Enter Your Key Word

හෙට දවස වෙනුවෙන් යහපත් දේ දරුවාට කියා දිය යුත්තේ අදයි

Parenting  for Child Safety

දරුවෙක් කියන්නේ උදේ පිපුන මලක් වගේම බොහොම ලස්සන, සුන්දර පිරිසිදු ජීවියෙක්. කිරි සුවඳ පිරුණ, මුදු මෙළෙක් ගති පැවැතුම් සමග ලෝකයට එබිකම් කරන පුංචි පැටියා හැම දෙනාගෙම ආදරයත් සෙනෙහසත් ආකර්ෂණය කර ගන්නවා.

දවසින් දවස පුංචි පැටියා උස් මහත් වෙනවා. දවසක අම්මා තාත්තාගෙන් යම් තරමකට මිදිලා සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නවා. එතැනදී සමාජය දරුවා දෙස අවධානය යොමු කරනවා. එවිට ඔබේ පැටියාගේ හැසිරීම තුළ යහපත් ආචාර ධර්ම නොතිබුනොත් දරුවා සමාජයෙන් දෝෂාරෝපණයට ලක්වෙනවා.

"අනේ මේ ළමයා කිසිම කමකට නැහැ... ඒත් දරුවා මොනවා කරන්නද? ඕවා ලොකු අයගේ වැරදි..."

ඔබේ පැටියා මුල් කර ගෙන මේ අන්දමින් චෝදනාවක් නොලබන්න දරුවාගේ අද දවස නිවැරදිව ගොඩ නැගීම ඔබ සතු යුතුකමක් නේද? එහෙම නම් අද ඉඳලම පටන් ගනිමු.

ශුභාශිංසන 

ඔබේ දරුවා පුංචි වුණත් ඔහු ඇසුරු කරන අය සමග ආචාරශීලීව කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා දවසට ගැලපෙන විදිහට ශුභාශිංසනයකින් ආචාර කිරීමට දරුවා හුරු කරන්න. එය ඉතාම සරල දෙයක් වුනත් එයින් දරුවාට ලොකු වටිනාකමක් ලැබෙනවා.

ස්තුතියි කියන්න

පුංචි වුණත් දරුවන් සමගත් යම් සමාජයක් ගනුදෙනු කරනවා. ඒ නිසා දරුවාට යමක් ලැබුණාම ඒ වෙනුවෙන් කුමන බසකින් හෝ ස්තුතිය ප්‍රකාශ කරන්න කියා දෙන්න. ඒ අන්දමින් ස්වයංක්‍රිය ලෙසින් දරුවා ප්‍රතිචාර දක්වන විට ඉතාම ආචාරශීලි පොඩිත්තෙක් විදිහට ඔබේ පැටියා වඩාත් වටිනා චරිතයක් වේවි.

පුංචි වුණත් වරදක් සිදු වුන විට කනගාටුයි කීමට දරුවාට කියා දෙන්න. දෙදෙනෙක් කතා කරන තැනකට අවසරය නොගෙන යෑම, කාමරයකට ඇතුළු වීමට පෙරාතුව දොරට තට්ටු කිරීම ඉතා සුළු දේවල් වුණත් මෙවැනි ආචාර විධි ඉතාම සරලව සහ පහසුවෙන් අවබෝධ කරවිය හැකියි.

වැඩිහිටියන්ට ගරු කරන්න

දරුවාට මුණ ගැහෙන වැඩිහිටියන්ට දයාබරත්වයෙන් අක්කා, අයියා, නැන්දා, මාමා, අත්තම්මා, සීයා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදු කරන්න. එවිට දරුවා පිළිබඳව හැමදෙනා තුළම ප්‍රසන්න බවක් ඇති වේවි. වැඩිහිටියෙක්, ගුරුවරයෙක් දුටු විට හුනස්නෙන් නැගීටීමත් වැඩිහිටියන් ඉදිරියේ උස් ආසනවල හිඳ ගෙන සිටීම නුසුදුසු බවත් පුරුද්දක් කරගැනීමට දරුවාට කියා දෙන්න. පොදු ප්‍රවාහන සේවාවක ගමන් යන විට වියපත් තැනැත්තෙක් දුටු විට වහාම ආසනය ලබා දීමට දරුවා උනන්දු කරන්න. මේ සියල්ල සම්බන්ධව ආදර්ශයන් ඔබ තුළින් දරුවාට දකින්නට සලස්වන්න.

මිත්‍රශීලී වීම

නිවසට ආගන්තුකයෙක් පැමිණි විට වාඩිවීමට කීමත් එතරම් අපහසු කටයුත්තක් නොවේ. දරුවෙකු වෙතින් එවන් ආචාරශීලීත්වයක් දැකීමට බොහෝ දෙනා ප්‍රිය කරනවා.

වචන

දරුවන්ගේ වචන භාවිතය ඉතාම ආචාරශීලී වීම ඉතා වැදගත්. ඇතැම් දරුවන්ගේ වචන ඇසුන විට බොහෝ දෙනා කියන්නේ ඒවා දරුවන්ට ගැලපෙන වචන නොවන බවයි. ඒ නිසා නිවස තුළදී දරුවාට වචන භාවිතයේදී සීමාවන් ගැන කියා දෙන්න. වැඩිහිටියන් මැදට විත් වයසට නොගැලපෙන විදිහට කතා කිරීම එතරම් සුදුසු නැත. දරුවාට මෙම වචනවල තේරුම් ගැන අවබෝධයක් නොමැති නිසා ඔබ දරුවන් ඉදිරියේ කතා කිරීමේ සීමාවන් පනවා ගැනීම වඩාත් සුදුසුයි.

අපහාසාත්මකව කතා කිරීම

දරුවන් ඉතා අහිංසක චරිත නිසා ඔවුන්ගේ වචන වෙතින් අපහාස, උපහාස බලාපොරොත්තු වීමට බැහැ. ඒ නිසා පවුලේ පටන් පංතිය, අසල්වැසියන් සමග වුණත් කිසිම කෙනෙකුට අපහාස වන සේ කතා කිරීම නොකළ යුතු බව දරුවාට කියා දෙන්න. විවිධ නම් පටබැඳ ඒ අනුව අපහාස කිරීම එතරම් ආචාරශිලී නොවන බව බාල කාලයේ පටන්ම කියා දෙන්න.

පරිසරයටත් ආචාර ධර්ම

පරිසරය මුල් කර ගෙන අප විසින් ආරක්ෂා කළ යුතු ආචාර විධි තිබෙනවා. මේ ආචාර ධර්ම අපෙන් දුරස් වීම අද බොහෝ වසංගත රෝග තත්වයන්ට පවා හේතු වී තිබෙනවා. ඒ නිසා, කුණු කසල තැන තැන බැහැර කිරීම, තැන නොතැන නොබලා කෙළ ගැසීම, ගලා යන ජලයට විවිධ දේ දැමීම වැනි පරිසරයට බෙහෙවින් හානි වෙන ක්‍රියාවන්ගෙන් දරුවා දුරස් කරන්න. ජලය යනු පූජනීය වස්තුවක් බව දරුවාට වයසේ තරමට අනුව අවබෝධ කර දෙන්න. එය ජලය මුල් කර ගත් ආචාර ධර්මයක් බව අමතක කරන්න එපා.

Your Name

Email

Comment

0 Comments