Enter Your Key Word

හැසිරීම වගේම හොඳ පුරුදු පුංචි පැටව් දැනගන්නේ කාගෙන්ද?

Teaching Children Manners

දරුවන්ගේ මුල්ම ගුරුවරු වෙන්නේ දෙමව්පියන්. ඒ වගේම මුල්ම පාසල නිවස. ඉතින් සෙනෙහසේ මුදු පහස විඳිමින් අපේ තුරුලේ සිටින පැටියාගේ යහපත් හැසිරීම සහ පුරුදු ඔවුන්ගේ අනාගතයේ වටිනාකම වැඩි කරවන ආභරණ කිව්වොත් නිවැරදියි. එහෙමනම් අපේ පුංචි පැටවුන්ට යහපත් හැසිරීම් වගේම හොඳ පුරුදු හුරු කරන්නේ කොහොමද?

පුංචි පැටියාගේ ජීවිතයට යහපත් හැසිරීම් රටාවක් ගොඩ නැගුවොත් නොදැනීම ඒවා පුරුදු බවට පත් වෙනවා. ඒ ඇයි කිව්වොත් දරුවාගේ හැසිරීම කවදා හෝ දිනක නොදැනීම පුරුදු බවට පත් වෙනවා. කොටින්ම කිව්වොත් යහපත් හැසිරීම සහ හොඳ පුරුදු කියන්නේ එකම කාසියක දෙපැත්ත වගෙයි.

පිරිසිදුකම

අපේ මුදු පහසේ හැදෙන වැඩෙන පැටියාට පිරිසිදුකම ගැන හැසිරීම් ගොඩ නැගීම නිසා ඒවා නොදැනීම යහපත් පුරුදු බවට පත් වෙනවා. ‘‘සිරිමත් “ නැමති කවි පංතියේ කියැවෙන විදිහට

උදයෙම පිබිදී - මුහුණට දිය දී - ගේ දොර අමදී - කුලදෙවි නමදී

ඔන්න ඔය විදිහට දවස පටන් ගන්න ආකාරයට දරුවාගේ හැසිරීම ගොඩ නැගුනොත් අපේ මල් කැකුළුවලට ලෝකයම ආදරය කරාවි. උදේ පාන්දරින් අවදි වීම, තමන්ගේ වටපිටාව පිරිසිදු කිරීම සහ තමන් ආගමක් ඇදහීමේ රටාව නිසා දරුවාගේ ජීවිතය තුළ වඩාත් යහපත් පුරුදු ගොඩ නැගෙනවා.

පිළිවෙළ

දරුවන්ගේ ජීවිතයට පිළිවෙළ ඉතාම වැදගත්. අද ජපන් ජාතිකයන්ගේ පංච විධි සංකල්ප ගැන ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. මේ විදිහට සංකල්ප වශයෙන් කතා කළත් ඒ ඇතුළත තිබෙන්නේ ඉතාම සරල හැසිරීම් කීපයක් පමණයි.

ගත් දේ ගත් තැන තැබීම, හැම දෙයක් වෙනුවෙන්ම ස්ථානයක් තබා ගැනීම, විටින් විට පිරිසිදු කිරීම වැනි හැසිරීම් දරුවන්ට පුරුදු කරන්න කිසිම අපහසුවක් නැහැ. ඒ නිසා ඔබ දරුවාගේ හැසිරීම හසුරුවන අන්දමට අනාගතයේදී ඔවුන් ඉතාම පිළිවෙළකට වැඩ කරන සුන්දර දරුවන් විදිහට ලෝකයෙන්ම සම්මාන ලබාවි

පරිසරයට ආදරය කරන්න

පුංචි පැටවුන්ගේ හැසිරීම පරිසරය සමග අනුගත කිරීම හරිම පහසුයි. ඒ ඇයි කිව්වොත් තවම ඔවුන්ගේ ගති පැවැතුම් ජීවිතයට අවශෝෂණය වෙලා නැහැ. ටොපියක් කැවොත් කොළය කසළ භාජනයකට දැමීම, පාර තොටේ කසළ ඉවතට නොදැමීම වගේ හැසිරීම නිසා දරුවා අනාගතයේදී ඒවා තමන්ගේ පුරුදු බවට පත් කරනවා.

තවමත් අපේ වැඩිහිටියන් දෙපැත්ත බලලා ඉක්මනින් කසළ ටික පාරේ, එහෙම නැත්නම් තවත් කාගේ හෝ වත්තකට විසි කරන්නේ මේ යහපත් පුරුදු හැසිරීම් නැති නිසයි. ඒ වුනත් ඔබ දරුවා සමග පරිසරයට ආදරය කරන, පරිසරය දූෂණ නොකරන හැසිරීම් ගොඩ නගන්න. එවිට අනාගතයේදී පරිසරයට ආදරය කරන පුරුදු දරුවාගේ ජීවිතය බබලන ආලෝකයක් වේවි.

ආහාර පුරුදු

ආහාර ගන්නා කළ - අත ලෙව කෑම හොද නැත

අපි වතුර බොන විට - සුරු සුරු ගෑම හොඳ නැත

පුංචි පැටවුන්ට පුංචි කාලයේ ඉඳන්ම ආහාර ගන්නා අන්දම හොඳින් පුරුදු කිරීම ඉතාම වැදගත්. අප පුංචි පැටවුන් හදා වඩන්නේ බොහොම ආදරයෙන්. සෙනෙහසින්. ඒ නිසාම උස් මහත් වෙන තෙක්ම අම්මා තාත්තා බත් ටික වුණත් කවනවා. වතුර ටිකත් පොවනවා. ඒ හින්දාම දරුවන්ට කන බොන අන්දම ගැන දැනුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම හය හතර තේරෙන විට පැටියාට බත් ටික කන්න, වතුර බොන්න පුරුදු කරන්න. ඔවුන් එහිදී හැසිරෙන අන්දම හරහා යහපත් ආහාර පුරුදු ගොඩ නගන්න පුළුවනි.

බස හසුරුවන්න

අපේ පැටියා බහ තෝරන්න පටන් ගත්තාටමත් බැහැ. ඔවුන්ගේ වචනත් බොහොම සුන්දර වෙන්න ඕන. ඒ වෙනුවෙන් දෙමව්පියන් පුංචි කාලයේ පටන්ම කතා කළ යුතු දේ, තැන නොතැන ගැන දරුවන්ට කියා දීම වැදගත්.

හොඳට නරකට දෙකට කටමය කියනවානේ. ඉතිං මල් වගේ ලස්සන අපේ පුංචි පැංචියන්ගේ වචනත් බොහොම මෘදු විදිහට ඔප මට්ටම් වීම ඉතාම වැදගත්. බාල කාලයේ පටන්ම දරුවන්ගේ කතා බහ, ඔවුන්ගේ හැසිරීමේ රටාවේ වෙනසක් වුණොත් ඒවා නොදැනීම අනාගතයේදී පුරුදු විදිහට ජීවිතයට එකතු වෙනවා.

ඉතින් ඔන්න ඔය විදිහට දරුවාගේ හැසිරීම් රටාව බාල කාලයේ පටන් ගොඩ නැගුවොත් අනාගතයේදී ඔබේ සුරතල් දරුවා හොද ගතිගුණ සහ පුරුදුවලින් පිරුණු මලක් වගේ කවුරුත් ආදරය කරන දරුවෙක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

Your Name

Email

Comment

0 Comments