්තා. ගැහැනු දරුවන්ගේ බෝනික්කන් සෙල්ලම මුළුමනින්ම අනාගතයේ දරුවන් හදා වඩා ගන්නා හැටි ගැනත්.. සෙල්ලම් ගෙවල් වලින් අනාගත පවුල් ජීවිතය ගැනත් හිතේ තිබෙන සිතුවිලි නොදැනීම වැඩි දියුණු වුණා. එදා ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය පරිසරයෙන්ම ලැබුණා. අදටත් මේ කටයුතු සමග සම්මාදම් වෙමින් සෙල්ලම් කිරීමට ඔවුන්ට පුළුවන්. පුංචි සෙල්ලම් වළං මුට්ටි ටිකක් අරගෙන දෙන්න. නිවසේ ඉවතලන පොල්කුඩු, කැපෙන එළවළු ආදිය දෙන්න. එයින් යමක් ඉගෙන ගන්නවා පමණක් නොවෙයි, තනියම නිවසක කටයුතු කරන අන්දම ගැන පෙරහුරුවක් නොදැනීම ලබා ගන්නටත් පුළුවන්.

නිවස පිළියෙල කරගන්න පුළුවන්

අද දරුවන්ට දෙමව්පියන් වැඩ කටයුතු තනියම කර ගැනීමට ඉඩ නොදෙන්නේ නිවස අපිරිසිදු වෙනවා. එහෙම නැත්නම් එක වැඩය දෙක වෙන්න පුළුවන් කියන සංකල්පය නිසයි. ඒත් තනියම තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට ඉඩ නොදුන්නොත් අසරණ වෙන්නේ ඔබේම දරුවා බව මොහොතක් හිතන්න. වයස අවුරුදු 3 සිට 5 අතර කාලයේදී යම් යම් වැඩ කටයුතු ඔවුන්ට පවරා දීමෙන් අනාගත පන්නරය නොදැනීම ලැබෙනවා.

එක්තරා ගුරු අභ්‍යාසලාභී ශිෂ්‍යාවක් වයස අවුරුදු 22 ක් පමණ වුණාට ඇගේ රෙදි සෝදා ගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ. නේවාසික ගුරු අභ්‍යාසලාභී පාඨමාලාව හැර යන්නට තරම් තත්ත්වය ගැටලු සහිත වුණේ එදිනෙදා රෙදි සෝදා ගැනීමට ඇයට තිබුණු නොහැකියාව නිසයි. එතැනදී අසරණ වෙන්නේ දරුවා.

අනේ ඉතින් ඉස්සරහට නිදහසක් ලැබෙන එකක් නැහැ

බොහෝ දෙමව්පියන් කල්පනා කරන්නේ ගැහැනු වේවා පිරිමි වේවා අනාගත පවුල් ජීවිත ගොඩනඟා ගෙන දරුවන් ලැබීමෙන් පසුව ඔවුන් යුතුකම් වගකීම් අතර සිරගත වෙන නිසා වර්තමානය ඉතාම විවේකීව ගත කළාට වරදක් නැති බවයි. එය ඇත්ත වුණත් දරුවන්ට තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව ගොඩනැඟීම ඉතාම වැදගත්. දරුවා මෙහෙකාරයෙකුගේ තත්ත්වයට පත් කිරීමක් මෙහිදී අදහස් වෙන්නේ නැහැ.

පෙර පාසල් යන පුතා මේස් තනියම දා ගන්නවා. 

කුඩා දරුවෙක් මේ විදිහට තමන්ගේ ඇඳුම සහ සපත්තු දා ගැනීම ප්‍රාතිහාර්යක් නොවෙයි. එය ඔබේ පුහුණුවේ ප්‍රතිඵලයක්. සමහර දරුවන්ට කමිසයේ බොත්තම් ටික පෙළට දා ගැනීමට නොහැකි වෙන්නේ ඒ ගැන පෙරහුරුවක් නැති නිසායි.

පුතා බොත්තම් ටික දාගන්න බලන්න...පුතාට වැරදුනොත් මම දාන්නම්..." මේ විදිහට දරුවාට තමන්ගේ වැඩ කටයුතු පවරා දෙන විට ඔවුන්ගේ නිර්මාණාත්මක ක්‍රියාශීලීත්වය නොදැනීම අවදි වෙනවා. සපත්තුවේ ලේස් ගැට ගහගන්න පෙර පාසල් දරුවෙකුගේ වයසේදී පුළුවන්කම ලැබෙනවා නම් විශාල ජයග්‍රහණයක්. ඒ ගැන නිරීක්ෂණය පමණක් අම්මා තාත්තා වෙත තබා ගැනීම වැදගත්.

වැරදුනොත් කෑ මොර එපා

යම් විදිහකින් දරුවාගේ කටයුතු වැරදුණු තැනදි ඉතාම සන්සුන්ව එය නිවරැදි කරන්න. කිසිම විදිහකට දරුවාට දොස් නගන්න එපා. "හැමදාම කියනවා ඔය සපත්තුව අනිත් කකුලට.. අනිත් දවසේ අනිනවා ටොක්කක්.." මේ විදිහට සැර වචන නැතුව ඔවුන්ට එය පහදා දෙන්න. එහෙම නැත්නම් "බත් කන අතට මේ සපත්තුව ..." එය හඳුනා ගැනීමට සපත්තුව ඇතුළත නිය ආලේප ටිකක් මුලදී ආලේප කළත් කමක් නැහැ. එහෙම නැතුව ඔවුන්ට දොස් නැගීම කිසිම ලෙසකින් හෝ කරන්න එපා.

පාලනය නොව සහය දෙන්න

අපේ දෙමව්පියන් දරුවන්ට තිබෙන ආදරේ නිසා හැමදෙයම තමාගේ පාලනයේ තබා ගෙන කටයුතු කරන්නේ "දරුවා තවම පුංචියි" කියන සිතුවිල්ල නිසයි. ඒත් "මනෝවිද්‍යාඥ වෙන්ඩ් ග්‍රෝස්ලික්ස්" සඳහන් කරන්නේ දරුවන්ට වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ පාලනයක් නොව සහයෝගයක් පමණක් බවයි. මේ පිළිබඳව අධ්‍යයනයක් සදහා දෙමව්පියන්ගේ පාලනයකින් වැඩ කටයුතු සිද්ධ වුණු සහ දෙමව්පියන්ගේ සහයෝගයෙන් වැඩ කටයුතු කර ගත් ලෙසින් කොටස් දෙකක් තෝරා ගත්තා. එම අධ්‍යයනය අවසානයේදී පෙනුන කරුණක් වූයේ දෙමව්පියන්ගේ සහයෝගයෙන් තමන්ගේ වැඩ කටයුතු කර ගත් දරුවන්, දෙමව්පියන්ගේ පාලනයෙන් සියල්ල කර දුන් දරුවන්ට වඩා ජීවිතයේ ඉලක්ක ඉදිරියේ සාර්ථකත්වයට පත්ව සිටි බවයි.

යාන්තම් කිරෙන් මිදුණා විතරයි

ඇත්තටම පෙර පාසල් වයස කියන්නේ මව් දෙතනෙන් මිදුණා විතරයි. නමුත් දරුවන්ගේ ස්වාධීනත්වය ගොඩ නඟන්න හොඳම කාල පරාසය මෙතැන බව අමතක කරන්න එපා. ඔවුන්ගේ මනස සැහැල්ලුයි. පටලැවිලි නැහැ. ඒ නිසා තමන්ගේ හැකියාවන් ගොඩ නඟා ගෙන වැඩ කටයුතු තනියම කර ගන්න අවශ්‍ය පසුබිම සාදා දීමට හොඳම තෝතැන්න වයස අවුරුදු 3 සිට 5 අතර වූ පෙර පාසල් වයසයි. එතැනදී සවිබල වුණු දරුවා දිනපතා පාසලේදී වගේම තමාගේ ජීවිතයේ වැඩ කටයුතු ඉදිරියේදීත් බොහොම ශක්තිමත්ව ඒ කටයුතු වෙනුවෙන් මුහුණ දීමට සමත් වේ.

Your Name

Email

Comment

0 Comments