Enter Your Key Word

කුඩා වියේ සිටම කෑම මේසයේ සිරිත් විරිත් දරුවන්ට හුරු කරමු

Teach Kids Table Manners

දරුවන් මල් වගේ වුණත් දරුවාගේ හැසිරීම මුල් කර ගෙන සමාජය ඔවුන් ගැන බොහෝ දේ කතා කරනවා. ඒ හැම දෙයක් පිටුපසින්ම සිටින්නේ මව්පියන් වන ඔබයි. විශේෂයෙන් දරුවන් හැඩ ගැස්වීම 1-5 අතරදී ඉතාම පහසුයි. ළපටි මනස බොහෝ දේ උරා ගන්නා නිසා මේ කාලයේදී දරුවන්ට ඇසෙන දකින දේ ඔවුන් අනුකරණය කරනවා. ඒ නිසාම අපි දරුවන් හැඩ ගැස්වීමේදී ඉතාම සැලකිලිමත් වීම අවශ්‍යයි.

අද බොහෝ වැඩිහිටි දරුවන් වුණත් සමාජගත වුණාම ආහාර ගැනීමේදී දක්වන හැසිරීම් රටාව එතරම් සුදුසු නැහැ. ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවා කෑම මේසයේදී විනයක් සහිත දරුවෙක් විදිහට හැඩ ගසා ගැනීම බාල කාලයේ පටන්ම අපිට ආරම්භ කරන්න පුලුවන්.

වයස අවුරුද්දක් පමණ වුනාම දරුවාත් ඔබ සමග මේසයේ වාඩි කර ගන්න.

සමහර විට දරුවා මේසයට උස මදි වෙන්න පුලුවන්. ඒ වේලාවට පුටුවට කොට්ටයක් තබා හෝ දරුවා මේසයට වාඩි කරවන්න. මේ සහභාගීත්වයෙන් ඔබට දරුවාට හොඳ ආහාර පුරුදු කියා දීම ඉතාම පහසුයි.

මොනවද මේ පුරුදු...

ආහාර ගැනීමට පෙරාතුව අත් සෝදා ගැනීම

මුල් කාලයේදී මොනතරම් කියා දුන්නත් මේ ගැන ඔවුන්ට වැටහීමක් නැහැ. ඒ වුනත් නිරන්තරවම කෑම මේසයේදී අම්මා, තාත්තා වගේම වැඩිහිටි සහෝදර පිරිස් අත් සෝදා ගෙන ආහාර ගන්නා අන්දම දුටු විට දරුවා ඒ වෙනුවෙන් නොදැනීම යොමු වෙනවා.

තමන්ට අවශ්‍ය දේ පමණක් ගැනීම

මේ අත්දැකීම නම් ඔබටත් හොදින්ම පුරුදු ඇති. ඇතැම් උත්සව අවස්ථාවන්ට සහභාගී වෙන දරුවන්ගේ බත් පිඟාන ඔවුන්ටත් වඩා උසයි. කන නොකන හැම දේම කෑ මොර දිදි බෙදා ගන්නවා. අන්තිමේදී ඒ සියල්ලම ඉවතට. ඒ නිසා ඔබ බාල කාලයේ පටන්ම දරුවන්ට තමන්ට ඇති ප්‍රමාණය පමණක් බෙදා ගැනීමට හුරු කරන්න. සමහර පුංචි දරුවන් ආපන ශාලාවලදී සංග්‍රහය වෙනුවෙන් ගෙනෙන හැම දේම අරගෙන ඒවා ප්‍රතික්ෂෙප කරන අන්දම ඔබ දැක ඇති. වයස අවුරුදු 3ක් පමණ වෙන තෙක් දරුවාට මිළ මුදල් ගැන තේරෙන්නේ නැති නිසා නිතරම තමාට අවශ්‍ය දේ පමණක් බෙදා ගැනීමට පුරුදු කරන්න.

හැන්ද පිගාන හුරු කරන්න

පුංචි කාලයේ පටන්ම දරුවාට කෑම මේසයේදී හැන්ද හසුරුවන අන්දම හුරු කරන්න. කිසිම විටෙක ඉඳුල් අතින් හැන්ද වගේම වීදුරුව අල්ලන්න එපා යන අවවාදය දරුවාට ලබා දෙන්න. සමහර දරුවන් වතුර වීදුරුවේ බුබුලු නගිනවා දකින්න කැමැති නිසා වතුර නැවත වීදුරුවට දමන අශෝභන පුරුදු ඔබත් දැක ඇති. මේ පුරුදු ඔබට හුරතල් වුනත් බලා සිටින අය අප්‍රිය කරනවා. ඒ නිසා වතුර වීදුරුව අල්ලන හැටි පවා ඔවුන්ට ආහාර මේසයේදී කියා දීම පුලුවන් වෙන්නේ පවුලේ සියලු දෙනාම එක මේසයක වාඩි වුනාම පමණයි. " අනේ අපි ලංකාවේ ගෑරුප්පු හරඹ කරන්න ඕන නැහැ. "කිව්වත් දරුවාට හැන්දත් ගෑරුප්පුවත් හුරු කිරීම අවශ්‍ය වෙන්නේ දැන් ඇතැම් ස්ථානවල මුළුමනින්ම හැදි ගෑරුප්පු මිසක අත් සේදීමට පහසුකම් සලසා නැති තරම් නිසායි. ඒ නිසා සූදානම් ශරීරයෙන් උත්සව වලට සහභාගී වීම අවශ්‍ය නිසා බාල කාලයේ පටන්ම හැන්ද, ගෑරුප්පුව සමග කටයුතු කරන අන්දම හුරු කරන්න.

තලු ගසන්න. ඇගිලි පුරා ආහාර තවරා ගැනීම අශෝභනයි.

බුදු රජාණන් වහන්සේ පවා අපි ආහාර ගැනීමේදී අනුගමනය කළ යුතු සිරිත් දේශනා කර තිබෙනවා. ඇඟිලි පුරුක්වල තවරා නොගැනීම, තලු ගැසීම වැනි පුරුදු වෙතින් මිදීම අවශ්‍ය බැව් බුද්ධ දේශනාවේද සඳහන්ව තිබෙනවා. ඒත් අද අම්මලාට මේවා ගැන කිසිම තැකීමක් නැහැ. තලු ගැසීම පමණක් නොව ආහාර කටේ තබා ගෙන කතා කිරීම, කටේ තිබෙන ආහාර ගිල අවසාන වෙන තෙක් ආහාර කටේ පුරවා නොගැනීම වගේම හක්කේ ආහාර රදවා ගෙන සිටීම එතරම් සුදුසු නැහැ. මේ අශෝභන සිරිත් වෙතින් ඉවත්වීමේ වැදගත්කම දරුවාට අවුරුද්දේ පටන්ම කියා දීමට පුලුවන්.

එළවළු පලතුරු හදුනා ගැනීම

සමහර දරුවෝ වයස අවුරුදු 10ක් පමණ වුණත් එළවළු, පලතුරු හඳුනන්නේ නැහැ. ඒ වුණත් අවුරුද්දක පමණ කාලයේ පටන් දරුවා කෑම මේසයේ තබා ගෙන කෑම බීම පුරුදු පුහුණු කළොත් නොදැනීම එළවළු, පලතුරුවල වර්ණ සහ පෝෂණය දරුවා හදුනා ගන්නවා. එය නොදැනීම අනාගත පරිසරයට හා පෝෂණ පාඩමට දායකත්වයක් ලබා දේවි.

ඉවත දමන දේ වෙනම තබා ගැනීම

ආහාර පිඟානේ ඉතිරි වෙන දේ එහි පැත්තකින් තැබීම මිස තැනින් තැන විසුරුවා හැරීම නොකළ යුතු බව කියා දෙන්න. එක් පවුලක දරුවෙක් විනෝදාංශයක් විදිහට නිතරම කරන්නේ ඔහුගේ පිඟානේ තිබෙන ඉතිරි දෑ ලඟම සිටින අයට විසි කිරීමයි. එවන් කටයුතු නොකළ යුතු බව කියා දෙන්න. බොහෝ ආහාර පුරුදු දරුවන්ට ඒත්තු නොයන හේතු කීපයක් ඇත.

  • එකම වේලාවට පවුලේ අය ආහාර නොගැනීම
  • දරුවාට ආහාර ලබා දීම වෙනම කාර්යයක් ලෙස සැලකීම
  • කෑම මේසයට කුඩා දරුවන් සහභාගී නොවීම
  • දරුවන්ගේ ඇතැම් සිරිත් මව්පියන්ට විනෝදයක් වීම

ඒත් ඔබ මේ දේ ගැන සිතන්න. අප ආහාර ගන්නේ ජීවත් වීමට මිස ආහාර ගැනීම වෙනුවෙන් ජීවත් වන්නට නොවේ. ඒ නිසා ආහාර ගැනීම යනු විනයක් සහිත කටයුත්තක් බවත් සදාචාර දරුවන් ආහාර ගැනීමෙන්ම හඳුනා ගත හැකි බවත් මව්පියන් විදිහට ඔබ හිත තබා ගත්තොත් වඩාත් යහපත්.

Your Name

Email

Comment

0 Comments