Enter Your Key Word

තවත් අයෙකුට ගරු කරන්නට ඔබේ දරුවාටත් කියා දෙන්න

Parents guide to Respect Others

අපි කවුරුත් ගරුත්වයක් ලබන්න කැමැතියි. ඒ අපේ මිනිස් ස්වභාවය. මිනිසුන් විතරක් නොවෙයි, සතුන් පවා ගරුත්වය ලබන්න කැමැතියි. ඉතින් දවස් ගෙවෙනවා නොදැනීම. උස් මහත් වෙන ඔබේ පැටියා සමාජයට සම්බන්ධ වෙන දවසක් පැමිණෙනවා. එදාට ඔබේ හුරතලේ හැදුණු වැඩුණු පුංචි පැටියා සමාජයේදී අනිත් අයට ගරු බුහුමන් දක්වන්නේ නැති චරිතයක් වුණොත් එහි කොටස්කාරයෙක් බවට අනිවාර්යෙන්ම පත් වෙන්නේ දෙමව්පියන් බවත් සිහියේ තබා ගත්තොත් හොදයි.

ඔබේ දෙසවනටත් මේ වගේ කතන්දර ඇහිලා ඇති. ''මේ ළමයා කිසිම කමකට නැහැ. වැඩිහිටියන්ට කිසිම ගරුසරුවක් නැහැ...'' කෙනෙක් මෙහෙම කියද්දී තවත් කෙනෙක් ඊට පසු උත්තර දෙමින් මේ වගේ කියාවි...

" ඒවා ඉතින් දෙමව්පියන්ගේ වැරදි. පුංචි කාලයේ ඉඳලම දරුවට ඒවා කියල දෙන්න ඕන. කන්න දීලා ලොකු කරාටම බැහැ.."

ඉතින් අපි කවදාවත්ම අපේ පුංචි සමනළ පැටවුන් සමාජයෙන් මේ වගේ අවමානයට එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේප වීම් වලට පත් වෙනවට කැමැති නැහැ.

එහෙනම් අපි දරුවන්ට තවත් කෙනෙකුට ගරු කරන්න කියා දෙන්නේ කොහොමද?

දැන් අපේ පුංචි පැටියාට වයස අවුරුදු තුනක් විතර වෙනවානේ. අම්මාගේ තාත්තාගේ සෙනෙහසේ මුදු පහසින් හැදී වැඩෙන දරුවාට වටපිට සමාජයේ අයත් දැන් හඳුනනවා. එයාලගේ නෑකම් වුණත් අම්මා, තාත්තාගේ කියාදීමක් නොමැතිව පැටියට දැන් තේරුම් ගන්න පුළුවනි. ඒ හින්දා අම්මා, තාත්තා විසින් දරුවන්ට තවත් කෙනෙකුට ගරු කරන්න කියා දීම ඉතාම වැදගත්.

"මෙන්න පුතේ ඔයාගේ ආච්චි.. සීයා.. නැන්දා.. මාමා"

පුංචි පැටියාට පවුලේ වැඩිහිටියන් ගැන ලොකු හැඟීමක් ලබා දීම ඉතාම වැදගත්. එහෙම වුනාම පැටියාගේ හිතේ මේ අය ගැන බැඳීම විතරක් නොවෙයි, ගරුත්වයකුත් ගොඩ නැගෙනවා. ඒ නිසා නිතරම දෙමව්පියන් දරුවන්ට පවුලේ විතරක් නොවෙයි, වැඩිහිටිවියේ පසුවෙන පුද්ගලයන් ගැනත් බොහොම ගරුත්වයෙන් දරුවාට හඳුන්වා දීම වැදගත්.

නිවසට පැමිණෙන අයට ගරු කරන්න

නිවසට කෙනෙක් ආවිට ඒ අයට ගරු කිරීම ඉතාම වැදගත්. මුලින්ම පැමිණි අයව බොහොම ගරුත්වයෙන් පිළිගැනීමට අමතක කරන්න එපා. ''එන්න. වාඩිවෙන්න...'' යනුවෙන් බොහොම ගරුත්වයෙන් ආමන්ත්‍රණය කරනවා නම් දරුවාද හෙට දවසේ ඒ ලෙසින්ම පවුලේ අයට පමණක් නොව ආගන්තුකයන්ටත් ගරුත්වයෙන් සැලකිය යුතු අයුරු ඉගෙන ගනීවි.

වැඩිහිටියන්ට වඳින්න කියා දෙන්න

වැඩිහිටියන් සිප වැළඳ ගන්නවාට අමතරව ඔවුන්ට වඳින්නත් දරුවා හුරු කරන්න. සමහර දෙමව්පියන් මහත් උජාරුවෙන් මේ විදිහට කියන අවස්ථා තිබෙනවා.

"අපේ පුතා කාටවත් වඳින්න කැමැති නැහැ. හිතේ හරිම අහංකාරයක් තිබෙන්නේ "

යම් විදිහකින් දරුවා වැඩිහිටියන්ට වඳින්න මැලි කමක් දක්වනවා නම් ඔබ දරුවා ඉදිරියේ පුන පුනා ඒ බව කියන්න එපා. එයින් දරුවාගේ හිතේ ගොඩ නැගෙන්නේ ඔහු නිවැරදියි යන සංකල්පයක්. ඒ නිසා දරුවා ඒ ස්ථාවරයේ සිටිනු විනා එයින් මිදෙන්නට අදහස් කරන්නේ නැත. නමුත් වැඩිහිටියන්ට නිහතමානීව ගරු කරන සිරිත අපේ පැවැත්මේ කොටසක් බව අමතක කරන්න එපා.

පුංචි අවස්ථා මග අරින්න එපා

දරුවා සමග සමාජයේ විවිධ අවස්ථාවන්ට සම්බන්ධ වෙන ඔබට යම් යම් අය මුණගැහෙන්න පුළුවනි. උදාහරණ විදිහට ඔබට ඉගැන්වූ ගුරුවරයෙක් හදිසියේ හමු වුනොත් ඒ ගුරුවරයාට ඔබ ගරුත්වයකින් කතා කරන්න. ඔබේ වැඩිහිටි ඥාතියෙකු මුණගැසුනොත් ඔබ ඒ තැනැත්තා වෙනුවෙන් ගරුත්වයක් දක්වන විට දරුවාද නොදැනීම ඔබ අනුකරණය කරනු ඇත. ඒ නිසා පුංචි අවස්ථාවක් මග හරින්න එපා. එය වඩාත් යහපත් දෙයක් ඉගෙනීමට දරුවාට ලැබෙන අවස්ථාවක් බවත් අමතක කරන්න එපා.

දරුවා ඉදිරියේ කිසිම කෙනෙක් ගැන විවේචන එපා...

අපේ දෙම්ව්පියන්ටත් හිතට යම් ආවේගයක් ආවාම එය එක හෙලාම මුදා හරිනවා. ඒ වුණත් දරුවන් ඉදිරියේ එසේ ආවේග පිට කිරීම, විවේචන සිදු කිරීම එතරම් සුදුසු නැහැ. විශේෂයෙන් පවුලක ඥාතීන් මව් පාර්ශවය සහ පිය පාර්ශවය විදිහට දෙපිරිසක් ඉන්නවානේ. විවිධ හේතු නිසා සුළු සිත් රිදීම් වගේම තවත් ගැටලු පවුල් මුල් කර ගෙන ඇති වෙන්න පුළුවනි. ඒ නමුත් කිසිම දවසක දරුවන් ඉදිරියේ පුද්ගලයන් විවේචනය කරන්න එපා. ළපටි මනස බොහෝ දේ ඉතා තදින්ම උරා ගන්නා නිසා ඔබ නොදැන කරන මේ විවේචන දරුවාද තමාගේ ලේ ඥාතීන් ගැන අවමානයකින් කටයුතු කිරීමට පෙළඹෙනවා.

දරුවාටත් ගරුත්වයක් ඕන

අපි හැම වේලාවේම පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ගරු කරන්න කියනවා වගේම දරුවාටත් අපේ ගරුත්වයක් ලබා දිය යුතුයි. එවිට ගරුත්වය කියන සංකල්පය මොකක්දැයි දරුවාටත් ඒත්තු යනවා. බොහෝ දෙමව්පියන් දරුවන් ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීම ඒ වගේම ඔවුන් නොවැදගත් විදිහට සැලකීම නිසා දරුවාටත් ගරුත්වය කියන්නේ කුමක්ද? ගරු කිරීමේ ඇති වැදගත්කම ගැන ස්වයං අවබෝධයක් ලැබෙනවා. එහි ප්‍රතිපලයක් විදිහට දරුවා සමාජයේදී හැසිරෙන අන්දම වගේම අනුන් වෙනුවෙන් දක්වන ප්‍රතිචාර යහපත් විදිහට ගොඩ නැගෙනවා.

පුංචි පුංචි කතන්දරත් තියෙනවා

යහගුණ පුරුදු කිරීමට සාහිත්‍ය හොඳ මෙවලමක්. සත්තු පවා ගරුත්වය ලබන්න කැමැති වීම ගැන ආදර්ශ ලබා දෙන කතන්දර දරුවාට කියා දෙන්න. පුංචිකමට අම්මා තාත්තාගේ තුරුලේ සෙනෙහසේ මුදු පහස ලබන මේ කාලයේදී ලස්සන වගේම දරුවාගේ චරිතය ගොඩ නැගෙන කතන්දර වෙතින් ලැබෙන සාරයෙන් ඔවුන් පෝෂණය කරන්න එතරම් අපහසුවක් නැහැ. ඒ නිසා නිතරම දරුවාගේ යහ ගුණ වැඩෙන අන්දමේ කවි, කතා තෝරා ගෙන කියා දුන්නොත් ඔවුන්ට අනාගතයේදී ගරු කරන්නේ මේ අයට, මේ විදිහට යන සංකල්ප බොහොම පහසුවෙන් ප්‍රගුණ කිරීමට හැකියාව ලැබේවි.

Your Name

Email

Comment

0 Comments