Enter Your Key Word

ළදරු ඇදුම් තෝරා ගැනීමේදී මව්පියන්ගේ අවධානය යොමු විය යුතු කරුණු මොනවාද?

how to select baby clothes

දින සති මාස ගෙවී කුස තුළ වැඩෙන ඔබේ කිරි කැටියා දෝතට වඩින තුරු ඔබ නොඉවසිලිමත්ය. පැටියව හැඩට අන්දන්න බොහොමයක් මව්වරුන් තම දෑතින්ම දරු පැටියාට ඇඳුම් පිළියෙල කර ගනියි. තවත් සමහර මව්වරුන් පුංචි ඇඳුම් මිලදී ගනියි. කෙසේ වෙතත් ඔබේ දරු පැටියා වෙනුවෙන් ඇඳුම් තෝරා ගන්නට මේ කරුණු ඔබට අත්වැලක් වනු ඇත.

ඔබ තෝරා ගන්නා ඇඳුම් දරුවාට සුව පහසු විය යුතුය

අලුත උපන් බිලිඳා මලක් මෙන් මෘදුය. කිරි කැටියාගේ සම ඉතාමත් මෘදු නිසා පැටියාට සුව පහසුව සලසන රෙදි වර්ගයකින් නිම වූ ඇඳුම් තෝරා ගත යුතුය. ඒ සඳහා සියයට සියයක්ම කපු රෙද්දෙන් නිම වූ ඇඳුම් තෝරා ගැනීමෙන් දරුවාට දැනෙන සුව පහසුව වැඩි කරයි. බොහෝ විට අලුත උපන් දරුවන් සඳහා නැපි, ළදරු ගවුම් මල්පීස් වැනි රෙදිවලින් නිම කරගනියි. එය දරුවාගේ සියුමැලි සිරුරට පහසුවකි. එසේම බොහෝ විට අප විසිතුරු රූප ළදරු ගවුමට එක් කරගන්නේ පැටියාගේ ඇඳුම් හැඩ කිරිමටය. එහෙත් ඒවා සරල මෙන්ම පහසු ඒවා විය යුතුය. රැලි සහිත/රැලි කළ වාටි සහිත ඇඳුම්/විශාල ඇප්ලික් කළ මෝස්තර සහිත ඇඳුම් දරුවාගේ ඇගේ ස්පර්ශ වන විට එය දරුවාට හිරිහැරයක් විය හැකිය. ළදරුවාට සපත්තු මේස් පැළඳවීමෙන් පුංචි යටි පතුල්වලට රස්නය හා දහඩිය දැමීමෙන් දරුවාට අපහසුවක් දැනෙන නිසා මේස් ආදිය ඉතා තුනී ඒවා මිලදී ගන්න. දරුවාට මේස් කුට්ටම් දෙකක් හෝ තුනක් ප්‍රමාණවත්ය.

වර්ණ ගැන සැලකිලිමත් වන්න

බොහෝ විට අලුත උපන් බිළිදුන්ට කහ පැහැති ඇඳුම් හා තද වර්ණ තෝරා නොගත යුතුය. දරුවා කිරි උරා බීම අඩු වූ විට කහ පැහැ ගැන්වෙන නිසා කහ පැහැති ඇඳුම් ඇන්ද වූ විට ඒ බව වටහා ගැනීම අපහසු වන බැවින් කහ පැහැති ඇඳුම් මුල් මාස කිහිපයේ ඇන්දවීමෙන් වළකින්න. සුදු පැහැය වඩාත් සුදුසුය. මුත්‍රා පැහැය වෙනස් වුවද හඳුනා ගැනීම පහසු වන්නේ සුදු පැහැ නැපි භාවිත කලහොත්ය.

ළදරුවාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න

පටි ගැට ගහන, රිබන් තියෙන ඇඳුම් තෝරා ගැනීම නුසුදුසුය. එම පටි , රිබන් දරුවාගේ ගෙල ප්‍රදේශයේ එතී හුස්ම හිරවීමට ඉඩ ඇත. දරුවාට ඇඳුමක් ඇන්දවීමට පෙර ඒවායේ එල්ලෙන නූල් සියල්ල කපන්න. ඇඳුම්වල ඇති සමහර ලේබල්වලින් ආසාත්මිකතා ඇති වීමට ඉඩ ඇත. එනිසා ඇඳුම්වල ඇති ලේබල් ඉවත් කරන්න. ලිහිල් ලෙස ගෙතූ ඝන කමිස, ළදරු මේස් සහ තොප්පි වැනි ඇඳුම් ඇන්දවීමෙන් දරුවාගේ කුඩා දෑත්වල ඇඟිලි සහ කකුලේ ඇඟිලි එම ඇඳුම්වල පැටලීමට ඉඩ ඇත. දරුවාට ළදරු මේස් ඇන්දවීමට පෙර, එහි අනෙක් පැත්ත හරවා කුඩා නූල් කැබලි තිබෙනවා නම් ඒවා කපා ඉවත් කරගන්න.

ඇඳුම් පරිහරණය පහසු වීම

ළදරු ඇඳුම් තෝරා ගැනීමේදී ඒවා දරුවාට ඇන්දවීමට සහ ඉවත් කිරීමට පහසු වීම ඉතා වැදගත්ය. ළදරු ඇඳුම්වල බොත්තම් හෝ වෙල්ක්‍රො (අලවන පටි ) වැනි පහසුවෙන් දැමිය හැකි ඒවා ඇත්නම් වඩා පහසුය. එසේම එම බොත්තම් හෝ වෙල්ක්‍රො දරුවාගේ ඇඟට තද නොවන ලෙස තිබිය යුතුය. මුල් මාස කිහිපය තුළ නැපි ඇන්දවීම කලිසම් අන්දනවාට වඩා ඔබේ බිලිඳාට වඩාත් පහසු වනු ඇත.

ඇඳුම්වල ප්‍රමාණය

බිලිඳාට ඇඳුම් පිළියෙල කරන විට හෝ මිලදී ගන්නා විට ප්‍රමාණ (Sizes) කිහිපයකින් පිළියෙල කරගන්නටත් මිලදී ගන්නටත් වගබලා ගන්න. දරුවන් ඉක්මනින් වැඩෙන නිසා අලුත් ඇඳුම් වැඩි සංඛ්‍යාවක් ඇඳීමට ඇති අවස්ථාව අඩුය. එනිසා ප්‍රමාණ (Sizes) කිහිපයකින් බිලිඳාට ඇඳුම් පිළියෙල කිරීමෙන් අනවශ්‍ය වියදම් කපා හරින්නත් ඔබට හැකි වනු ඇත.

දේශගුණයට ඔබින ලෙස ළදරු ඇඳුම් තෝරා ගන්න

සීතල දේශගුණයක් තිබෙන ප්‍රදේශවලට ඔබින ඇඳුම් උණුසුම් දේශගුණයක් ඇති ප්‍රදේශවල දරුවන්ට ඔබින්නේ නැත. එනිසා ළදරු ඇඳුම් තෝරා ගැනීමේදී ඒ පිළිබඳවත් සැලකිලිමත් වන්න. ඔබේ කිරි කැටියාට සුව පහසුව සලසමින් හැඩ කරගන්නට මෙම කරුණු කාරණා ද ඔබට වැදගත් වනු නොඅනුමානය.

Your Name

Email

Comment

2 Comments

Shashika udayangani
Good idea
inomi thakshila
Thank u ❤️