Enter Your Key Word

ඔබත් නිවුන් ළදරුවන් සිටින මවක්ද?

අතීතයට වඩා අද වන විට නිවුන් දරු උපත් පිළිබඳව බහුලව අසන්නට ලැබේ. නිවුන් දරු පිළිසිඳ ගැනීමක් සිදුවන ආකාර කිහිපයක් ඇති අතරම කලාතුරකින් ඩිම්බ කෝෂයෙන් ඩිම්බ දෙකක් මුදා හැරිය හොත් ඒවා ශුක්‍රාණු දෙකක් සමග සංසේචනය වී නිවුන් දරුවන් ඇති විය හැකි අතර ඔවුන් වෙන් වෙන්ව වැදෑමහ දෙකකින් පෝෂණය වෙමින් ගර්භාෂයේ වැඩෙයි. එසේ බිහි වන දරුවන් එක සමාන පෙනුමකින් යුක්ත නොවේ. එසේම සංසේචිත ඩිම්බයක් දෙකට බෙදී යාමෙන්ද නිවුන් දරුවන් ඇති වන අතර ඔවුන් බොහෝ දුරට එක සමානය.

නිවුන් බිහිකළ මවක් දරුවන්ගේ පෝෂණය පිළිබඳව මෙන්ම තමාගේ පෝෂණය පිළිබඳවත් උපරිම අවධානය යොමු කළ යුතුමය. නිවුන් දරුවන් සිටින මවක් වෙත පැවරෙන වගකීම එක් දරුවෙකු සිටින මවකට වඩා වැඩි වන බැවින් පවුලේ සාමාජිකයන්ගේ සහයෝගය ද උපරිමයෙන් ලැබිය යුතුය.

අලුත උපන් නිවුන් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් මව දැනුවත් විය යුත්තේ කෙසේද?

දරුවෙකු බිහි කරන ඕනෑම මවකට එක දරුවෙකුට පමණක් නොව දරුවන් කිහිප දෙනෙකුට වුවත් සෑහෙන පරිදි කිරි නිපදවීමේ හැකියාව පවතී. මවගේ වයස, ශරීරයේ මෙන්ම පියයුරුවල ප්‍රමාණය හෝ දරුවන් කිහිප දෙනෙක් එකවර බිහි කිරීම, සිසේරියන් සැත්කමින් දරුවා බිහි කිරීම යන හේතූන් මත මව්වරුන් තමාගේ ඇති කිරි ප‍්‍රමාණය දරුවාගේ වර්ධනයට ප‍්‍රමාණවත් නොවේ යැයි වැරදි නිගමනවලට එළඹෙනු ඇත. නමුත් මෙවන් සාධක කිසිවිටකත් මව්කිරි නිෂ්පාදනය කෙරේ බල නොපායි. දරුවෙකුට ලැබෙන කිරි ප‍්‍රමාණය අවම වීමට ප‍්‍රධාන හේතුව වන්නේ දරුවාට නිසි ආකාරව කිරි උරා ගැනීමට නොහැකි වීමයි.

තමන්ට නිවුන් දරුවන් ලැබෙන්නට සිටින වග දැනගත් විගස මවක් සතුටට පත්වනවා සේම දරුවන්ගේ අනෙක් වැඩ කටයුතු පිළිබඳවත් පෝෂණය සම්බන්ධවත් ගැටලු රැසක් පැන නැගීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ එක් දරුවෙක් සිටින විට මෙන් නොව නිවුන් දරුවන් සිටින විට ඉටු කළ යුතු කාර්යයන් සියල්ල දෙගුණයක් වන නිසාය. ඉහත පැවසු පරිදිම නිවුන් දරුවන් බිහි කළ මවකට පවුල වෙතින් උපරිම සහයෝගයක් ලබා දිය යුතුය.

නිවුන් ළදරුවන්ගේ පෝෂණය පිළිබඳව මව්වරුන් අධික බියකින් පසු වන්නේ ඒ හා සම්බන්ධ ඔවුන් සතු වගකීම මත නිවුන් දරුවන්ට මවගෙන් නිපදවෙන මව්කිරි ප්‍රමාණවත් නොවේය යන සිතිවිල්ල නිසාය. නමුත් නිවුන් දරුවන් බිහිකළ මවකට වුවද ප්‍රමාණවත් පරිදි කිරි නිපද වීමේ හැකියාව ඇති බව ඔබ වටහා ගන්න.

නිවුන් දරුවන් සිටින මවක් එක් දරුවෙකු හරහා දරුවා පියයුරට සම්බන්ධ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුහුණු වීමෙන් අනතුරුව ඒ ආකාරයෙන්ම දරුවන් දෙදෙනාම පියයුරු දෙකට එකවර සම්බන්ධ කිරීම වඩාත් සුදුසු වන්නේ කිරි නිෂ්පාදනය හොඳින් සිදු වීමට එමගින් විශාල සහයෝගයක් ලැබෙන නිසාය. ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිට වීමට පෙර මේ සඳහා අවශ්‍ය පුහුණුව ඕනෑම මවකට ලබාදෙන අතරම නිවසට පැමිණි පසු වුවද ඔබට ඇති වන ගැටලු සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සහය හිමිවනු ඇත. ඒ වෙනුවෙන් දරුවා ලැබී නිවසට පැමිණි විගස ඇයට දැනුම් දීමට වගබලා ගන්න.

මවක් තම දරුවාට කිරි ලබාදීමේදී කිරි නිපදවීම සම්බන්ධව මවගේ මොළයට යැවෙන පණිවිඩය හරහා ප්‍රෝලක්ටින් හෝමෝනය නිපද වී කිරි නිපද වීම සිදුවේ. නිවුන් දරුවන් සිටින මවක් පියයුරු දෙකෙන් එකවර කිරි ලබාදීමේදී පියයුරු දෙකම හිස් වන නිසා එක පියයුරකින් කිරි ලබා දීමේදීට වඩා පිරියුරු දෙකෙන්ම එකවර ලබා දීමේදී කිරි නිෂ්පාදන වැඩි වේ. එසේම දරුවන් දෙදෙනාට එකවර කිරි ලබා දීමේදී කාලය ඉතිරි වනවා සේම අනෙක් දරුවා කුස ගිනි වැඩි වී හඬා වැටීම වැනි අපහසුතාවයන්ට ලක් වීමට ඔබට සිදු නොවේ.

සාමාන්‍යයෙන් අලුත උපන් බහුතරයක් දරුවන්ගේ බර වැඩි වීම සිදුවන්නට පෙර මුල් සති දෙක ඇතුළත බරෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන අතරම එය නැවත ක්‍රමක්‍රමයෙන් වැඩිවීමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් හොඳින් කිරි උරා බී වැඩෙන දරුවෙකුගේ බර මසකට 500g සිට 1Kg දක්වා පරාසය තුළ වැඩි වන ආකාරය දැක ගත හැකිය. නිවුන් දරුවන් සිටින මවකට ඇති වන ගැටලුව වන්නේ දරුවන් දෙදෙනාටම තමන්ගේ කිරි ප්‍රමාණවත්ද යන ගැටලුව බව මීට පෙරත් අප සඳහන් කළ බව ඔබට මතක ඇති. මව පෝෂණීය ආහාර වේලක් ලබා ගනිමින් හොඳින් ජලය පානය කරන්නේ නම් හොඳින් කිරි නිපදවීමට හැකියාව ඇත. සාමාන්‍යයෙන් දරුවෙකුට අවශ්‍ය ප්‍රමාණයට මව්කිරි පෙවෙනවාද යන්න දැන ගත හැකි ප්‍රධානතම සාධකය වන්නේ දරුවාගේ වර්ධන සටහන් පතයි. ඒ අනුව යමින් අවශ්‍ය උපදෙස් සායනයේදී මව්වරුන්ට ලබාදෙනු ඇත.

නිවුන් දරුවන් වෙන්වෙන්ව ජීවිතයට හුරුකරන්න

මවගේ කුස තුළ එක්ව ජීවත් වුවද මෙලොවට බිහි වූ පසු නිවුන් දරුවන්ට ජීවත් වන්නට සිදුවන්නේ වෙන් වෙන් වශයෙනි. ඔවුන් සැමවිටම වෙන් වූ දෙදෙනෙක් බව අමතක නොකළ යුතුය. තනි තනිව ජීවත්වන්නට ඔවුන් පුරුදු පුහුණු කිරීම සඳහා විශාල සහයෝගයක් ඔවුන්ට අත්‍යවශ්‍ය වේ. එබැවින් මෙම කරුණු පිළිබඳව යම් අවබෝධයක් මව්පියන් වන ඔබ සතුවිය යුතුය.

  • දරුවන්ට ඔබ සමග කතා කරන්නට වෙන වෙනම කාලයක් ලබා දිය යුතුයි.
  • නිවුන් දරුවන්ට වෙන්ව ජීවත් විය හැකිය යන්න පිළිබඳව අනෙක් පිරිස් දැනුවත් කරන්න.
  • ඔවුන්ට සැමවිටම වෙනස් ආකාරයේ විනෝදාංශ මෙන්ම ක‍්‍රියාකාරම් ලබා දීමට අමතක නොකරන්න.
  • පාසැල් යන වයසේදී වෙන් වෙන්ව කණ්ඩායම්වලට ඇතුළත් කිරීමත් බොහෝ සෙයින් වැදගත් බව අමතක නොකරන්න.
  • වෙන වෙනම ඔවුන්ගේ හැකියාවන් සහ යහපත් ක‍්‍රියාකාරකම් පිළිබඳව ප‍්‍රශංසා කරන්න.
  • මව හා පියා සමග සිටීමට ඔවුන්ට වෙන් වෙන්ව කාලය ලබාදෙන්න.

Your Name

Email

Comment

0 Comments