Enter Your Key Word

අලුත උපන් ළදරුවාගේ කාමරය සැලසුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

Preparing Your Baby's Room

කැදැල්ලට වඩින්නට ඉන්න අලුත් සාමාජිකයා පිළිගන්න අම්මයි තාත්තයි දෙන්නම එක විදිහට කැපවෙනවා. පැටියා කුසට ආ දා පටන්ම පැටියගේ නිරෝගීකම ගැන සැලකිළිමත් වනවා වගේම පැටියා මේ ලොවට ආවට පස්සෙ පැටියාට ඕන හැමදේම ඉහළින්ම ලබාදීමට කටයුතු කරනවා. චූටී පැටියා ලැබෙන්න දින ලං වෙද්දි අම්මයි තාත්තයි පැටියට ඕනී ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු වගේම අවශ්‍ය කරන බොහෝමයක් දෑ ලෑස්ති කරලා ඉවරයි. දැන් ඉතින් අම්මටයි තාත්තටයි වෙන් වුණු කාමරයේ අයිතියත් පැටියටම පැවරෙන නිසා පැටියටම ගැලපෙන්න කාමරය සකස් කරන්න අම්මයි තාත්තයි බොහොම වෙහෙසෙනවා..

අම්මගෙයි තාත්තගෙයි වස්තුව අලුත් බබානේ. ඉතින් එයාව හුඟක් පරිස්සම් කරන්න වෙනවා. පැටියා තියන්න සූදානම් කරන කාමරය නිතරම අම්මටයි තාත්තටයි නිවසේ අන් අයට විටින් විට විපරම් කළ හැකි තැනක පිහිටා තිබුනොත් හොඳයි.. නිවසක කොයි තරම් වැඩ කටයුතු තියෙනවද? අලුත් පැටියා ආවම ඒවා දෙගුණ වෙනවා. බොහෝ විට දහවල් කාලයේ අම්මා විතරයිනේ පැටියත් එක්ක රැඳෙන්නෙ. ඉතින් වැඩ බොහොමයක් තනියම කරගන්න තියෙන නිසා අම්මට ගෙදර වැඩ කරන අතරම පැටියා ගැනත් විපරම් කරන්න පුළුවන් තැනක කාමරයක් තෝරා ගත්තොත් අම්මටත් පහසුවක් වගේම පැටියගෙ ආරක්ෂාවටත් හොඳයි.

එක් පැත්තකින් පමණක් හොඳින් වාතාශ්‍රය ලැබෙන, හොඳින් ආලෝකය වැටෙන, වැඩි සද්ද බද්ද නැති කාමරයක් චූටි පැටියාව තියන්න සූදානම් කර ගන්න.

පැටියගේ කාමරේ හැඩ වැඩ කිරීමත් හරිම වැදගත්. පැටියගේ කාමරය සරල නිදහස් පරිසරයක්ද නැතිනම් දීප්තිමත් ආකර්ෂණීය පරිසරයක්ද යන්න අම්මයි තාත්තයි තමයි තීරණය කරන්න ඕනී. කාමරය සකස් කිරීමේදී වර්ණ පිළිබඳවත් අවධානය යොමු කරන්නම වෙනවා. ළදරුවන්ගේ කාමර සඳහා වර්ණ තෝරාගැනීමේදී ළදරුවා නිතරම දකින වර්ණ පසු කාලයේ ඔවුන්ගේ මනසට ප්‍රබල බලපෑම් කරන්නට සමත් බව පර්යේෂකයෝ පවසා තිබෙනවා. උදාහරණ ලෙස කොළ පැහැති වර්ණ වැඩි වශයෙන් දකින ළදරුවන් ගස්වැල්වලට වැඩි ආශාවක් හා ප්‍රියතාවයක් දැක්වීම පෙන්වා දෙන්නට පුළුවන්.

චූටි පැටියගේ කාමරයට වර්ණ ගැන්වීමේදී සිසිල් වර්ණ ඒ කියන්නේ ලා පැහැති වර්ණ වන රෝස, ලා නිල්, ලා කොළ, අළු, සුදු වැනි වර්ණ වැඩිපුර යෙදීම හිතකරයි. එයින් දරුවාට නිදහස් සහ විවේකී බවක් සහ මනසට සැහැල්ලුවක් දැනෙන බවටත් කළු, දුඹුරු, රතු වැනි වර්ණ මගින් දරුවාගේ මනසට අවිවේකී බවක් කලබලකාරී බවක් ඇති විය හැකි බවටත් ළමා මනෝ විද්‍යාඥවරුන් අදහස් දක්වා තිබෙනවා.

කාමරයේ තිර රෙදි, ඇඳ ඇතිරිළි ආදිය තෝරා ගැනීමේදීත් ලා වර්ණවලට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂයෙන් ඇඳ ඇතිරිලි ලා පැහැති ඒවා යොදා ගැනීමෙන් කූඹීන් වගේ කුඩා සතුන් ඇදෙහි සිටියහොත් පහසුවෙන් දැක ගන්නත් පුළුවන්.

වර්ණවත් රූප හා සෙල්ලම් බඩු දරුවාට දිස්වීමට තිබීම දරුවාගේ බුද්ධි වර්ධනයට ඉවහල් වෙනවා. එනිසා කාමරය දැකුම් කළු ලෙස හැඩ ගන්වන්නත් අම්මටයි තාත්තටයි පුළුවන්. වර්තමානයේ වෙළෙඳ සැල්වල අඩු මිලට විසිතුරු අලංකරණ සහ පින්තූර ආදිය සුලබ දකින්න ලැබෙන නිසා ඒ වගේ දේවල් මිලදී ගෙන සැරසිලි කරන්නත් පුළුවන්. අම්මගෙයි තාත්තගෙයි අතින්ම කල නිර්මාණ වලින්ම කාමරය හැඩ ගන්වන එකත් හොඳයි නේද? පාට පාට කඩදාසි නිර්මාණවලින් පැටියගේ කාමරය හැඩ කරන්නත් පුළුවන්. අන්තර්ජාලයේ මේ වගේ නිර්මාණ කරගන්නා ආකාර පිළිබඳව ඕනෑ තරම් උපදෙස් තිබෙන නිසා මූලික දැනීමක් නැතිව වුනත් පැටියගේ කාමරය හැඩ කරන්න නිර්මාණ කරගන්න පුළුවන් වේවි.

අලුත් පැටියට සූදානම් කරන කාමරයට බඩු භාණ්ඩත් අවශ්‍යයි නේද?

විශේෂයෙන්ම ළදරු තොටිල්ල මිලදී ගැනීමේදී එහි ආරක්ෂාකාරී බව හා සුවපහසුව පිළිබඳ බලන්න. පැටියව ළදරු තොටිල්ලෙ නිදිකරවනවා නම් අම්මගෙයි තාත්තගෙයි ඇඳ අසලින්ම ළදරු තොටිල්ල තැබුවොත් රාත්‍රියට කිරි දෙන්නට වගේම පැටියා ගැන විපරමින් ඉන්නත් එය පහසුවක් වේවි. පැටියගේ ඇඳුම් රෙදි පිළි දමන්නට කබඩ් එකකුත් කාමරයේම තබාගන්න.

මතක ඇතිව පැටියගේ කාමරයේ සුවපහසු පුටුවකුත් තියන්න ඕනේ. හැබැයි ඒක පැටියගෙ අම්මට. ඇයි දන්නවද? පැටියට මව් කිරි දෙනකොට අම්මා සුවපහසුව ඉඳගෙන දෙන එක තමයි වඩාත්ම සුදුසු වන්නේ.

කාමරයේ ඔරලෝසුවක් වගේම පැටියගේ කිළිටි රෙදි දමන්නට පියන සහිත බකට් එකකුත් කාමරයට අවශ්‍යයි. පුංචි පුංචි පැටවු හරිම පරිස්සටම බලා ගන්න ඕනෙනේ, ඒ නිසා පැටියගේ ආරක්ෂාව තහවුරු වන විදිහට කාමරය සූදානම් කරගන්න.

Your Name

Email

Comment

3 Comments

Anjana supun
Thanks...
Sanjeewa udayanga
Thank u very mutch ....
K.A.Madhushika Minoli
All of these things are very valuable, we do not have much experience because of our first baby, thank you very much baby cheramy