Enter Your Key Word

දරුවාගේ අධ්‍යාපන, සන්නිවේදන කුසලතා වෙනුවෙන් වටිනා කරුණු 10ක්

Communication activities for child development

දරුවාගේ අධ්‍යාපනයට වගේම ඔවුන්ගේ අදහස් සන්නිවේදනයට සමීප චරිතයක් අවශ්‍ය යි.

ඔබේ පුංචි පැටියා බහ තෝරන්න පටන් ගත්තත් හිතේ තිබෙන සිතුවිලි සේරම පැටියාට උවමනා විදිහට ප්‍රකාශ කරන්න තවම වචන ප්‍රමාණවත් නැහැ. ඒ වුනත් තමන්ගේ හැකියාවට අනුව පැටියා තමන්ගේ අවශ්‍යතාවයන් කියන්න උත්සාහ ගනීවි. ඒ වේලාවට අම්මා තාත්තා සමග පැටියාගේ සන්නිවේදනය හොඳින් තේරුම් ගැනීමට නම් දෙමව්පියන් විදිහට අපි මොකද කරන්නේ?

දරුවාට සමීප වෙන්න

උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කිරීම නිසා ඔබටත් වෙහෙස ඇති. ඒ වුනත් පුංචි හුරතලා සමග අදහස් බෙදාහදා ගැනීමට කෙසේ හෝ කාලය නම් උපයා ගන්න වෙනවා. ඒ ඇයි කිව්වොත් දරුවාගේ මුල්ම පාසල නිවසයි. එයිනුත් අම්මා තාත්තා තරම් ගුරුවරයෙක් දරුවාට නැහැ. සමහර විට වැඩිමහල් සහෝදරයෙක් හෝ නිවසේ ලේ ඥාතියෙක් සිටින්න පුළුවනි. එහෙම වුනොත් දරුවා සමග මේ අය ආදරණීය සංවාද පවත්වා ගැනීමට පුළුවනි. එහෙත් දරුවා සිටින්නේ සේවිකාවක සමග හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක නම් ඔවුන්ගේ සිතැඟි තේරුම් ගන්න හැකියාව තිබෙන අයගේ අඩුපාඩු තිබිය හැකියි. ඒ නිසා දරුවාගේ අධ්‍යාපනයට වගේම ඔවුන්ගේ අදහස් සන්නිවේදනයට සමීප චරිතයක් අවශ්‍යයි. එහෙම නම් ඒ වෙනුවෙන් ගැළපෙනම චරිතය දෙමව්පියන් සහ වැඩිහිටි සහෝදර පිරිස වගේම පවුලේ ඥාතීන් බව අමතක කරන්න එපා.

හොඳින් ඇහුම්කන් දෙන්න

දරුවා කියන දේ ඔබට නොතේරෙන්න පුළුවනි. ඒ වගේම ඔබ රාජකාරි බහුල අවස්ථාවක සිටින්න පුළුවනි. එසේත් නැත්නම් පුංචි හිත් අමාරුවකින්, සිරුරේ අපහසුතාවයකින් හෝ වෙහෙසට පත් වුන අවස්ථාවක් වෙන්නැති. ඒත් පැටියා කියන දේ හොඳින් අසා ඉන්න. එවිට වෙන අයට වඩා ඉතාම පහසුවෙන් ඔබට එය තේරුම් ගන්න පුළුවන්. දරුවාගේ භාෂාව අම්මා තාත්තා හොඳින්ම දන්නා නිසා එය කිසිම අපහසුවක් නොවේවි.

පූර්ව විනිශ්චයන් එපා

අම්මා තාත්තා විදිහට දරුවා කියන්න සැරසෙන දේ ගැන ඉවක් ඔබට ඇති. ඒත් හා.. මම දන්නවා ඔයා කියන්න යන දේ... කියමින් ඔබේ විනිශ්චය ඉස්සර කරන්න එපා. එවිට දරුවාගේ සන්නිවේදන හැකියාවන් නොදැනීම බිඳ වැටෙන්න පුළුවනි. ඔබ දැන සිටින දෙයක් වුනත් නොදන්නා දෙයක් ලෙසින් සවන් දෙන්න. ඒ ගැන කිසිම විනිශ්චයක් කරන්න එපා.

දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද?

අපේ අම්මලා වැඩි තැනක් දෙන්නේ අධ්‍යාපනට. හැබැයි ඒ අකුරු උගන්වන්න, ලියන්න, කියවන්න විතරයි. සාමාන්‍යයෙන් අවුරුදු පහ සම්පූර්ණ වෙලා ළදරු පාසල තෝරන විටත් මුලින්ම නැගෙන ප්‍රශ්නය වෙන්නේ ‘‘ආ.. ඒ නර්සරියේ අකුරු උගන්වනවා ද? කියන ප්‍රශ්නයයි. නමුත් දරුවෙකුට මුල් ළමා වියේදී අකුරු නැතුවාට උගන්වන්න තව ඕනෑ තරම් දේවල් තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ ඒ සියල්ලේම එකතුවක්.

වම, දකුණ ගැන කියා දෙන්න

පුංචි කාලයේ පටන්ම දරුවාට වම, දකුණ ගැන කියා දෙන්න. බත් කන අත හඳුන්වා දෙන්න. සපත්තු මාරු කර ගන්නේ නැතුව වම්, දකුණු කකුල්වලට නිවැරදිව දාන අන්දම උගන්වන්න. ඇඳුමේ බොත්තම් පියවා ගන්න පුරුදු කරන්න.

වර්ණ ගැන කියා දෙන්න

වර්ණ ගැන පාඩමක් අවශ්‍ය නැහැ. නිවසේ තිබෙන බඩු බාහිරාදිය සමගින් වර්ණ ගැන කියා දෙන්න ඉතාම පහසුවෙන් පුළුවනි. බබාගේ කෝප්පය, අම්මාගේ සාරිය, තාත්තාගේ කමිසය ආදි විදිහට ඒවායේ වර්ණ ගැන කියා දුන් පසුව ඊට සාපේක්ෂව පැටියා දකින දෙයට අදාල වර්ණ ගැන විමසා සිටින්න. එවිට දරුවා ඉතා පහසුවෙන් ඒවාට පිළිතුරු ලබා දෙනවා විතරක් නොවෙයි වර්ණ සංකල්ප ඉතා පහසුවෙන් හඳුනා ගනීවි.

හැඩතල ගැන කියා දෙන්න

දරුවා සතුව තිබෙන භාණ්ඩ අනුව හැඩතල ගැන අවබෝධයක් ලබා දීමට පුළුවනි. බෝලය, කොටුව, රවුම වැනි දේ ගැන දරුවා සමග කතා කරන්න.

පරිසරය සමග ගත කරන්න

දරුවා සමග පරිසරය විඳින්න. අහසේ වලාකුළු, තරු, පියාසර කරන කුරුලු යාළුවන්, ටිංටිං ලේනා ගැන හඳුන්වා දෙන්න. පැටියාගේ වපසරිය පුළුල් වෙන්නේ දෙමව්පියන් විසින් ලබා දෙන දැනුවත් බව අනුවයි.

නිර්මාණවලට ඉඩ දෙන්න

දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරන නිර්මාණවලට ඉඩ දෙන්න. බිල්ඩින් බ්ලොක්ස්, විසිතුරු හෝ පදම් කළ මැටි, පිරිසිදු වැලි හා ජලය ආදිය සමග සෙල්ලමට ඉඩ දෙන්න. කෝම්පිට්ටු හදන්න දරුවාට අවසර දෙන්න. එවිට වැලි සහ ජලය සමග ක්‍රිඩා කිරීම නිසා දරුවාගේ හසුරු කුසලතාවයන් වඩාත් සංවර්ධනය වේවි.

වර්ග කරන්න අවස්ථාව දෙන්න

සමාන දේ එක්තැන් කිරීම සහ අසමාන දේ දුරස් කිරීම ගැන වටිනා අවබෝධයක් මේ කාලයේදී ලබා දිය හැකියි. නිවසේ එළවළු අතරින් සමාන එළවළු හා පලතුරු එක් තැනකට වෙන් කරන්න ඉඩ දෙන්න. එහිදි සමාන දේ එක් තැන් කිරීමේ සංකල්පය ඔවුන් උගනිනු ඇති.

ඉතිං ඔබේ දරුවා විද්‍යාඥයෙක් එසේත් නැත්නම් ගණිතඥයෙක් කිරීමට අනාගත සිහින දකිනවාට වඩා අද දවසේ ඔවුන්ගේ සන්නිවේදනය හොඳින් තේරුම් ගන්න. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගන්න. පරිසරය සමග සම්බන්ධ වෙමින් දරුවාට යම් යම් දේ කියා දෙන්න. එසේ ඉගෙනුම ලැබූ විට අනාගතයේදී දරුවා විසින් මේ අතීත අත්දැකීම් පාදක කර ගෙන ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කර ගනු ඇති.

Your Name

Email

Comment

0 Comments